අද ඉන්නේ ලැජ්ජ නැති සුපර් ස්ටාර්ලා - Priya Suriyasena

සුපර් ස්ටාර්ලා වන අය ලැජ්ජා නැති අය බව ජනප්‍රිය ගායක ප්‍රියා සූරියසේන කියයි.අනුන්ගේ ගීත ගායනා කරන සුපර් ස්ටාර්ලා ගැන මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.

ඔබේ නව නිර්මාණ දැන් රසවිඳින්නට නොලැබෙන්නේ ඇයි ?

මම අලුත් නිර්මාණ නොකළේ නැහැ. මෑතකදී මම අලුත් ගීත 2-3ක් එළිදැක්වූවා, කුලරත්න ආරියවංශ, සුනිල් ආරියරත්න සහ රෝහණ හෙට්ටිආරච්චි ඒ ගීත රචනා කළේ. ඒ ගීතත් මගේ පැරණිම ගීත කිහිපයක් එකතු කරලා මම ළගදී සී.ඩී. තැටියකුත් නිකුත් කළා. ඒ ‘මල්සර හිනාව‘ නමින්.

කොහොමද ඒ ගීත එකතුවේ අලෙවිය ?

මුලින්ම නිකුත්කළ සී.ඩී. තොගය අලෙවි වුණා. මම ඒ සී.ඩී. තැටිය නැවත වරක් වෙළෙඳ‍පොළට නිකුත් කරන්නයි දැන් හිතාගෙන ඉන්නේ.


ඔබට ඒ ගීත එකතුවෙන් ලාභයක් ලැබුණාද?

ඒ විදියට අලුතෙන් ගීත පටිගත කරනකොට ලොකු මුදලක් වැය වෙනවා. වාදක මණ්ඩලයේ 18 දෙනෙක් ඉන්නවා. ඒ 18 දෙනාට රු. 750/- ගානේ ගෙවන්න වෙනවා. ඒ අයගේ කෑම බිමවලට, ස්ටූඩියෝවට ගෙවන මුදල් ඇතුළුව සී.ඩී. තැටිය එළිදැක්වීමේ කටයුතුවලට තවත් බොහෝ මුදල් වැය වෙනවා. ඒ විදිහට මුදල් වැය වුණාම අද කා‍ලේ සී.ඩී. තැටි නිකුත් කරලා ලාබයක් ලබන්න බැහැ.

ඒ ගී තැටි අලෙවි වෙනවා නම්, ඇයි ලාබ ලබන්න බැරි?

අපි එළිදක්වන ඒ, සී.ඩී. තැටි හොරෙන් පිටපත් කරලා විකුණනවානේ. ඒ අය කිසිම වියදමක් නැතිව රුපියල් 60-70 ටයි ඒවා විකුණන්නේ. ලාබ ලබන්න බැරි බව දන්නවා වුණත්, ඒ විදියට පැරණි සංගීතයට ගායනා කරපු ගීත අහන්න රසිකයෝ කැමැති බව දන්න නිසයි ඒ ගීත එකතුව එළිදක්වන්න කටයුතු කළේ.

ඔබත් කාලයක් කැසට් ව්‍යාපාරයට යොමු වී සිටියා නේද ?

ඔව්. මම ඒ දවස්වල වෑන් තුනක් යොදාගෙන ලංකාව වටේම කැසට්පට බෙදාහැරියා. කාලයක් බොහොම හොඳට ඒ ව්‍යාපාරයත් කරගෙන ගියා.

එහෙමනම් ඇයි ඒ ව්‍යාපාරය නවත්වා දැමුවේ ?

සමහරු මුදල් වෙනුවට චෙක්පත්වලින් ගෙවීම් කළ නිසා මට පාඩු විඳින්න සිදුවුණා. Return වෙන චෙක්පත් තමයි සමහර අයගෙන් ලැබුණේ. පුතාලා, දුවලාගේ ඉගෙනීමේ කටයුතු නිසා මට ඒ කටයුතු දිගටම කරගෙන යන්න වෙලාවක් තිබුණෙත් නැහැ. ඒ නිසයි මම ඒ ව්‍යාපාරය නවත්තලා දැම්මේ.

ඔබේ ගීත ආධුනික ගායකයන් විසින් ප්‍රසංගවලදී ගායනා කිරීමට නීතිමය පියවර ගන්නා බව ඔබ වරක් ප්‍රකාශ කළා ? ඔබ ඊට විරුද්ධව නීතිමය පියවර ගත් බවක් පෙනෙන්නට නැහැ

නීති මගින් කටයුතු කළත්, දැනට තිබෙන නීතිවලට අනුව දඬුවම් කරන්න අමාරුයි. අපි ඔය ප්‍රශ්නය ගැන වරක් පාර්ලිමේන්තුවටත් දැනුම් දුන්නා. නමුත් ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. සුපර් ස්ටාර්ස් තරගවලින් මතුවෙන අය අපේ ගීත ගායනා කරලා හරිම මෝඩකමක් කරගන්නේ. දන්නා අය දන්නවා ඒ ගීතවල මුල් ගායකයෝ කවුද කියලා. ඒ නිසා ඒ ගීත ගායනා කරලා ඒ අයටම තමයි නරඹන්නන්ගේ හූ හඬවල්වලට මුහුණ දෙන්න වෙන්නේ. ලැජ්ජාවක් තියෙනවා නම් ඒ අය ඒ ගීත ගායනා කරන්නේ නැහැනේ. සුපර් ස්ටාර්ස් තරගවලින් මුල්තැන් දිනාගත්තා නම් ඊට පස්සේ තමන්ගේම ගීත කරන එකයි ඔවුන් කළ යුත්තේ. ඔය වැඩෙන් වෙන්නේ අපි තවත් ජනප්‍රිය වෙන එකයි.

ඔය විදියට ඔබේ ගීත වෙනත් අය ගායනා කිරීම නිසා අපහසුතාවලට මුහුණ දීමට සිදුවුණු අවස්ථා නැද්ද?

කිසිම අපහසුතාවයක් වෙලා නැහැ. එදා අය කරපු මුදල වගේ දෙතුන් ගුණයක මුදලක් අපි දැන් අය කරනවා. විදේශ සංචාර පවා ඕනෑතරම් ලැබෙනවා.

ඔබෙන් පසුව ඔබේ ගීතවලට මොකද වෙන්නේ ?

මගෙන් පසුව මගේ පුතා ඒ ගීත ගායනා කරාවි. අධ්‍යාපන කටයුතුවල යෙදිල ඉන්න නිසයි ඔහු තවමත් වැඩිපුර සංගීත කටයුතුවලට යොමු වෙලා නැත්තේ. ඔහු දැන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ආචාර්ය උපාධියක් සඳහා ඉගෙනගන්නවා. ඒ කටයුතු අවසන් කරලා ඔහු වැඩිපුර සංගීත කටයුතුවලටත් යොමු වේවි.

ඔබේ ජීවිතයේ දැනට තිබෙන ලොකුම බලා‍පොරොත්තුව මොකක්ද?

මගේ ලොකුදුව වෛද්‍යවරියක්. දෙවැනි දුව පෞද්ගලික බැංකුවක විධායක ශ්‍රේණියේ තනතුරක් දරනවා. පුතා ඇමෙරිකා එක්සත් ජනපදයේ ආචාර්ය උපාධියක් කරනවා. ‍පොඩි දුව දැන් උපාධියක් සඳහා ඉගෙන ගන්නවා. ඉතින් ලොකු බලා‍පොරොත්තු හෝ ප්‍රශ්න මට දැන් නැහැ.

කිෂාන් කනංකෙ

Gossip Lanka Hot News Previous News Archive