සුගත්ගේ වියෝව මට දරාගන්න බැරිවුණා - දම්මි ( අනුලා කරුණාතිලක )

ගෙදරින් කැමැති වුණා නම් සුගත්ව බඳිනවා
සුගත්ගේ ආදරය ගැන දම්මි කියන කතාව
 සුගත්........· කිසිදා අමතක කර දැමිය නොහැකි අකාලික ආදරවන්තයා· විරහ වේදනාවෙන් ඔද්දල් වූ හදවත පමණක්‌ ඉතිරි කරගෙන නිහඬ වූ අවාසනාවන්ත ප්‍රේමවන්තයා· ප්‍රේමය විසින් ස්‌පර්ශ කළ කවර හදවතක වුව ලැගුම් ගැනීමට නිතැතින් ඉඩ ලද ඒ ආදරවන්ත මතකය පසුගියදා අප අතරින් සදහටම සමු ගත්තා.

සුගත්ට සදාකාලික සිහිනයක්‌ පමණක්‌ වූ ඒ හිරිමල් යෞවනිය දම්මි.....· හදවත මොර ගගා ඇයට කියූ දේ බිඳුවකටවත් මායිම් නොකළ ඇය සුගත්ට සදාකාලික විරහව උරුම කර දුන්නාය...·

සුගත්ගේ වියෝවත් සමඟ දම්මිගේ ඒ වේදනාබර අතීතයෙන් අංශු මාත්‍රයක්‌ දැන ගනු වස්‌ අප දම්මි සොයා ගියා....· මේ ආදරණීය දම්මි 'ගොළු හදවත' කියූ ඒ අතීතය.

 * ගොළු හදවත චිත්‍රපටය මොනවගේ මතකයක්‌ ද ඔබේ හදවතේ ඉතිරි කරලා තියෙන්නේ?

මම පාසල් යන කාලෙ බොහොම ආසාවෙන් ආදරයෙන් රස විඳපු නවකතාවක්‌ තමයි 'ගොළු හදවත' මම කිසිමදාක හිතුවෙ නෑ ඒ චිත්‍රපටයේ මට රඟපාන්න ලැබෙයි කියලා. ඒ කාලය මගේ ජීවිතයේ සුන්දරම කාලය කියලයි මම හිතන්නේ. කිසිදාක අමතක කර දමන්න නොහැකි මතකයක්‌ මට 'ගොළු හදවත' චිත්‍රපටය ඉතිරි කරලා තියෙනවා. ඒක ඇත්තටම අමරණීය මතකයක්‌. ලෙස්‌ටර් මහත්තයත් කිව්වා ලංකාවේ කාටවත් අමතක කරන්න බැරි චරිතයක්‌ දම්මි කියලා. මම ඒ කතාව විශ්වාස කරනවා.

* මොනවගේ ප්‍රතිචාර ද ඔබට ඒ දිනවල ලැබුණේ

ඒ කාලේ හුඟක්‌ අය මට කිව්වා ගොළු හදවත කරලා සිනමාවෙන් අයින් වුණත් කමක්‌ නැ කියලා. බොහෝ අය කිව්වා මම ඉහළ රඟපෑමක්‌ කරලා තියෙනවා. මුළු ජීවිත කාලෙම මගේ චරිතය අමතක වෙන්නෙ නෑ කියලා. මම නැවත ඒ චිත්‍රපටය බලනකොට මටත් ඇත්තටම හිතෙනවා මේ මම ද රඟපෑවේ කියලා.

* මොනවද අමතක නොවන සිදුවීම්

ගොළු හදවත චිත්‍රපටය රූගත කරන කාලය තුළ කරුණාසේන ජයලත් මහත්මයා හැමදාම වගේ අපි ඉන්න තැන්වලට ආවා. ඒ මහතා ලොකු සහයෝගයක්‌ ලබා දුන්නා අපිට. ඒ වගේම ඒ මහතාට අවශ්‍ය විදිහටම අපිට රඟපාන්න ලැබීම ලොකු දෙයක්‌. මට ඒක අමතක නොවන අත්දැකීමක්‌. ඒ වගේම එතුමා හුඟාක්‌ සතුටු වුණා මගේ රඟපෑම් බලලා. චිත්‍රපටයේ එක තැනකදී සුගත් අපේ අම්මාව හමුවෙන්න ඇවිල්ලා කියනවා "අපේ තාත්තා නැති වුණේa මට රෝද තුනේ බයිසිකලයක්‌ අරගෙන දෙනවා කියලා කිය කියා ඉන්න කොට." කියලා. එතනදී මම ඒ කතාව අහගෙන ඉන්න දර්ශනය රූගත කරන කොට මට ඒක ඇහෙන්න කියෙව්වේ කරුණාසේන ජයලත් මහත්තයා. එතුමා පිටපත බලාගෙන කොතරම් සංවේදීව ඒ දෙබස කිව්වද, කිව්වොත්, මට නිකම්ම ඇඬුණා. ඒ සිදුවීම ඇත්තටම මට අමතක කරන්න බැහැ."

* සුගත් වගේ ආදරවන්තයෙක්‌ ගැන එදා මොනවද හිතුණෙ?

මට සුගත් ගැන එහෙම ආදරයක්‌ දැනුණෙ නෑ. ඉස්‌සර ඉඳන්ම වික්‍රම බෝගොඩ මට සහෝදරයක්‌ වගේ. මම මුලින්ම එයත් එක්‌ක තමයි ගම්පෙරලියෙ රඟපෑවේ. එයා තිස්‌ස. මම ලයිසා. අපි දෙන්නා බොහොම සුහදව රඟපෑම කළා. ඒක මගේ රඟපෑමටත් ලොකු හයියක්‌ වුණා. ඇත්තටම වික්‍රම මට සහෝදරයෙක්‌....

* සුගත් වගේ ආදරවන්තයෙක්‌ හැබෑ ජීවිතේට ළංකර ගන්න හිතුනෙ නැද්ද?

මගේ මහත්තයව මට හමු වුණේ මට අවුරුදු 16 දී. ඉතිං මං වෙන කෙනෙක්‌ ගැන එහෙම හිතුවෙ නෑ. නමුත් සුගත් වගේ කෙනෙක්‌ව ගෙදරින් කතා කරලා ගෙදරින් කැමැති වුණා නම් මම සුගත්ව බඳිනවා.

* දම්මි - සුගත් ගැන මොනවගේ කතා බහක්‌ද එදා තිබුණේ

එහෙම මුකුත් කතාබහක්‌ රටේ තිබුණේ නෑ. නමුත් මං ගැන තරහක්‌ තිබුණා හැමෝගෙම හිත්වල. මොකද ගොළු හදවත නරඹපු හිත්වල දම්මි ගැන තරහක්‌ ඇති වූණා. අද කාලෙ සමහර නළු නිළියෝ ගැන එහෙම කතා බහවල් තිබුණට අපි දෙන්නා ගැන එහෙම කතාබහක්‌ තිබුණේ නැහැ.

* ඒ අතීතය මතක්‌ වෙද්දී ඔබට මොන වගේ හැඟීමක්‌ ද ඇතිවෙන්නේ.

මගේ ජීවිතේ මට ලැබුණු ලොකුම වාසනාව කියලා මට හිතෙනවා. ගොළු හදවතේ දම්මිගෙ චරිතය රඟපාන්න ලැබීම. ඒ වගේම අපි කාටවත් ම අපේ පාසල් ජීවිතය කවදාවත් ම අමතක වෙන්නේ නෑ. ඒ තරම්ම සුන්දරයි ඒ කාලය. අදටත් මම කොහාට හරි ගියොත් තාමත් හැමෝටම මතක්‌ වෙන්නේ දම්මි. එදා ගොළු හදවතේ රසිකයෝ අදත් මට ප්‍රතිචාර දක්‌වනවා. ඒකට එක හේතුවක්‌ වෙන්න ඇති පාසල් කාලය තුළ සුන්දරත්වය කිසිදාක අමතක කරන්න නොහැකි වීම. ඒ කාලෙ මට කියන්න හිතේ තිබිච්චි බොහෝ දේවල් දැනුයි මට බොහෝ දෙනා කියන්නේ. ඒ කාලෙ දැන් වගේ දුරකථන තිබුණෙ නෑ. ඒ නිසා ඒ කාලෙ හිත්වල තද කරගෙන හිටපු බොහෝ දේවල් දැන් මට කියනවා. ඉතිං ඔය සේරම දිහා බලන කොට අමුතුම හැඟීමක්‌ මට ඇති වෙනවා.

* සුගත්ගෙ වියෝව ඔබට කොහොමද දැනුණේ?

වික්‍රම බෝගොඩ සොයුරා මට අවුරුදු පහළොවකින් විතර හමුවෙලා නෑ. මමත් විවාහ වුණාට පස්‌සෙ සිනමාවෙන් ඈත් වෙලා හිටියා. වික්‍රමත් කොහෙදිවත් හමුවුණේ නෑ. නමුත් වික්‍රම නැති වුණා කියලා දැන ගත්තාම ලොකු කම්පනයක්‌ මට ඇති වුණා. ඒ වෙලාවේ ගම්පෙරලියේ ඉඳන් මගේ මතකය හරියට චිත්‍රපටයක්‌ වගෙ දිග හැරුණා. ඒ දැනුණු දුක තාමත් මට මකාගන්න බෑ වගේ. ඇත්තටම වික්‍රමගේ වියෝව මට දරාගන්න බැරි දුකක්‌.

* එදා ආදරවන්තයෝ සහ අද ආදරවන්තයෝ ගැන ඔබට දැනෙන්නෙ මොනවද?

ආදරවන්තයෝ හැමදාම එකයි. නමුත් ඒ කාලෙ හුඟක්‌ ලැඡ්ජා බයට ගෙවල්වලට හොර රහසෙ හරිම අමාරුවෙන් තමයි ආදරය කළේ. ගමනක්‌ බිමනක්‌ ගියත් හොරෙන් තමයි. නමුත් අද දුරකථනය නිසා එහෙම ආදරවන්තයන්ට ප්‍රශ්න නෑ. ඉස්‌සර ලියුම් ගනුදෙනු කරපු ආදරවන්තයෝ තමයි හිටියේ. ඒත් අද එහෙම නෑ. අද ළමයින්ට හුඟාක්‌ නිදහස තියෙනවා. බාධක අඩුයි. අද තියෙන දේ ප්‍රේමය ද කියලා මට හරියටම කියන්න බෑ.

සංවාදය මාලක නන්දන
 උපුටා ගැනීම  - දිවයින

Gossip Lanka Hot News Previous News Archive