ධම්මික පෙරේරා ටයිල් වෙළෙඳපොළ සම්පූර්ණයෙන් අල්ලයි - Dhammika Pererea extends business empire

තමාට අයත් වැලිබල් සමූහ ව්‍යාපාරයේ ඒකකයක් වන රෝයල් සෙරමික්ස් සමාගම විසින් ලංකා සෙරමික්ස් සමූහයේ පාලිත කොටස් ප්‍රමාණය රුපියල් බිලියන 2.9කට මිලදී ගනු ලැබූ බව ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා කියයි. ලංකා සෙරමික්ස් සමූහය හා හොරණ ප්ලාන්ටේෂන් සමාගම ඇතුළු තවත් අනුබද්ධ සමාගම් හතරක්ද ඇතුළත්ව ඒවායේ සියයට 79ක් වන කොටස් ප්‍රමාණය රෝයල් සෙරමික්ස් සමාගම විසින් මිලදී ගනු ලැබ ඇත.

මේ අනුව ලංකා සෙරමික්ස්, ලංකා ටයිල්ස් සහ ලංකා වෝල් ටයිල්ස්, රෝයල් සෙරමික්ස් සමාගමට නතුවීම නිසා මෙරට ටයිල් වෙළෙඳ පොළේ ඒකාධිකාරය එම සමාගම යටතට පත්වූ බව පෙරේරා මහතා කීය. මෙරට දැවැන්තම ව්‍යාපාරිකයකු වන වැලිබල් සමූහයේ ප්‍රධානී ධම්මික පෙරේරා මහතා පවසන්නේ ලංකා සෙරමික්ස් සමාගමේ පාලිත කොටස් ප්‍රමාණය මිලදී ගැනීමත් සමඟ මෙරට ලැයිස්තුගත සමාගම්වලින් දහයෙන් එකක් පමණ සක්‍රිය ලෙස තමා විසින් පාලනය කරනු ලබන බවයි.

ධම්මික පෙරේරා මහතාට අයත් ලැයිස්තුගත වැලිබල් සමූහයේ ඒකකයක් වන රෝයල් සෙරමික්ස් සමාගම කලින් ගිවිසගනු ලැබූ ගනුදෙනුවක් ලෙස සිලෝන් තියටර්ස් සමාගමට අයත් වූ ලංකා සෙරමික්ස් සමාගමේ සියයට 79ක කොටස් රුපියල් බිලියන 2.9කට මිලදී ගත්තේය.
මෙම මිලදී ගැනීමත් සමඟම ලංකා සෙරමික්ස් මවු සමාගමට අමතරව ලංකා වෝල්ටයිල්ස්, ලංකා ටයිල්ස් සහ Swisstek සහ හොරණ ප්ලාන්ටේෂන් යන සමාගම් පෙරේරා මහතාගේ ව්‍යාපාරික අධිරාජ්‍ය යටතට පත්විණි. මේ පිළිබඳ අදහස් දක්වමින් හෙතෙම පැවැසුවේ තම සමාගම්වලට මේ වනවිට මෙරට වෙළෙඳ පොළේ සෙරමික්ස් ටයිල්ස් සහ ඇලුමිනියම් කර්මාන්තයේ ඒකාධිකාරි බලය හිමිව තිබෙන බවයි. ධම්මික පෙරේරා මහතාට සියයට 44ක කොටස් හිමි හේලීස් සමූහය 2010 වසරේදී රුපියල් බිලියන 2.1ක මුදලකට Alumex නමැති ඇලුමිනියම් සමාගමේ පාලිත කොටස් ප්‍රමාණය මිලදී ගත්තේය.

තවත් ලැයිස්තුගත ඇලුමිනියම් සමාගමක් වන Lanka Alluminium සියයට 29ක කොටස් ඔහුට පෞද්ගලිකවම අයත්ය. ඔහු වැඩිදුරටත් පැවැසුවේ දැනට මෙරට තිබෙන ලැයිස්තුගත සමාගම් 280ක් තරම් ප්‍රමාණයකින් 28ක්ම තමා විසින් මේ වනවිට පාලනය කරනු ලබන බවයි වැලිබල් සමාගම යටතේ ලැයිස්තුගත සමාගම් හතක් තිබෙන අතර හේලීස් සමාගම යටතේ ලැයිස්තුගත සමාගම් නවයක් තිබේ. මීට අමතරව පෙරේරා මහතා වැලිබල් ෆිනෑන්ස් හා වැලිබල් පවර් එරත්න යන සමාගම්ද පාලනය කරයි. එසේම ඔහුට Fortrees Resorts, පෑන් ඒෂියා බැංකුව හා සම්පත් බැංකුවේද සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් හා ලැයිස්තුගත නොවූ විදුලි ජනන සමාගම් හා සූදු සමාගම්වල කොටස් ඇත.

Gossip Lanka Hot News Previous News Archive