පකිස්ථානයේ සිහින බොඳ කළ සිංහයින් පළමු තැන රැකගනී - Sri Lanka won by 24 runs (Series drawn 1-1)

පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගවල කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පැමිණීමට තිබූ පකිස්ථාන කණ්ඩායමේ සිහිනය බොඳ කරමින් යළිත් එම ස්ථානය රැක ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් විය.

ඒ පකිස්ථානය සමග පැවති දෙවන පන්දුවාර 20යි 20 තරගය ලකුණු 24 කින් ජයග්‍රහණය කිරීමත් සමගිනි.මෙම තරගය ශ්‍රී ලංකාව පරාජය වූයේ නම් 20යි 20 ශ්‍රේණිගත කිරීමේ ලේඛනයේ 4 වන ස්ථානය දක්වා පසු බසිනු ඇති.ඒ අනුව තරග දෙකකින් සමන්විත තරගාවලිය තරග 1 – 1ක් ලෙස අවසන් විය.

ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනු පකිස්ථානය ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ලෙස කුසල් පෙරේරා සහ ටී.එම්.ඩිල්ෂාන් පිටියට පිවිසියේය.ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 ක විශිෂ්ට සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය.පළමු කඩුල්ල ලෙස ඩිල්ෂාන් ලකුණු 48කට දැවී ගියේය.විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කුසල් පෙරේරා 20යි 20 තරගවල සිය තෙවන අර්ධ ශතකය ලබා ගත්තේය.


ඔහු පන්දු 59කදී ලකුණු 84ක් ලබාගත් අතර ඊට හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් ඇතුලත් විය.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ සීකුගේ ප්‍රසන්න පන්දු 8කදී ලකුණු 21ක් ලබා ගත්තේය.

ඊට හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් ඇතුලත් විය.කුමාර් සංගක්කාර පන්දු 21කදී නොදැවී ලකුණු 44ක් ලබා ගත්තේය.

ඒ අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 3ක් දැවී ලකුණු 211ක් ලබා ගත්තේය.

සයිඩ් අජ්මාල් ලකුණු 25කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථාන කණ්ඩායමේ කඩුලු 7ක් ලකුණු 85ක් තුළ දැවී ගියේය.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ෂාජීල් ඛාන් පන්දු 25කදී ලකුණු 50ක් ලබා ගත්තේය.

එය ඔහුගේ 20යි 20 තරගවල මංගල අර්ධ ශකය ද වේ.

එම ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් ඇතුලත් විය.

පකිස්ථානය ජයග්‍රාහී මාවත කරා ගෙනයාමට උත්සාහ කළ සයිඩ් අෆ්රිඩි කුමාර් සංගක්කාරගේ විශිෂ්ට උඩ පන්දු රැකීම හමුවේ ලකුණු 28 කට දී දැවී ගියේය.වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ සොහිල් තන්වීර් පන්දු 26කදී ලකුණු 41ක් ලබා ගත්තේය.

පකිස්ථාන පිතිකරුවන් තිදෙනෙකුම ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමව ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

ඒ අනුව පකිස්ථානයට පන්දුවාර 19යි පන්දු 2කදී සියලු දෙනා දවාගත හැකි වූයේ ලකුණු 187ක් පමණි.

සචිත්‍ර සේනානායක පන්දුවාර 4කදී ලකුණු 27කට කඩුලු 3ක් දවා ගත්තේය.

සීකුගේ ප්‍රසන්න, තිසර පෙරේරා සහ නුවන් කුලසේකර අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

තරගයේ වීරයා සම්මානය ශ්‍රී ලංකා කුසල් පෙරේරාට හිමි වූ අතර තරගාවලියේ වීරයා සම්මානය පකිස්ථානයේ සයිඩ් අෆ්රිඩිට හිමිවිය.

දෙරට අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය ලබන 18 වන දා ඩුබායිහිදී ආරම්භ වේ.




Gossip Lanka Hot News Previous News Archive