දුමින්දගේ හිස් කබලේ කොටස ආරක්ෂා කරන්න නියෝගයක්

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද‍්‍ර ඇතුළු සිව් දෙනෙකු ඝාතනයට ලක්වූ සිද්ධියේදී තුවාල ලැබූ දුමින්ද සිල්වා මහතාගේ සෙන්ටිමීටර් 04ක් පමණ වන හිස් කබලේ කොටස ආරක්ෂිතව තබන ලෙස ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයාට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා අද (04) නියෝග කළේය.

සැකකරුවෙකුගේ නීතිඥයකුවන අනුජ ‌පෙ‍්‍රමරත්න මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව මහේස්ත‍්‍රාත් වරයා මෙම නියෝගය කළේය.


එම නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේ අදාල හිස් කබලේ කොටස විසුකර දැමුවහොත් මේ නඩුවට අවාසයික් වන බවයි.

මෙහිදී රහස් පොලිසියේ වි‌ෙශ්ෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති මෙරිල් රංජන් ළමාහේවා මහතා කියා සිටියේ පසුගිය නොවැම්බර් 11,22 ,29 හා දෙසැම්බර් 03 යන දිනයන්හිදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වූ බව අධිකරණයට හෙළිකළේය.

අද දිනයේ නඩුව සඳහා බන්ධනාගාර ආරක්ෂාව යටතේ සැකකරුවන් 16 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 20 දෙනෙකු ඇතුළත්ව සිටින අතර ඉන් දුමින්ද සිල්වා හා ගලබොඩ නැමැත්තා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
තවත් දෙදෙනෙකු ඇප මත මුදාහැර සිටී.

මෙම නඩුව ලබන 18 වැනිදා යළි කැඳවීමට මහේස්ත‍්‍රාත්වරයා නියම කළේය.



Gossip Lanka Hot News Previous News Archive