පවුමක් රුපියල් 5000 කින් පමණ ඉහළ යන ලකුණු

රන් ආනයනය කිරීමේදී සියයට 10 ක බද්දක් අය කිරීමට රජය විසින් තීරණය කිරීමෙන් අනතුරුව මෙරට වෙළඳපොළේ රන් මිල ඉහළ යන බව වාර්තා වේ.

මේ අනුව, දේශීය වෙළඳ පොළේ රත්‍රන් පවුමක මිල රුපියල් 4000 - 5000 දක්වා ප්‍රමාණයකින් වැඩි වනු ඇති බව ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.රන් මිල ඉහළ යාමත් සමග මෙරට වෙළඳ පොළේ ස්වර්ණාභරණ මිල ගණන් වැඩිවීමට එය තුඩුදෙනු ඇත.කෙසේ වෙතත්, මේ පිළිබඳව ලංකා බිස්නස් ඔන්ලයින් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් එස්. ආර්. ආටිගල මහතා පවසා ඇත්තේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැනවූ මෙම බද්ද තාවකාලික බද්දක් වන බවයි.

පසුගිය කාලය පුරාවට ලෝක වෙළඳපොලේ රන් මිල පහල වැටීමත් සමග ඇති වූ තත්ත්වය හමුවේ මී කලින් ඉන්දියාවද රන් ආනයන බද්ද 8% දක්වා ඉහළ දමා තිබුණි.මේ අතර, 2013 දෙවන කාර්තුව තුළදී මෙරටට ගෙන්වනු ලබන රත්‍රන් ප්‍රමාණයේ ඉහළ යාමක් දකින්නට ලැබෙන බවත්, ලංකාව හරහා ඉන්දියාවට රත්‍රන් හොරෙන් ගෙන යනවා යැයි සැකයක් මතුව තිබෙද්දී ලංකාවට ගෙන්වන රත්‍රන් ප්‍රමාණය වැඩිවීම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුව තිබෙන බවත් එහි අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගියදා පැවසා තිබුණි.

Gossip Lanka Hot News Previous News Archive