Man shot dead in front of Mahara Court

Person Killed In Shooting Near Mahara Magistrate's Court
මහර උසාවිය ඉදිරිපිටදී රත්මලානේ ලන්සියා වෙඩි කා මියයයි - වීඩියෝ

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල සාමාජිකයකු වන සුදේශ් වසන්ත නොහොත් ලන්සියා නමැත්තා කඩවත පිහිටි මහර මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී ඔහුට විරුද්ධ තවත් කණ්ඩායමක් විසින් වෙඩි තබා ඊයේ (23) උදෑසන ඝාතනය කර තිබේ.

සුදු පැහැති මෝටර් රථයකින් පිරිස පැමිණ ඇති අතර එම මෝටර් රථයෙන් බැසගත් දෙදෙනකු ටී 56 ගිනිඅවියක් සහ මි.මී. 09 වර්ගයේ පිස්තෝලයක් යොදා ගනිමින් වෙඩි තැබිම සිදුකර ඇත.


ඝාතනයට ලක්වූ සුදේශ් නමැත්තා ඊයේ උදෑසන මහර අධිකරණයට පැමිණ ඇත්තේ ඔහුට විරුද්ධව ඇති හෙරොයින් නඩුවකට ඉදිරිපත් වීම සඳහාය.ඒ හෙරොයින් ග්‍රෑම් 100ක් ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

නඩු විභාගය නිම වී සුදේශ් ඔහුගේ බිරිඳත් නැඟණියත් දරුවාත් සමග සිය මෝටර් රථය අසලට පැමිණ ඇත. එලෙස පැමිණ මෝටර් රථයේ දොර විවෘත කොට රියැදුරු අසුනෙන් වාඩි වනවාත් සමග සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙක් ගිනිඅවි රැගෙන ඔහු සිටි මෝටර් රථය අසලට පැමිණ ඇත. එලෙස පැමිණ එක දිගට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත. අනතුරුව පිරිස පැමිණි මෝටර් රථයෙන්ම පලා ගොස් තිබේ.

වෙඩි වැදුණු සුදේශ් රාගම රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර එසේ රැගෙන යන විට මියගොස් ඇත.
මොහු ප්‍රබල පාතාල සාමාජිකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස ‍පොලිස් ‍පොත්වල නම සටහන් වී ඇත. රත්මලාන ප්‍රදේශයේ ජීවත් වූ මොහු දකුණේ පාතාලයේ ප්‍රබලයකු වන මධූෂ් සමග සබඳතා පවත්වමින් හෙරොයින් ජාවාරමේ නිරත වී ඇත.

මේ නිසා අවස්ථා කිහිපයකදී මොහු හෙරොයින් සමග ‍පොලිසියට කොටු වී ඇත. සත් වතාවක් හෙරොයින් ග්‍රෑම් 100ක් සමග ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට කොටු වී ඇති අතර ඊට අදාළ නඩුවකට ඔහු ඊයේ පැමිණ ඇත. එසේම මොහුට විරුද්ධව නීතිවිරෝධී ගිනිඅවි ළඟ තබා ගැනීමේ චෝදනාද ඇත.

සිද්ධිය වූ අවස්ථාවේ අසල සිටි දෙදෙනෙක් සිදුවීම විස්තර කළ අතර ඔවුහු සිය නම කීමට අකැමැති වූහ.

සිද්ධිය ඇසින් දුටු අසල වෙළෙඳසල් හිමියෙක් : මම පාර අයිනේ සිටියදී උසාවිය පැත්තේ ඉඳලා ආව පුද්ගලයෙක් පාර අයිනේ නවත්වලා තිබුණ මෝටර් රියට නැග්ගා. තවත් කාන්තාවන් දෙදෙනෙක් හා කුඩා ළමයෙක් ඉන්නවාත් දැක්කා.  ඊට පස්සේ ඇතුළෙ හිටිය අයට ඒ පුද්ගලයා මොනවාහරි දෙනවාත් දැක්කා. ඒ එක්කම එකපාරටම ආව සුදු පාට මෝටර් රථයක් ඒ වාහනය ඉස්සරහින් නැවැත්තුවා. මූණ ආවරණය කර ගත්ත එක්කෙනෙක් බැහැලා ඉස්සරහින් වෙඩි තිබ්බා. ඊට පස්සේ ඉස්සරහ දොර ළඟිනුත් වෙඩි තිබ්බා. ඇතුළේ හිටපු කාන්තාවක් වාහනයෙන් බැහැලා උදව් ඉල්ලලා කෑ ගැහුවා. හැබැයි තිබුණ තත්ත්වය එක්ක කවුරුත් ළඟට ගියේ නැහැ. අර වාහනයත් ගියා. වෙඩි ශබ්ද විස්සකට වඩා ඒ වෙලාවේ ඇහුණා. පස්සේ සෙනග ඇවිත් ඔහුව රෝහලට අරගෙන ගියා. ඒ වෙද්දිත් මිය ගිහින් ඉන්න ඇති.

නඩු කටයුත්තක් සඳහා උසාවියට පැමිණ සිටි පුද්ගලයෙක් : මම උසාවියේ ගේට්ටුව ළඟ හිටියේ. පාරට මීටර් 40ක් වගේ ඇති. පාර පැත්තෙන් වෙඩි තියන ශබ්දයක් ඇහුණා. ඊට පස්සේ අපි කට්ටියක් ඒ පැත්තට දුවගෙන ආවා. එතකොට දැක්කා පුද්ගලයකුට වෙඩි වැදිලා ඉන්නවා. ඒ වෙනකොටත් කට්ටියක් ඔහුව අරන් යනවා දැක්කා. ඊටත් පස්සේ තමයි වෙඩි වැදිලා තිබුණ වාහනය දැක්කේ. ගෑනු කෙනෙකුත් කෑ ගහනවා දැක්කා. තවත් කට්ටිය එතැන හිටියා යැයි පැවසීය.

Gossip Lanka Hot News Previous News Archive