රාජ්‍ය ණය ප්‍රමාණය 16.9%කින් ඉහළට - Sri Lanka Public debt

නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය 2012 වසර අවසානය්දී 2011 වසරට වඩා සියයට 16.9%කින් සැලකිය යුතු ලෙස වැඩි වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. ඒ අනුව 2012 වසරේ නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය බිලියන 6,000.1කි.2011 වසර අවසානයේ නොපියවූ ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,133.4ක් විය.දේශීය ණය ප්‍රමාණය මුළු ණය ප්‍රමාණයෙහි ප්‍රතිශතයක් ලෙස 2011 වසරේ පවැති සියයට 54.6 සිට 2012දී සියයට 53.9ක් දක්වා සුළු වශයෙන් අඩුවිය.

2012 වසර අවසානයේ බැංකු නොවන අංශය වෙත පැවැති නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 2,174.3 දක්වා සියයට 13.4කින් වැඩි වූ අතර එය මුළු දේශීය ණය ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස 2011 වසර අග පැවැති සියයට 68.4සිට සියයට 67.3දක්වා සුළු වශයෙන් අඩුවී යැයිද 2012 වසරේ මහ බැංකු වාර්තාව සඳහන් කරයි.
මේ අතර දේශීය බැංකු පද්ධතියට නෙපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය 2012 වසර අගදී රුපියල් බිලියන 1,058.4 දක්වා සියයට 19.4කින් වර්ධනය වී ඇත. 2012 වසර අගදී මහ බැංකුව වෙත නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 265.2 දක්වා සියයට 0.7කින් සුළු වශයෙන් වැඩි වූ අතර දේශීය බැංකු අංශයට ණය ප්‍රමාණයෙන් ප්‍රතිශතයක් ලෙස එය පෙර වසර අවසානයේ පැවැති සියයට 29.7 සිට සියයට 25.1 දක්වා අඩු වී තිබේ.

2011 වසරේ ඩොලර් මිලියන 1,764 (රුපියල් බිලියන 201) විදේශ ණය ප්‍රමාණය 2012 වසර අගදී ඩොලර් මිලියන 1,904 (රුපියල් බිලියන 242.1) දක්වා වැඩි වූ බවද මහ බැංකු වාර්තාව පවසයි. නොපියවූ විදේශ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස පෙර වසරේ පැවැති සියයට 35.6 සිට 2012 අගදී සියයට 36.5ක් දක්වා වැඩි වී ඇත. එහි නාමික වටිනාකම රුපියල් බිලියන 2,767ක් දක්වා සියයට 18.8කින් ඉහළ ගොස් ඇත.

ප්‍රධාන විදේශ විනිමය වර්ගවලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණ වීම හේතුවෙන් 2012 වසර අගදී සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 207.4කින් වැඩි විය. රටක විදේශීය ණය අවදානම තක්සේරු කිරීමට ආසියා හා පැසිෆික් කලාපීය එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය කොමිසමෙහි පලදායී ණය කළමනාකරණය පිළිබඳ අත්පොතේ අවදි අගයන්ගේ නිර්වචනයන්ට අනුව ශ්‍රී ලංකාව ණය ගැති බවින් අඩු රටක් ලෙස වර්ගීකරණය කළ හැකි යැයිද මහ බැංකු වාර්තාව සඳහන් කරයි.මෙම මහ බැංකු වාර්තාව පාර්ලිමේන්තුවට ඉකුත් සතියේ ඉදිරිපත් කරනු ලැබීය.

Gossip Lanka Hot News Previous News Archive