ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් වැඩි කිරීමට ඉන්දියාව තීරණය කරයි.

ශ්‍රී ලංකා-ඉන්දියා දිගු කාලීන මිත්‍රත්වය පළුදු වීමට හේතුවන කාරණා පැන නගිමින් තිබියදී ඉන්දියාව විසින් තීරු බදු සහන මත ඉන්දියාවට අපනයනය කරනු ලබන මෙරට ඇඟලුම් ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කර තිබේ.

මේ අනුව, කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ ඉන්දු-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ රෙදිවල මූලාශ්‍රය නොසලකා වසරකට කෑලි මිලියන 08 ක් දක්වා ඉන්දියාවට මෙරටින් තීරු බදු සහන සහිතව ඇඟලුම් යැවීමට අවස්ථාව ලබාදීමට ඉන්දියාව තීරණය කර තිබෙන බවයි.මීට පෙර, මෙම සහනය හිමිව තිබුණේ කෑලි මිලියන 05 ක් සඳහා පමණි.මීට අමතරව, පශු සම්පත් නිෂ්පාදන වෙනුවෙන් ලබාගත යුතු සනීපාරක්ෂක ආනයන සහතිකයේ වලංගු කාලය මාස හයේ සිට අවුරුද්දක් දක්වා දීර්ඝ කර තිබෙන බවද මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

ඉන්දියාව සඳහන් කර තිබෙන්නේ දකුණු ආසියානු නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ නිපදවන රෙදි සඳහා අපනයන බද්ද ඉන්දියාව විසින් 2012 සැප්තැම්බර් 06 වනදා සියයට 11 ක සිට සියයට 05 ක් දක්වා අඩුකළ බවයි.2012 අගෝස්තු මාසයේදී ඉන්දියානු වාණිජ හා කර්මාන්ත අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව ඇඟලුම් කෝටාව ලිහිල් කිරීම සිදුකළ බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර තිබේ.පසුගිය සමයේදී ඉන්දියාව හා ශ්‍රී ලංකාව එකඟවූයේ ඉන්දු-ශ්‍රී ලංකා ද්විපාර්ශවික වෙළඳාම වාර්ෂිකව ඩොලර් බිලියන 10 ක් දක්වා දෙගුණයකින් ඉදිරි වසර තුන තුළදී වර්ධනය කිරීමටයි.

Gossip Lanka Hot News Previous News Archive