කෙල්ලට 15යි: කොල්ලට 17යි ගල් ගුහාවක හැංගිලා මධුසමය ගත කළේ ඇයි?

‘මම ඔයාට ආදරෙයි’ අමිලගේ ප්‍රේමාරාධනාව ප්‍රතික්‍ෂේප කර දමන්නට නදීශාට වුවමනා වූයේ නැත. දෙදෙනාටම රහසින් දෙදෙනාගේම හිරිමල් යොවුන් හදවත් තුළ මෝදු වෙමින් තිබූ සෙනෙහස් හැඟුම් අතු ඉති ලමින් ලියලා වැඩෙමින් තිබිණ. අමිල තමා කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන බව නදීශා දැන සිටියාය. එහෙත් ඒ හැඟීම් කුමක්දැයි නිවැරැදිව තෝරා ගැනීමට තරම් පැසුණු නුවණක් ඇයට තිබුණේ නැත. එහෙත් තමාගේ සිතෙහි නුහුරු සතුටක් දනවමින් දිනෙන් දින මෝරා වැඩෙන එම අපූරු හැඟීමට නදීශා තදින් ඇලුම් කරන්නට වූවාය.

‘අනේ අමිල අයියෙ අපි දෙන්නම තාම පොඩි ළමයිනේ. ගෙවල්වලින් දැන ගත්තොත් අපි දෙන්නම ඉවරයි’
නදීශා තම සිතට නැඟුණු සිතිවිලි අමිලට පැවැසුවේ ඔහු ප්‍රතික්‍ෂේප කිරීමට නොවුණත් ඇගේ සිතට ඒ වන විට අවදානමක සේයාවක් වැටී තිබිණි.
‘කමක් නෑ නදීශා නංගී, ඔයා මට අකැමැතියි නම් මම යන්නම්, මම ඔයාට කරදර කරන්නේ නෑ.’
ඔහු පරාජය භාර ගැනීමට සූදානම් වී සිටියේය. ජය ගැනීමට හෝ පරාද වීමට හෝ ඔහුට අවශ්‍ය වී තිබුණේ මාස කිහිපයක් තිස්සේ තමාගේ සිතට රිදුම් දුන් ඒ හැඟීම ඇය හමුවේ ප්‍රකාශ කොට සිත නිදහස් කර ගැනීමටය. එහෙත් අනපේක්‍ෂිත ලෙස ඇය ලබාදුන් පිළිතුර අමිලට සතුට දනවන්නක් විය.
‘අයියේ යන්න එපා ඔහොම ඉන්න ටිකක්. මං කැමැතියි ඔයාට’

නදීශාගේ එම පිළිතුර අමිලට රටක් රාජ්‍යයක් ලැබුණා මෙන් විය. ඉදිරියට පැන නදීශාගේ අතකින් අල්ලා ගත් අමිල ‘නදීශා නංගී හැමදාම මාත් එක්ක ඉන්න’ මට ඕනා එච්චරයි.’

අවසානයේ මේ කුලුඳුල් ප්‍රේමය දෙදෙනාගේම නිවෙස්වලට රහසක්ව තබා ගැනීමට දෙදෙනාම පොරොන්දු වූහ.
කටුවන කිරම ප්‍රදේශයේ ජීවත් වූ නදීශා සහ අමිල පෙම්වතුන් බවට පත් වූයේ ඒ අයුරිනි. මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට අපේක්‍ෂාවෙන් සිටි නදීශා නැඟණියන් දෙදෙනකු හා එක් පිරිමි සහෝදරයකු සිටින පවුලක වැඩිමලා වූවාය. ඇය කටුවන ප්‍රදේශයේ යමක්කමක් තිබූ පවුලක සාමාජිකාවක් වීමත් ඇගේ මව ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ගුරුවරියක් වීමත් පියා වැදගත් රැකියාවක නියුතුවීමත් නිසා මේ කුලුඳුල් ප්‍රේමය ඔවුන්ගෙන් සඟවාගෙන සිටීමට සිදුවිය.
මේ ප්‍රේම සබඳතාවට තමාගේ මවත් පියාත් දෙදෙනාම තරයේ විරැද්ධ වන බව ඇය දැන සිටියාය. එනිසාම ඔවුනට හොරෙන් තම කුලුඳුල් ප්‍රේමය පවත්වාගෙන යෑමට ඇය සැමවිටම උත්සහ දැරුවාය.

එම ප්‍රදේශයේම සාමාන්‍ය පවුලක සාමාජිකයකු වූ අමිලට තම ප්‍රේමය නිවැසියන්ගෙන් සඟවා ගැනීමට එතරම් අවශ්‍යතාවක් තිබුණේ නැත. ‘දැන ගත්තොත් දැන ගත්තාවේ’ ඔහු සැමවිමට සිතුවේ තමාගේ නිවෙසින් විරෝධයක් එල්ල නොවුණත් කවදා හෝ මෙම සබඳතාව අනාවරණය වුවහොත් නදීශාගේ මවුපියන් තමා හා විරසක වන බවය. ගොවිතැන් බතින් එදා වේල සරිකර ගන්නා තමා වැනි දුප්පත් තරුණයකු හට නදීශා වැනි තරුණියක් පෙමින් වෙළීම නදීශාගේ මවුපියන් නොඉවසන්නක් බව අමිල දැන සිටියේය.

නදීශා පාසල නිමවී නිවෙසට යෑමට පාරට පැමිණෙන තෙක් බලා සිටි අමිල ඇය හා කතා කරන්නට අවස්ථාව ලබා ගත්තේය. සති අන්තයේ පැවැත්වෙන උපකාරක පන්ති නිමාවන තෙක් බලාසිටි අමිල එවන් දිනයන්වලදීද ඇය මුණගැසීමට පැමිණියේය. දෙදෙනාගේම මවුපියන්ගේ ඇස්වලට වැලිගසා තම ප්‍රේමණීය අරමුණු ඉටුකර ගැනීමට තරම් දෙදෙනාම සූක්‍ෂ්ම වූහ.

‘ඔයා හොඳට විභාගේ ලියන්න නංගී. මට ඉතින් ගොඩක් දුරට ඉගෙන ගන්න බැරි වුණානේ, අපිට ඔයාලට තරම් සල්ලි බාගේ නැහැනේ, අමිල සිය සුන්වී ගිය අධ්‍යාපන සිහිනය ඇය කෙරෙන් සැබෑ කර ගන්නට සිතුවේය. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පමණක් මුහුණ දුන් අමිල සිය පවුලේ තිබූ ආර්ථික ගැහැටයන් නිසාම වැඩිදුර අධ්‍යාපනය ලැබීම පසෙකලා තම පියා හා ගොවිතැන් කිරීමට එකතු විය. 17 හැවිරිදි අමිලට එදා සිට පාසල් ගමන සිහිනයක්ම වූවේය.
‘ඔයා හොඳට පාඩම් කරලා විභාගේ ලියන්න. පාඩම් කරන වෙලාවට අනම් මනම් හිතන්න එපා’
ඔහු සෑම විටම නදීශාට උපදෙස් හා අවවාද ලබා දුන්නේය. එහෙත් නදීශාට ඒ වන විට ඇගේ මුළු ලෝකයම වී තිබුණේ තම කුලුඳුල් ප්‍රේමය පමණි. පාඩම් පොතපත පසෙකට දැමූ ඇය නිරන්තර පෙම් සිහින දකිමින් සිටියාය. එනිසාම අධ්‍යාපනයට ඇය එතෙක් දැක්වූ උනන්දුව හීනව ගියේ ඇයටද රහසිනි. එහෙත් ඇගේ මේ වෙනස වටහා ගන්නට ගුරුවරියක වූ නදීශාගේ මව සමත්ව සිටියාය.

‘දුව පාඩම් කරන්නෙත් නෑ. කොයි වෙලේත් කල්පනාව. මට නම් ඒ තරම් අල්ලන්නේ නෑ. මොකක් හරි පටලවගෙනද දන්නෙ නෑ. ඔයා ටිකක් හොයලා බලනවද?
නදීශාගේ මව යොවුන් දියණියගේ හැසිරීම්වල වෙනසක් දුටු නිසාම ඒ බව නදීශාගේ පියාට අවධාරණය කළාය.
නදීශාගේ හොර ඇල්ලීමට සිතා සිටි පියා ඇගේ උපකාරක පන්තියට යන්නේ මේ අතරවාරයේදීය. නිවෙසින් පැමිණුන දියණිය එම පන්තියේ නොසිටි බව තහවුරු කරගත් ඔහු තරහින් පුපුරමින් නිවෙසට පැමිණියේය. සවස් යාමයේ කිසිත් නොවූවාක් මෙන් නදීශා නිවෙසට ඇතුළු වූයේ ‘අම්මේ මට හරිම මහන්සියි කියමිනි. ඇගේ අපූරු රංගනය දෙස බලා සිටි පියාට තවත් ඇගේ රංගනය බලා සිටින්නට නොහැකි වූවේය.
‘මහන්සියි.... උඹ අද කොහෙද ගියේ’

නදීශාගේ කෙස් වැටියෙන් අල්ලා ගත් ඇගේ පියාගේ වදන් ඇය ඉදිරියේ හෙණ ගසන්නාත් මෙන් පතිත වූවේය. එකදු වචනයක්වත් පිටකර ගැනීමට නොහැකි වූ නදීශා ගොත ගසන්නට පටන් ගත්තාය. එහෙත් ගොතාගත් බොරුව පිටකිරීමටත් පෙර ඇගේ කම්මුල හරහා ඇදී ගියේ වේදනාත්මක අතුල් පහරකි. තාත්තාගේ ග්‍රහණයෙන් මිදුණ නදීශා දුව ගොස් කාමරයේ ‍ෙදාර වසාගෙන ඉකිබිඳින්නට වූවාය.
‘උඹ අර වතුකන්දේ කොල්ලා එක්ක රෝන්දෙ ගහන බව අපි දන්නවා. ඔය සම්බන්ධෙ දැන්ම නවත්තලා දාපන්. අපි රෙදි ඇඳන් පාරට බහින්න ඕනෑ.’ එවර නම් තමාගේ මවද කෝපයට පත්වී ඇති බව නදීශා වටහා ගත්තාය.
රාත්‍රිය කඳුළින් හා සුසුමින් පහන් කළ නදීශා ඉක්මනින්ම අමිලව මුණගැසෙන ක්‍රමයක් පිළිබඳව සිතුවාය. පාසල නිමවී යෙහෙළියන්ගේ මාර්ගයෙන් පණිවුඩයක් යවා අමිලව පාසල ළඟට ගෙන්වා ගන්නට ඇය සමත් වූවාය.

‘අයියේ තවත් මට ගෙදර ඉන්න බෑ ගෙදරින් සේරම දන්නවා. මාව කොහේහරි එක්ක යන්න’ නදීශා ඇවිටිලි කරන්න වූවාය.
‘මම රෑ වෙලා ගේ ගාවට එන්නම් ඔයා එන්න,’ සියල්ල රහසේ සැලසුම් විය.
අමිල පැවැසූ වෙලාව එනතෙක් බලා සිටි නදීශා අතට හසුවුණ ඇඳුමක්, දෙකක් මල්ලකට දමාගෙන අම්මාටත්, තාත්තාටත් හොරෙන්ම අමිල හා නිවෙසින් පලා ගියාය. උදෑසන අවදි වූ විට නදීශා නිවෙසේ නොසිටි බව වටහා ගත් නදීශාගේ මවත් පියාත් ගම දෙවනත් කරමින් නදීශාව සොයන්නට වූහ. එහෙත් එදින නදීශා පිළිබඳ කිසිදු තොරතුරක් ලබා ගැනීමට ඔවුහු අපොහොසත් වූහ.

නිදි වර්ජිතව නදීශාව සෙවූ පියාට පසුදිනයේ ලැබුණ හෝඩුවාවකට අනුව ඔහු නදීශා සොයා පිටත් වූවේය. ලැබුණ හෝඩුවාව සත්‍යයක් කරමින් එකී ස්ථානයේ නදීශා ඇගේ පෙම්වතා සමඟ සිටිනවා ඔහුගේ අතටම හමුවිය. එතැනදීම අමිලට පහරදුන් නදීශාගේ පියා නදීශාව ඇදගෙන නිවෙසට පැමිණියේය. එදිනම අමිලගේ නිවෙස වෙත ගිය නදීශාගේ පියා අමිලගේ මවුපියන්ටද බැන වැදී තර්ජනය කොට නැවත නිවෙසට පැමිණියේය.

‘උඹ එක රැයක් ගෙදරින් පැනලා ගියා නේද අපේ ඇස් වහලා. මම කොහොමද මිනිසුන්ට මූණ දෙන්නේ.
කෝපාවිෂ්්ට වූ නදීශාගේ මව ඇයට පහර දෙන්නට වූවාය. තවදුරටත් මවුපියන්ගේ දඬුවම් ඉවසා සිටීමට නදීශාට නොහැකි විය. ඒ වන විට ඇයට නිවෙස අපායක් බවට පත්වී තිබිණි. සාමාන්‍ය පෙළ සිහිනය අතහැර දැමූ නදීශා නොකා නොබී හඬමින් අමිල ගැනම සිතමින් කල්පනා කළාය.
සති කිහිපයක් පුරා නිවාස අඩස්සියේ රැඳී සිටි නදීශා දවසින් දවස නිවෙසින් පිටවන ක්‍රමයක් ගැන සිතමින් ළතැවුණාය. ඒ අනුව පසුගිය සිකුරාදා (09දා) දිනයේ එයට සුදුසු අවස්ථාව උදාවිය. නිවෙසේ සියලුම දෙනා එහා මෙහා වන තෙක් බලා සිටි නදීශා හිස් අතින්ම නිවෙසින් පලා ගියේ කෙළින්ම අමිලගේ නිවෙස වෙතය.
සති කිහිපයක් තමාව බැලීමට නොපැමිණීම පිළිබඳ නදීශා අමිලට නෝක්කාඩු කියන්නට වූවාය.

මම දවස් දෙක තුනක් ඇති ඉස්පිරිතාලෙන් ඇවිත්. මට ඔයාගේ තාත්තා දවසක් ඇවිත් හොඳටම ගැහුවා. අපේ ගෙදර අයටත් බැන්නා. මට අමාරු වෙලා ඉස්පිරිතාලේ ගෙනිච්චා. නදීශා එතෙක් නොදැන සිටි දේ අමිල හෙළි කළේය. නදීශාගේ දෙනෙතින් කඳුළු කඩා හැලෙන්න වූවාය.
‘මම නිසයි ඔයාට මේ හැම කරදරයක්ම. ඒත් මට තවත් ගෙදර ඉන්න බෑ. මට ඔයා එක්ක ඉන්නයි ඕන අපි කොහේ හරි යමු.....’
අමිලගේ දෑතින් අල්ලාගත් නදීශා එතෙක් දවස් තමා ගෙදරට සිරවී සිටිමින් විඳි වේදනාව ඔහු හමුවේ කඳුළින් දියකර හැරියාය. දෑතින් නදීශාගේ දෙනෙත් පිසදැමූ අමිල ‘හරි අපි දෙන්නා කාටවත් හොයා ගන්න බැරි පැත්තකට යමු’යි කියමින් තම අවසාන තීරණය නදීශාට පැවැසුවාය.
අරමුණක්, බලාපොරොත්තුවක් නැතිව දෑඟිලි පටලවා ගත් නදීශා සහ අමිල නිවෙසින් පිටතට බැස්සහ. තමන් යන්නේ කොතැනටදැයි ඔවුන් දෙදෙනාම දැන සිටියේ නැත. පාරවල් අවසාන වන තෙක් ඔවුහු ඇවිද ගියහ. අවසානයේ ගමනාන්තය වූයේ මහකැලෑවකි. දෙවරක් නොසිතූ පෙම්වතුන් යුවළ කැලෑවට ඇතුළු වූහ. ආරක්‍ෂිත ස්ථානයක් හමුවනතෙක් දෙදෙනා කැලෑව පුරා ඇවිදින්නට වූහ.
‘අන්න ගල් ගුහාවක් අපිට තවත් ඇවිදින්න බැහැ. අපි අද මෙතැන නවතිමු’ පවස නිවාගැනීමට දිය බි¼දකුදු නොමැතිව ඔවුන් දෙදෙනා එදින රාත්‍රිය කැලය මැද තිබූ ගල් ගුහාවේ ගත කරන්නට තීරණය කළහ.

නදීශාත්, අමිලත් ගල්ගුහාව තුළට වී පෙම් සුව විඳින අතර තුර නදීශාව හා අමිලව සොයාගන්නට ඔවුන්ගේ මවුපියන් පියවර ගෙන තිබිණි. නදීශා නිවෙසේ නැති බව දැන ගත් ඇගේ මවගේ හා පියාගේ හිස් ගිනි ගත්හ. කටුවන පොලිසියේ සහාය ඇතිව නදීශාව සෙවීමට පටන් ගත්තේය.
අමිලගේ පියාද පුතු සොයා මුළු ගමම පීරන්නට විය. මුළු දිනයක් පුරා මිනිසුන්ගෙන් තොරතුරු අසමින් ඔහු අමිලව සෙවුවේය.
‘තරුණ ළමයි දෙන්නෙක් ඔය කැලේ දිහාට නම් ගියා. ‘එකී තොරතුර අනුව අමිලගේ පියා සවස් යාමයේ කැලය තුළට සේන්දු විය. අවසානයේ අමිලගේ පියාට අමිල හා නදීශා සිටි ගල් ගුහාව සොයා ගන්නට හැකි විය.
අමිලව දුටු පියාට දරු දුක වාවාගන්නට නොහැකි විය. බොන්නට දිය පොදක් හෝ නැති කැලයක තම දරුවා දුක් විඳින ආකාරය ඔහුට ඉවසා ගන්නට නොහැකි විය. කැලයෙන් පිටත්වූ ඔහු නැවත ගමට ගොස් කන්නට බත් මුලකුත් වතුර බෝතලයකුත් රැගෙන නැවත අමිලව සොයා පැමිණියේය.
‘පුතේ ඔයාලව පොලිසියෙන් හොයනවා කියලා ආරංචියි. ඔය දෙන්නා තාම පොඩි ළමයි. ඒ නිසා ආපහු ගෙවල්වලට යමු.’ අමිලගේ පියා එසේ පැවැසුවද අමිලවත් නදීශාවත් එයට එකඟ වූයේ නැත.

‘අපි මෙතැන ඉන්නවා. තව ටික දවසකින් අපි එන්නම්. දැන් ආවොත් නදීශාගේ තාත්තා මටත් ගහලා නදීශාව අරන් යයි.’
අමිලගේ තීරණය අනුව ඔවුන් දෙදෙනා තවදුරටත් ගල්ගුහාවේ සිටීමට තීරණය කළේය. තුන්වැනි හා හතරවැනි දිනයේත් අමිලගේ පියා කන්නට බොන්නට රැගෙන ගල්ගුහාවට පැමිණියේය. පස්වැනි දිනයේද ඔහු අමිලව බැලීමට පැමිණියේය. කටුවන පොලිසියේ කණ්ඩායමක්ද අමිලව හා නදීශාව සෙවීමට පටන්ගෙන තිබිණි. ඔවුන් ලබාගත් තොරතුරු අනුව අමිල හා නදීශාව සොයා කැලයට පිටත්වීමට පොලිසිය තීරණය කළේය.
ගම්මුන් ලබාදුන් තොරතුරු අනුව යුවළක් කැලයේ ගුහාවක වෙසෙන බවට ඔවුහු තහවුරු කරගත්හ. ඒ අනුව නදීශාවත්, අමිලවත් ගල්ගුහාවේ සිට සොයා ගැනීමට පොලිසියට හැකිවිය. දින පහක් ගල්ගුහාවේ ගතකළ නදීශා සහ අමිල පොලිසියට කොටුවූයේ ඒ ආකාරයටය. අවුරුදු 15, 17ක් යන වයස්වල පසුවූ නදීශා සහ අමිලව නීතියෙන් විවාහ කිරීමට නොහැකි වූ නිසාම දෙදෙනාටම අවවාද කොට නැවතත් මවුපියන්ට භාර කිරීමට පොලිසියට සිදු විය.

නදීශා හා අමිල පෙම්වතුන් බව සැබෑය. ඔවුනට පෙම් කිරීමට තහනම් යැයි පැවැසීමට කිසිවකුට නොහැකිය. එහෙත් බාලවයස්කරුවන් වූ ඔවුනට පෙම් කිරීමට අයිතිය ඇතත් විවාහවීමට නීතියෙන් අවසර නැත. පවතින යථාර්ථය අවබෝධ කරගැනීමට නොහැකිවූ ඔවුන්ව ප්‍රේමණීය ෆැන්ටසියකට ගෙන ගොස් අතහැර දැම්මේ කවුරුන්දැයි සෙවීම අප සැමගේම යුතුකමක් හා වගකීමකි. එතැනදී මුළුමහත් සමාජයම එහි වරදකරුවන් වනු ඇත.
ප්‍රේමය, රාගය පමණක් මුල්කොට පෙන්නන්නාවූ ටෙලි නාට්‍ය, චිත්‍රපට තුළ අතරමං වන තරුණ දරුවන්ට නිවැරැදි ආදර්ශ සපයන්නට සමාජයට නොහැකිවීම කනගාටුදායකය. කාම චිත්‍රපට, කාම වීඩියෝ පට තුළ මනස් විකෘති කරගත් තරුණ දරුවන්ට නිවැරැදි මඟ පෙන්වීමක් නැත. තරුණ දරුවන්ගේ සිතුවිලි අවබෝධ කරගෙන ඔවුන් හා සුහදව හා විවෘතව ගනුදෙනු කිරීමට තවමත් මෙරට මවුපියන් සූදානම් නැත. හරිදේ හරි ලෙසටත් වැරැදි දේ වැරැදි ලෙසටත් කියා දෙන හර පද්ධතියක්ද තවමත් බිහිවී නැත.

තමන්ම ගොඩනඟා ගත් ලෝකවල වීරයන් වන තරුණ පරම්පරාවට ආදර්ශයට ගත හැකි පරමාදර්ශී චරිතද තවමත් බිහිවී නැත. එවන් වටපිටාවක අමිල හා නදීශා වැන්නවුන් බිහිවීම පුදුමයක්ද අරුමයක්ද නොවේ. එසේම මෙය එම පරම්පරාවේ පළමු හා අවසන් සිදුවීමද නොවනු ඇත.


අරුණි මල්ලවආරච්චි
වීරකැටිය - සේන වික්‍රමාරච්චි
උපුටා ගැනීම -මව්බිම පුවත්පත ඇසුරිනි

Gossip Lanka Hot News Previous News Archive

Related Posts Plugin for WordPress, Blogger...