වසර 17කට පෙර කොටහේනේදී ඇල්ලූ ලොරියේ තවත් පුපුරන ද්‍රව්‍ය කිලෝ 100ක්

කොළඹ බෝම්බ පුපුරුවා මහා විනාශයක් කිරීමේ අරමුණින් ටී.එන්.ටී. වර්ගයේ අධි බලැති පුපුරන ද්‍රව්‍ය ‍කිලෝ 750ක් සමඟ මෙයට වසර 17කට පෙර අත්අඩංගුවට ගත් ලොරි රථයේ තිබී තවත් එම වර්ගයේම පුපුරන ද්‍රව්‍ය කිලෝ 100ක් සොයා ගැනීමට පොලිසිය පෙරේදා (12) සමත් විය.

1996 පෙබරවාරි 12වැනිදා කොටහේන ප්‍රදේශයේදී කොටි සැකකරුවන් තිදෙනකුද සමඟ අත්අඩංගුවට ගත් මෙම ලොරිය සියලු ආරක්ෂක අංශවල පරීක්ෂාවෙන් අනතුරුව කොළඹ 14 කොටහේන සාම විහාර භූමියේ නවතා තිබී ඇත.මෙම ලොරිය වසර 17ක් තිස්සේ එම ස්ථානයේ දිරාපත්වෙමින් තිබූ අතර නඩු විභාගවලින් පසු අධිකරණ නියෝග මත පෙරේදා එම ලොරිය බර ඉසිලීමේ යන්ත්‍රයක් යොදා ඉවත් කිරීමට කටයුතු කෙරිණි.

එම ඉවත් කිරීම් සිදු කරන අවස්ථාවේ දිරාපත් වූ ලොරියේ කැබලි කඩා වැටී ඇති අතර ඒ සමඟ එතුළ තිබී තවත් ටී.එන්.ටී. වර්ගයේ අධිබලැති පුපුරන ද්‍රව්‍ය කිලෝ 100ක් අඩංගු පෙට්ටි 8ක් තිබූ බව පොලිසිය පවසයි.1996 සොයාගත් පුපුරන ද්‍රව්‍ය කිලෝ 750 සොයා ගත්තේ ලොරියේ චැසිය තුළ අසුරා තිබියදීය. මෙම පුපුරන ද්‍රව්‍ය තොගය ලොරියේ චැසියට යාබදව සවිකැර තිබෙන යකඩ පෙට්ටියක අසුරා තිබී ඇති බව අනාවරණය වී තිබේ.


විශේෂ කාර්ය බළකාය සහ බෝම්බ නිශ්ක්‍රීය අංශය පැමිණ මෙම බෝම්බ තොගය පරීක්ෂා කැර ඇති අතර එම පුපුරන ද්‍රව්‍ය තවමත් සක්‍රිය තත්ත්වයේ පවතින ඒවා බව සොයාගෙන තිබේ.

1996 දී කොළඹ මහා විනාශයක් කිරීමට ගෙන ආ බව කියන මෙම බෝම්බ ලොරිය පොලිසියේ බෝම්බ නිශ්ක්‍රීය අංශය, රහස් පොලිසිය, විශේෂ කාර්ය බළකාය, ත්‍රස්ත විමර්ශන ඒකකය ඇතුළු ආරක්ෂක අංශවල නිලධාරීන් විශාල පිරිසකගේ පරීක්ෂාවට ලක්වී තිබිණි. එහෙත් ඉහත කී ආරක්ෂක නිලධාරීන්ගේ පරීක්ෂාවට මෙම පුපුරන ද්‍රව්‍ය තොගය ඇස නොගැසුණේ කෙසේද යන්න පිළිබඳව ඉහළ පොලිස් නිලධාරීන්ගේ මවිතයට හේතුවී තිබේ.

මේ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමටද අවධානය යොමුවී ඇත. පුපුරන ද්‍රව්‍ය තොගය ඊයේ (13) විනාශ කිරීමට පියවර ගෙන තිබිණි.

Gossip Lanka Hot News Previous News Archive