'දණ ගහපන් දුවගෙන් සමාව ගනින්' කියල කිව්වා

කුණුහරුප කියාගෙන, පළාතම දෙවනත් කරගෙන යකෙක් වගේ තමයි මන්ත්‍රිතුමා එතෙන්ට ආවේ
 
නවගත්තේගම ඉසුරු පාසලේ විනය භාර ගුරුවරිය වූ ප්‍රියානි සුසිලා හේරත් ගුරුතුමිය පළාත් සභා මන්ත්‍රීවරයකු විසින් දණගස්‌සවා තැබීම පසුගිය දිනවල මේ රටේ වඩාත් අවධානය දිනාගත් පුවත විය. මේ එම ගුරුතුමිය තමන් මුහුණදුන් අප්‍රසන්න සිදුවීම අප හමුවේ හෙළි කළ අයුරුය.
මේ සිදුවීමට හේතුව මොකක්ද?

මේක වුණේ පහුගිය සතියේ සිකුරාදා. එදා පාසලේ ළමයින්ව ගේට්ටුවෙන් ඇතුළට ගන්න කොට පාසලේ ශිෂ්‍යනායක මණ්ඩලය සියලුම ළමයින්ගේ නිල ඇඳුම් පරීක්ෂා කළා. මම ඒ ශිෂ්‍යනායක මණ්ඩලයේ ප්‍රධානියා නිසා මමත් එතැන හිටියා.එදා ගවුම කොටට ඇඳගෙන ආපු ගෑනු ළමයි අපි බලලා ඒ අයගේ ගවුමේ වාටිය ටිකක් දුරට ලිහුවා. ගවුම් වාටිය ලෙහපු කට්ටිය අතරේ මන්ත්‍රිතුමාගේ දුවත් ඉඳලා තියෙනවා. හැබැයි මම ඒක දැනගෙන හිටියෙ නැහැ. ඊට පස්සේ ඒ අයව අපි පන්තිවලට යැව්වා.

පාසල ඇරුණට පස්සේ පිටවීම අස්සන් කරලා පන්තියේ මම වාඩිවෙලා ඉන්නකොට මන්ත්‍රිතුමාගේ නෝනා උදේ වාටිය ලිහපු ගවුමත් අරගෙන ස්කෝලෙට ඇවිත් සැරට මට බැන්නා. සමහරවිට මන්ත්‍රිතුමාගේ දුව උදේ වුණු දේ ගිහින් කියන්න ඇති. පස්සේ මම කිව්වා මේ දේ විදුහල්පතිතුමාට ගිහින් කියන්න කියලා. ඒත් කිව්වේ නැහැ. එහෙම්මම මන්ත්‍රිතුමාගෙ නෝනා යන්න ගියා. මම ටික වෙලාවකට පස්සේ වුණ දේ අපේ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිට දැනුම් දුන්නා.

නියෝජ්‍ය විදුහල්පතිතුමා මොකක්ද ඒ වෙලාවෙ කිව්වේ?

නියෝජ්‍ය විදුහල්පතිතුමා ඒ වෙලාවෙ මේකට හොඳ ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. ඒ ළමයා එතැනින් අයින් කරන්න තිබ්බනේ කියන මතයේ තමා නියෝජ්‍ය විදුහල්පතිතුමා ඒ වෙලාවෙ හිටියේ.


ඊට පස්සේ පළාත් සභා මන්ත්‍රිවරයා කොහොමද මෙතැනට ආවේ?

මම නියෝජ්‍ය විදුහල්පතිතුමාට මේ සිදුවීම කියලා ටික වෙලාවකින් මන්ත්‍රිතුමා එයාගේ වාහනෙන් වේගෙන් එතැන්ට ආවා. හැබැයි මම මන්ත්‍රිතුමාව ඒ වෙලාවේ දැක්කේ නැහැ. ඒ වෙලාවේ එතැන හිටපු ගුරුවරු මට කිව්වා ටක් ගාලා එහා පැත්තට යන්න මන්ත්‍රිතුමාට පේන් නැතිවෙන්න කියලා. මම එහා පැත්තට ගිහින් හැංගිලා ඉද්දි මට ඇහුණා හයියෙන් මන්ත්‍රිතුමා එතෙන්ට ඇවිත් කෑ ගහනවා. ටික වෙලාවකින් සද්දෙ නතර වුණාට පස්සෙ ආයෙත් මම ඒ ගුරුවරු හිටපු තැනට ආවා. ඒ වෙලාවෙ මන්ත්‍රිතුමා එළියට ගිහින් ස්කෝලෙ ගේට්ටු දෙක ලොක්කරලා තව කාත් එක්කද කතාකර කර ඉන්නවා දැක්කා.

ඊට පස්සෙ මට එතැන හිටපු සර් කෙනෙක් කිව්වා එහා පැත්තෙන් එළියට යන්න, ගෙදර ගිහින් ඇරලවන්නම් කියලා. මම එහා පැත්තෙන් එළියට යනකොටම මන්ත්‍රිතුමා ඒ පැත්තෙන් ආයෙත් වාහනෙන් වේගෙන් ඇවිත් යන පාර අවහිර වෙන විදියට නතර කළා. පස්සෙ මම ආයෙත් කලින් අර සර්ලා හිටපු තැනටම දුවගෙන ගියා.


මන්ත්‍රිවරයා එතෙන්ට ආපු වෙලාවෙ මොනවද හිතුණේ?

ඇත්තටම මම ඒ වෙලාවේ ගොඩක් බය වුණා. ඒ නිසාම තමා මම සර්ලා හිටපු තැනටත් දුවගෙන ගියේ. මන්ත්‍රිතුමා එතැන්ට ආවේ කොට කලිසමයි ටී ෂර්ට් එකකුයි ඇඳගෙන, අතේ පොල්ලක් තියාගෙන. ඊට පස්සේ සර්ලා මට කිව්වා දුවලා ගිහින් ආයේ හැංගෙන්න කියලා. ඒත් ඒ වෙලාවෙ මම හැංගුණේ නැහැ. මොකද මාව ඒ වෙලාවෙ මන්ත්‍රිතුමා දැකපු නිසා. කුණුහරුප කියාගෙන, පළාතම දෙවනත් කරගෙන යකෙක් වගේ තමයි මන්ත්‍රිතුමා එතෙන්ට ආවේ.


එතෙන්ට ඇවිත් මොනවද මන්ත්‍රිතුමා කිව්වේ?

ගොඩක් දේවල් කියලා මට බැන්නා. හොඳ වචනයකින් කතා කළේම නැහැ. දණ ගහන්න කිව්වා. කුණුහරුපෙන් බැන්නා. ඊට පස්සෙ අතේ තියෙන පොල්ලෙන් මට ගහන්න හැදුවා. තෝ අදින් පස්සෙ ඉස්කෝලෙ එන්න එපා කියලා කිව්වා. ගිහින් දුවගෙන් සමාව ගනින් කියලා කිව්වා. මේ විදියට ගොඩක් දේවල් කියලා මට බැන්නා.


* එතකොට එතැන හිටපු ගුරුවරු මොකද කළේ?

මට දණගහන්න කියලා මන්ත්‍රිතුමා කියද්දි මම මුලින් දණ ගැහුවේ නැහැ. පස්සෙ මට එතැන හිටපු ගුරුවරයෙක්ම තමා කිව්වේ මන්ත්‍රිතුමා කිව්ව නම් දණගහන්න කියලා. හැබැයි ඒ කවුද කිව්වෙ මට මතක නැහැ. සමහර විට එතැන හිටපු ගුරුවරු එහෙම කියන්න ඇත්තෙ මන්ත්‍රිතුමා මට ගහයි කියලා බයට වෙන්නැති. හැබැයි මට මන්ත්‍රිතුමා පොල්ලෙන් ගහන්න හදද්දි ගුරුවරු ඒකට ඉඩදුන් නැහැ. මම එතැන ඒ විදියට විනාඩි 5ක් මන්ත්‍රිතුමා කියපු විදියට දණගහන් හිටියා.


ගුරුවරු කී දෙනෙක් විතර එතැන හිටියද?

එතැන ගුරුවරු පස්දෙනෙක් විතර හිටියා. හැබැයි ඒ අයට කතා කරන්න ඉඩක් හම්බවුණේ නැහැ. මහ විනාශයක් කරලා තියෙනවා වගේ තමයි මන්ත්‍රිතුමා එතැන කෑ ගැහුවේ. අනිත් ගුරුවරු කතා කළත් මන්ත්‍රිතුමාගෙ සද්දෙට ඒ දේවල් ඇහුන් නැහැ. ඒ තරමට විශාල ඝෝෂාවක් එතැන තිබුණා.


මන්ත්‍රිවරයාගේ දියණියගේ ගවුමේ වාටිය ලෙහුවේ ඔහුගේ දුව කියලා දන් නැතුව. බැරි වෙලාවත් එදා ඒ මන්ත්‍රිවරයගේ දුව කියල ඔබ කලින් දැනගෙන හිටියනම් මේ වගේ දෙයක් වෙන්නැති වෙයිද?

කවුරු කොහොම කිව්වත් මන්ත්‍රිවරයගෙ දුව කියලා අපිට වෙනසක් කරන්න බැහැ. එහෙම වුණොත් මම වැරැදියි. ගුරුවරියක් විදියට මට මොන දරුවත් එකයි. පාරෙ ඉන්න වීදි දරුවා අපේ පාසලට එනව නම් ඒ දරුවත් මන්ත්‍රිවරයගෙ දරුවා වගේම තමයි. ඒ නිසා මට කිසිම දරුවෙක්ට වෙනසක් කරන්න බැහැ. ඒ මන්ත්‍රිතුමාගෙ දුව කියලා කලින් මම දැනගෙන හිටියත් පාසලේ විනය හදන්න ඕන නිසා කොහොමත් ඒ දේ කරාවි.

මන්ත්‍රිවරයගේ දියණියට මීට කලිනුත් ඒ විදියට අවවාද කරලා තියෙනවද?

පාසලේ විනය ගැන මීට කලිනුත් ගුරුවරු කීපදෙනෙක්ම ඒ දරුවට අවවාද කරලා තිබිලා තියෙනවා. හැබැයි ඒ දරුවා එහෙම නරක දරුවෙක් නෙවේ. දක්ෂ දරුවෙක්. මේක ඒ දරුවාගේ වැරැද්දක් නෙවේ. ඒ මවුපියන්ගේ ආකල්පවල වැරැද්දක් කියලයි මම හිතන්නෙ.


ආනන්ද සරත් කුමාර කියන හිටපු මන්ත්‍රිවරයා මීට කලිනුත් ගුරුවරුන් එක්ක මේ විදියට ප්‍රශ්න ඇතිකරගෙන තියෙනවද?

එහෙම අවස්ථා තිබිල තියෙනවා කියලා මම අහලා තියෙනවා. සමහර සමහර ගුරුවරුන්ට මීට කලිනුත් පහරදීලා තියෙනවා කියලා ගොඩක් දෙනා කියනවා.


එදා මන්ත්‍රිවරයා කියපු විදියට දණ ගැහුවට පස්සේ ඊළඟට මොකද වුණේ?

මන්ත්‍රිවරයා මට බැනලා විනාඩි 5ක් විතර මාව දණගස්සවලා තියලා ආපු කැබ් එකේ නැඟලා යන්න ගියා. ඊට පස්සේ එතැන හිටපු සර් කෙනෙක් මාව ගෙදරට ඇරලුවා. ගෙදර ගිහිල්ලවත් මම මේ සිදුවීම කාටවත් කිව්වේ නැහැ. කියන්න තරම් මානසිකත්වයක් තිබුණෙත් නැහැ.

මම ගෙදර ගිහින් ටික වෙලාවකට පස්සේ මගේ මහත්තයත් ගෙදර ආවා. මහත්තයා වැඩ කරන්නෙත් ළඟ තියෙන පාසලකම වුණත් මේ සිදුවීම ආරංචිවෙලා තිබුණේ නැහැ. පස්සෙ කලබල වෙන්න එපා කියන පොරොන්දුව පිට තමයි මේ දේ මම මහත්තයට කිව්වේ. ඔය අතරේ මේ සිදුවීම අපේ තාත්තට ආරංචි වෙලා තිබුණා. තාත්තා තමයි කිව්වේ මේ ගැන ගිහින් පොලිසියේ පැමිණිල්ලක් දාන්න කියලා.


තාත්තා ඒ විදියට පොලිසියට යන්න කිව්වේ නැත්නම් මේ සිදුවීම එතැනින් ඉවර වෙන්න ඉඩ තිබුණද?

නැහැ ඉතින් මේක අසාධාරණයිනේ. මට එතැන ලොකු අසාධාරණයක් වුණා. එතැන ළමයි ඉස්සරහ ගුරුවරු ඉස්සරහ මට දණ ගහගෙන ඉන්න වුණා. ඒක මම හිතන්නේ මට වුණු ලොකු අසාධාරණයක්. හැබැයි මේ ගැන පැමිණිල්ලක් දාන්න අපේ තාත්තා තමා මුලින්ම හේතුව වුණේ.


මේ ගැන පොලිසියේ පැමිණිල්ලක් දාන්න යද්දි ඒ පැමිණිල්ල පොලිසිය භාර ගත්තද?

මම හිතනවා නවගත්තේගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා නීතිය අපක්ෂපාතීව ඉටුකළා කියලා. මගේ පැමිණිල්ල ඒ විදියටම භාර අරගෙන නීතිය ඒ විදියට ඉටුකළා. ඒ වගේම පහුවදා ජනාධිපතිතුමන් මට කතා කරලා කිව්වා අසාධාරණයක් සිද්ධ නොකර නීතිය ඒ විදියටම ඉටුකරනවා කියලා. ඒ නිසා මම ජනාධිපතිතුමාටත්, පොලිස් නිලධාරීන්ටත්, විශේෂයෙන් සියලුම ජනමාධ්‍යවලටත් ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද ජනමාධ්‍ය නිසා තමයි මට මේකෙන් සාධාරණයක් ලැබුණේ.

මන්ත්‍රිවරයට විරුද්ධව පැමිණිල්ල කරලා නීතිය ක්‍රියාත්මක වුණාට පස්සෙ වෙන වෙන බලපෑම් ආවෙ නැද්ද?

වාචිකව නම් බලපෑම් ආවෙ නැහැ. ඒත් මන්ත්‍රිවරයාව අත්අඩංගුවට ගත්ත දවසේ රෑ 1.30ට විතර කට්ටියක් බයික්වලින් ගෙදරට ඇවිත් කෑගහලා ගිහින් තියෙනවා.


සමස්තයක් විදියට ඔබේ පාසලේ ගුරුවරුනුයි ළමයිනුයි මේ ප්‍රශ්නෙ වෙනුවෙන් පෙනී සිටියේ මොන විදියටද?

මුළු ලංකාවම දැක්කා නවගත්තේගම ඉස්කෝලේ ගුරුවරුන්ගේ සමඟියක් නැහැ කියලා. මොකද අසාධාරණය වෙනුවෙන් පෙනී සිටියේ එදා ගුරුවරුන් කීප දෙනෙක් විතරයි. සමහරු ඒක මඟහැරියා. හැබැයි මට අපේ ඉස්කෝලේ ඉන්න ළමයි ගැන ආඩම්බරයි. මම මං ගැන ආඩම්බර වෙනවා නෙවේ. හැබැයි අසාධාරණය වෙනුවෙන් නැඟී හිටපු එක ගැන මම සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා.


සුදේශ් අනුරාධ

Gossip Lanka Hot News Previous News Archive