ශ්‍රී ලංකා හා දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය අදින් ඇරැඹෙයි

එක්දින ක්‍රිකට් තරග බිමේ මෑතකදී ලත් පරාජයන් නිසා ලත් පසුබෑමෙන් මිදීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව තරග පහකින් සමන්විත ජාත්‍යන්තර එක්දින තරගමාලාවක් අද ආරම්භ කරයි. පළමු තරගය අද දිවා රාත්‍රියේ කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දකුණු අප්‍රිකා ක්‍රිකට් නායක ඒ.බී.ඩි විලියර්ස් (දකුණේ) සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් තරගමාලාවේ කුසලානය සමග.එංගලන්තයේ පැවැති චැම්පියන්ස් කුසලාන තරගාවලියේදී මේ කණ්ඩායම් දෙකම අවසන් පූර්ව වටයේදී ඉවතට වීසි විය. එසේ වූයේ රටවල් අටක සහභාගිත්වයෙන් යුතුව පැවැති තරගාවලියේ ශක්තිමත්ම කණ්ඩායම් දෙකක් ලෙසින් පිළිගැනීමට ලක්ව සිටියදීය.

“අවසන් මොහොතේදී හුස්ම හිරකර ගන්නා කණ්ඩායමක්” ලෙසින් හැඳින්වෙන දකුණු අප්‍රිකාව එම කියමන නැවත වතාවක් සනාථ කරමින් ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් පූර්ව ගැටුමේදී එංගලන්තයට පරාජය විය.

2011 වසරේ ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාවට අනු ශූරයන් වූ ශ්‍රී ලංකාව, මහේන්ද්‍ර සිං දෝනිගේ කණ්ඩායමට සති දෙකක් ඇතුළත දෙවතාවක් පරාජය විය. චැම්පියන්ස් කුසලාන පරාජයෙන් පසුව බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැති තුන්කොන් තරගාවලියේ අවසාන තරගයේදීද ශ්‍රී ලංකාව ඉන්දියාවට පරාජය විය.
23 හැවිරිදි දිනේෂ් චන්දිමාල් දකුණු අප්‍රිකාවට එරෙහි පළමු එක්දින තරග දෙකේදී ශ්‍රී ලංකාව මෙහෙයවනු ඇත. ඒ, කොදෙව් තුන්කොන් තරගාවලියේදී ශ්‍රී ලංකාව පන්දු ඕවර සෙමෙන් යැවීම හේතුවෙන් නායක ඇන්ජලෝ මැතිව්ස් තරග දෙකක තහනමකට ලක්ව සිටින හෙයිනි.

බටහිර ඉන්දීය කොදෙව්හිදී ඇඟිල්ලේ ආබාධයකට ලක්වීම නිසා වේග පන්දු යවන නුවන් කුලසේකර පළමු තරග දෙකට සහභාගි‍ නොවේ. වසර හතරකට පසුව පිතිකරු ජෙහාන් මුබාරක් කැඳවා තිබේ.

සංචාරක දකුණු අප්‍රිකානු පිල තරග බිමට පිවිසෙන්නේ තුවාල ලබා සිටින ඩේල් ස්ටෙයින් හා ග්‍රෑම් ස්මිත් නොමැතිවය. පළපුරුදු තුන් ඉරියව් ක්‍රීඩක ජැක්ස් කලිස් චැම්පියන්ස් කුසලාන තරගාවලියට සහභාගි නොවීමෙන් පසුව පෞද්ගලික හේතුන් මත විරාමයක් ගෙන සිටී.

දකුණු අප්‍රිකානු කඳවුරට තවත් කරදර එකතු කරමින් වේග පන්දු යවන්නන් වන මෝන් මෝකල් හා ලොන්වබෝ සොට්සොබෙ අද තරගයට ක්‍රීඩා නොකිරීමට ඉඩ තිබේ. මේ දෙදෙන සංචාරය ආරම්භයේදී සුළු ආබාධවලට ලක්ව සිටිති.

ජාත්‍යන්තර විස්සයි20 තරග තුනකින්ද සමන්විත මේ තරගමාලාව දකුණු අප්‍රිකානු නව පුහුණුකරු රසල් ඩොමින්ගෝ ගේ පළමු රාජකාරිය වෙයි. ඔහු චැම්පියන්ස් කුසලාන තරගාවලිය තෙක් ගැරී කර්ස්ටන්ගේ දෙවැනියා ලෙස කටයුතු කළේය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ තරගමාලාවට හොඳ පුහුණුවක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමට එරෙහිව කොළඹදී ලකුණු 73ක ජයක් ලබා ගත්තේය. එහිදී ජේ.පී.ඩුමිනි දස්කම් අතරට පිවිසෙමින් ලකුණු 92ක් ලබා ගත් අතර ක්‍රිස් මොරිස් හා රොබින් පීටර්සන් කඩුලු 3 බැගින් ලබා ගත්හ.

ශ්‍රී ලංකාව : දිනේෂ් චන්දිමාල් (නායක), ලහිරු තිරිමාන්න, තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ පෙරේරා, ජෙහාන් මුබාරක්, රංගන හේරත්, සචිත්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස්, ලසිත් මාලිංග, ශමින්ද එරංග, තිසර පෙරේරා, සුරංග ලක්මාල්.

දකුණු අප්‍රිකාව : ඒ.බී.ඩි විලියර්ස් (නායක), හෂිම් අම්ලා, ඇල්විරො පීටර්සන්, ෆර්හාන් බෙහර්ඩින්, කුයින්ටන් ඩි කොක්, ජේ.පී.ඩුමිනි, ‍ෆෆ් ඩු ප්ලෙසිස්, කොලින් ඉන්ග්‍රම්, රොරි ක්ලින්වෙල්ඩ්ට්, රයන් මැක්ලරන්, ඩේවිඩ් මිලර්, මෝන් මෝකල්, ක්‍රිස් මොරිස්, රොබින් පීටර්සන්, ඒරන් ෆන්ගිසෝ, ලොන්වබො සොට්සොබෙ.

Gossip Lanka Hot News Previous News Archive