රුපියල පිරිහෙයි - The rupee depreciated against the US dollar

ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ගිය වසරේ (2012) දී සියයට 10.43 කින් අවප්‍රමාණයට (පිරිහීමට) ලක්‌ව ඇතැයි මහ බැංකුව පවසයි.

මේ අනුව 2011 වසර අගදී රු. 113.90 ක්‌ වූ ඇමරිකානු ඩොලරයක රුපියල් වටිනාකම 2012 වසර අග වන විට රු. 127.16 දක්‌වා වර්ධනය වී තිබෙන බව ද මහ බැංකුව පවසයි.ගිය වසරේ (2012) පළමු මාස හයේ දී රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව සියයට 14.56 කින් අවප්‍රමාණය වූ අතර, වසරේ දෙවැනි මාස හයේදී රටට ලැබුණු විදේශ විනිමය ප්‍රමාණය ඉහළ යැම නිසා 2012 වසරේ ජූලි - දෙසැම්බර් කාලයේදී රුපියලේ අගය, ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව සියයට 4.83 කින් වර්ධනය (අතිප්‍රමාණය) වූ බවද මහ බැංකුව කියයි.

ඇමෙරිකානු ඩොලරයට අමතරව ශ්‍රී ලංකා රුපියල අනෙකුත් සියලු විදේශ විනිමය වර්ගවලට සාපේක්‍ෂව පිරිහීමට ලක්‌ව ඇත. මේ අනුව රුපියල ස්‌ටර්ලින් පවුමට සාපේක්‍ෂව සියයට 14.61 කින්ද, යුරෝ මුදලට සාපේක්‍ෂව සියයට 12.31 කින්ද, ඉන්දියානු රුපියලට සාපේක්‍ෂව සියයට 7.45 කින් සහ ජපන් යෙන් මුදලට සාපේක්‍ෂව සියයට 0.88 කින් පිරිහීමට ලක්‌ව ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
Divaina

Gossip Lanka Hot News Previous News Archive