විදුලි බිලට එරෙහි ජවිපෙ විරෝධය රට පුරා

විදුලි ගාස්තු මිල සූත්‍රය වහා අහෝසි කරන ලෙසට ආණ්ඩුවට බලකරමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් රට පුරා දියත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම්කොට ඇතැයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

එහි පළමු විරෝධතාවය හෙට ( 22 ) රාත්‍රි 7ට මහරගම නගරයේදී පැවැත්වෙන බවත් ඒ සඳහා එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයින් ඇතුළු පාක්ෂිකයන් රැසක් සහභාගිවීමට නියමිත බවත් ඒ මහතා කියා සිටී.

විදුලි ගාස්තු මිල සූත්‍රය ජනතාවට නොපිළිගන්නා ලෙසට හා ඒ පිළිබඳ ජනතාව දැනුම්වත් කරමින් මේ විරෝධතාව ආරම්භ කිරීමට නියමිතය. එහිදී නව විදුලි ගාස්තු ගෙවා ගැනීමට නොහැකිව ජනතාව ඉදිරියේදී අඳුරේ සිට පීඩාවට පත්වීම සංකේතවත් කරමින් මේ විරෝධතාව පන්දම් දල්වා රාත්‍රි කාලයේදී පැවැත්වීමට නියමිතව තිබීම විශේෂත්වයක් බව සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.


ඊට සමගාමීව දිවයිනේ තවත් ප්‍රධාන නගර හා දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් මේ විරෝධතා ව්‍යාපාර ඉදිරි සතියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ලබන 24වනදා රටපුරාම ක්‍රියාත්මකවන පරිදි විදුලි ගාස්ත් වැඩිකිරීමට එරෙහිව විදුලි ගාස්තු අඩුකරන ලෙස රජයට බල කරන ජනතා පෙත්සමක් අත්සන් ගැනීමටද නියමිත බව එම පක්ෂය සඳහන්කර සිටී. එදිනම සවස 4.00ට කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී ජවිපෙ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් එම පෙත්සම අත්සන්ගැනීම සහ ඒ පිළිබඳ දැනුවත්කිරීමේ අත්පත්‍රිකා ජනතාව අතර බෙදාහැරීම සිදුකරනු ලබන බවත් වැඩිදුරටත් සඳහන් කර සිටී.

Gossip Lanka Hot News Previous News Archive