ග්‍රහයන්ගේ සුබාසුබ දැන් වෙනස්‌ නොවීද?

මිහිමඬල අන් කවරදාකටත් වඩා වෙනස්‌ වී ඇත. පමණ ඉක්‌මවා උණුසුම් වී ඇත. සූර්යයාගේ ස්‌වභාවය ද වෙනස්‌ ය. විශේෂයෙන් විශ්වය තනන්නා සූර්යයා ය. සියලු ග්‍රහයන්ගේ බල දුබලතාවන් ඇතිවීමට සූර්යයාගේ කිරණය බෙහෙවින් ම බලපායි. විශේෂයෙන් කල්පයක්‌ යන කාල පරාශ්‍රයක 1/5 කොටස වසර 5125 ක්‌ බැව් පායිරා වාස්‌තු විද්‍යාඥයෝ ගණනය කරති. මේ කාල පරාශය තුළ සූර්යයාගේ රශ්මි මාලාව තුළ 13 න් ආකාර ප්‍රභාෂ්වර බවක්‌ වෙනස්‌ වෙමින් පවතින බව දැක්‌වෙයි.

එසේම ඈත අතීතයේ විසූ සෘෂිවරුන් සූර්යයාගේ හා ඔහුගේ කිරණ ශක්‌තියට (ආලෝකයට) හසුවන අනෙකුත් ග්‍රහ තාරකාවන්ගේ ගුණාංග හෙළි කොට ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රය ලොවට බිහි කරන ලදී. මේ වන විට ගත වූ වසර දහස්‌ ගණන තුළ සූර්යා තුළ හා අභ්‍යාවකාශය තුළ සිදු වූ වෙනස්‌කම් නිසා එදා පෙන්වූ ග්‍රහයන්ගේ ගුණාගුණ අද වන විට යම් අන්දමකට හෝ වෙනස්‌ වී ඇතැයි නොසිතිය හැකිද?


එදා මෙදා තුර මේ අහස්‌ වියන යට සිදුවන දැ අහස පොළොව මෙන් වෙනස්‌ ය. විශේෂයෙන් මිහිමත ඇතිවන දැ මෙන්ම මිනිස්‌ සිතුවිලි කොපමණ වෙනස්‌වීද? එදා සූර්යා නිසා මහ පොළොව සාරවත්වීම මෙන්ම රස සුවඳ හා ගුණ රැඳුනු ඵල අද නැත. අන් කවරදාකවත් නැති පරිදි මිහිමඬල උණුසුම් ය. මහ පොළොව වසා පැතිරී තිබූ තුරුලතා වියන මිනිසාම බිඳ දමා තිබේ. සොබා දහමේ සමතුලිතතාවය මුළුමනින් ම බිඳ වැටී ඇත. ඒ 'ද්වේෂය' තත්ත්වයට පත් වූ ස්‌වභාවයයි. මිනිස්‌ සිත් තුළද වැඩි වශයෙන් පවතින්නේ ලෝභ, ද්වේෂ, මෝහ යන සංකීර්ණතාවන් ය.

මේ නිසා ලෝකය තුළ යම් ආකාර ප්‍රබල වෙනසක්‌ අද වන විට පවතී. විශේෂයෙන් මේ විශ්වය තුළ පවතින්නේ කිරණ ජාලයකි. එක්‌ වස්‌තුවක්‌ තවත් වස්‌තුවක ඇති සංඛ්‍යාත ගුණයෙන් විනාශ කළ හැකිය. ඒ අන්දමට මිනිස්‌ සිත් ද සකස්‌ වී තිබේ. විශේෂයෙන් මිනිසාගේ සිතට බලපාන ග්‍රහයා සඳුය. මේ අභ්‍යාවකාශය තුළ සිදුවූ ප්‍රබල වෙනස්‌කම් සඳු ග්‍රහයාගේ ගුණාංගවලට බලපෑම් ඇති කළ හැක. විශේෂයෙන් ලෝභ, ද්වේෂ, මෝහ යන මානසික සංකීර්ණතා වැඩි වීමට මෙසේ විපරීත වන සඳු ග්‍රහයා බලනොපාන්නේදැයි කාට කිව හැකිද?

අද මුළු ජනසමාජය දෙස බලන කල මිනිසා තුළ මෛත්‍රී - කරුණා - මුදිතා ගුණාංගයන්ට වඩා සීග්‍ර ලෙස ලෝභ - ද්වේෂ - මෝහ යන මානසික සංකීර්ණතා වර්ධනය වී තිබේ.
 සෑම මිනිසකුටම ග්‍රහයන්ගේබල ක්‍රියාකාරීත්වය පවතී. එය කුසලාකුසල මත පදනම්ව පිහිටයි. වර්තමාන යුගය වන විට මිනිසා තුළ වැඩි වශයෙන් පවතින්නේ ලෝභ - ද්වේෂ - මෝහ යන අකුසල මූලයන් ය. අන් කවරදාකටත් වඩා අද මිනිසා තුළ මේ තත්ත්වයන් නිසා සමස්‌aaත අප රට තුළ අපරාධ - දූෂණ - වංචා ප්‍රබලව පවතින බව පෙනේ. මෙම තත්ත්වයන් නියෝජනය වන්නේ කුජ - රාහු - ශනි - කේතු වැනි තමස්‌ ගුණය (වෛර - ක්‍රෝධ - තෘෂ්ණා) ඇති ග්‍රහයන්ගේ බලය හරයා ය. 

ගිනි අවි - බිහිසුණු විෂ වායු - මිසයිල - බෝම්බ වැනි බිහිසුණු විනාශයන් ඇති කරන තත්ත්වයන් බොහෝ විට කුජ - රාහු හරහා ඇති වෙයි. අද අප රට මෙන්ම ලෝකය දෙස බලන විට ද ඒවා නොසිතූ පරිදි මහා පරිමාණ වශයෙන් ව්‍යාප්ත වීම හා ක්‍රියාත්මක වීම වැඩි වී තිබේ. මේ එකී ග්‍රහයන්ගේ බලය වැඩිවීමක්‌ වැනි තත්ත්වයකි. ලෝකය තුළ මේ තත්ත්වයන් සේම කර ඇති පරිසර දූෂණය වැනි තත්ත්වයන් නිසා තේජෝ ධාතුව, වායෝ ධාතුව වැනි භූත දෙක විපරීත වීම කුජ හා රාහු දෙදෙනාගේ ගුණය වූ තමස්‌ ගුණයන්ගේ වැඩිවීමකි. විශේෂයෙන් තමස්‌ ගුණය වන ඊර්ෂ්‍යා - වෛර - ක්‍රෝධ හා තෘෂ්ණා යන මානසික තත්ත්වයන්ගේ ක්‍රියාකාරී ස්‌වභාවය මේ ග්‍රහයන් දෙදෙනාගෙන් ප්‍රකට වේ. සෙනසුරු - කේතු හා පාපී ග්‍රහයන් හා සම්බන්ධ වූ බුද හරහා එවැනි මානසික තත්ත්වයන් විකෘති ස්‌වභාවයෙන් වර්ධනය වීම ඇති කරයි. පසුගිය දිනවල කහවත්තේ වයස්‌ගත ස්‌ත්‍රීන් කපා කොටා මරා දැමීම එවැනි විකෘතිතා දැක ගත හැකි සිද්ධියකි. කල්පනා කර බැලීමේදී එවැනි වයසක අසරණ ස්‌ත්‍රීන් බිහිසුණු ලෙස ඝාතනය කිරීමට සිත් සවිමත් කළ බලය කුජ - රාහු වැනි විපරීත වූ විශ්ව බලයන් තුළින් නිර්මාණය වූ මානසික ශක්‌තියකි.

එහි විකෘති ස්‌වභාවය ශනි - කේතු හා පාපීන්ට මැදි වූ බුදගෙන් ලැබුණා විය හැක. මෙම ග්‍රහයන් පෙර කාලවලට වඩා වෙනස්‌ තත්ත්වයක ක්‍රියාකාරීත්වයක්‌ ලබා දෙනුයේ විශ්වය බොහෝ වෙනස්‌ තත්ත්වයකට පත්වීම හරහා ය. පරිසර දූෂණය නිසා විශ්ව ක්‍රියාකාරීත්වය වෙනස්‌ වූ අන්දමය.

රවි - ගුරු - සිකුරු වැනි ග්‍රහයන්ගේ ගුණාංග පවා අද වෙනස්‌ තත්ත්වයකට බරපතළ ලෙස වෙනස්‌ වී ඇති බවක්‌ පෙනේ. ඔවුන් සුබ ග්‍රහයන් හැටියට සෘෂිවරුන් අපට හඳුන්වා දුන්නේය. එලෙසින්ම ඔවුන් සුබයෝ වූ නමුදු වර්තමාන ලෝකය තුළ ඔවුන්ගේ ගුණාංග ගැන බුද්ධිමත්ව බලන කල විකෘති වෙනසකට ලක්‌ව තිබෙන බව පෙනේ. සිකුරු ග්‍රහයාගේ ගුණාංග තුළ ඇති වී තිබෙන වෙනස්‌කම් හා කුජ රාහු වැනි ග්‍රහයන්ගේ බලපෑම් ද සහිතව කාමය අද විකෘති මෙන්ම බිහිසුණු තත්ත්වයන් දක්‌වා වර්ධනය වී ඇති බව පෙනේ.

තරුණියන් දූෂණය කොට මරා දැමීම - තවත් කෙනෙක්‌ හා පෙමින් වෙලී තම බිරිඳත්, දරුවාත් මරා ගිනිබත් කිරීමට තරම් සිත් පහළවීම. මිනිබිරිය දූෂණය කරන්නට තරම් සිත් පහළ වූ වැලන්ටයින් සීයලා බිහිවීම වැනි එදිනෙදා මාධ්‍යයෙන් අපට අසන්නට ලැබෙන ඛේදවාචක එයට උදාහරණ වේ. මෙවන් තත්ත්වයන් එදා ද පැවතුන බව අපි දනිමු. නමුත් වර්තමානය තුළ ඒවායේ සීඝ්‍ර වර්ධනයක්‌ පෙන්නුම් කරයි. පෙම්කර විවාහ දිවියට පත්වන්නන් අතර 70% ක්‌ පමණ ලිංගික නොගැලපීම් නිසා ජීවිතය තුළ බොහෝ පීඩාවන් හා විපත්ති වලට මුහුණ පාති. විවාහක ස්‌ත්‍රී පුරුෂයන් කාම මිථ්‍යාචාරයන්හි බහුල ලෙස යෙදෙති. ඇතැම් අය එවැනි දේවල් නිසා විවාහ දිවිය ද අහිමි කර ගනිති. ඇතැම් විට විපත්ති වලට ද මුහුණ දෙති.

ගුරු වැනි ශ්‍රේෂ්ඨ ග්‍රහයන් පවා මෙම ලෝක විපර්යාසය හමුවේ වෙනස්‌ වී තිබේ. ආගම ධර්මය, නීතිය, අණපනත් වැනි දේවල් දෙස බැලීමේදී රවි - ගුරු වැනි ග්‍රහයන්ගේ බලයන් ද යම්කිසි අයහපත් වෙනස්‌කම්වලට ද ලක්‌ව තිබේ. ආගම ධර්මය ද දූෂිත කොට වානිජ පටු පරමාර්ථ තුළට ඇද දමන තත්ත්වය ද අප රට තුළ පවතී. එසේම නීති රීති හා අණපනත් දෙස බලන විට ද ඒවා තුළ ඇති පටහැනි තත්ත්වයන් හැමෝම දන්නා රහසකි.

මේ අන්දමට රවි - චන්ද්‍ර - කුජ - බුද - ගුරු - ශුක්‍ර ශනි රාහු කේතු යන නවග්‍රහයන්ම එදාට වඩා අද වෙනස්‌ වී ඇති බවක්‌ සිතිය හැක. ග්‍රහයන් යනු පෘථිවි සමූහයකි. මේවා සූර්යාගේ ආලෝකය නිසා විවිධ ගුණාංග නිකුත් කරන විශ්න නිර්මාපකයන් ය. සඳු අපට ඉතා වැදගත් ම ග්‍රහයා ය. ඔහු අපේ මනසට මෙන්ම ක්‍රියාවට ද ප්‍රධාන වන ග්‍රහයා වෙයි. විශ්වය වෙනස්‌ කරන්නට තරම් සොබාදහමේ සමතුලිතතාව බිඳ වැටී ඇති මෙවන් අවධියක මේ ග්‍රහයන්ගේ තත්ත්වයන් කෙසේ නම් වෙනස්‌ නොවී පවතී ද? සෘෂි වරුන් වැනි ජ්‍යෙතිෂයන් අප රටේ සිටී. මේ ගැන ඔවුන්ගේ පරිනත බුද්ධියට යොමුවිය යුතුය. උතුම් ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රය කාලීන සත්‍යතාවන් දිගේ අනාගතයට සුරක්‍ෂිත කිරීම ඔවුන් සතු ප්‍රඥාගෝචර යුතුකමය.

 ජ්‍යෙතිෂවේදී අගලවත්තේ බී. හේරත්
 උපුටා ගැනීම  - දිවයින

Gossip Lanka Hot News Previous News Archive