Mother Pregnant With Twins Dies In Accident

Pregnant mother with two children who were died in a twin belly
උපදින්න සිටි නිවුන් දරුවන් උපදින්න පෙර මරුට බිලි කළ ත්‍රිරෝද යතුරුපැදි අනතුර
ත්‍රීවිල් කාරයා බයිසිකලය පිටුපසින් හප්පලා

අවිනීත රියැදුරන් කෙතරම් නම් අහිංසක ජීවිත ප්‍රමාණයක් මේ වසර තුළ පමණක් බිලිගන්නට ඇද්ද? එහෙත් කෙතරම් අනතුරු ප්‍රමාණයක් සිදු වුවද ඒ රියැදුරන්ගේ අවිනීතකම්වලට හෝ නොසැලකිල්ලට නිමාවක් නැත.

පාර මඟ තොට කොන්ක්‍රීට් දමා කාපට් කැර තනා ඇත්තේ තමන්ගේ කටයුතු කාර්යක්ෂමව ඉටුකරගන්නට අත්වැලක් වශයෙනි.

ලෝකය රොකට් එන්ජින් වාෂ්ප එන්ජින් නිපදවා දිව යද්දී අපට බර කරත්තයෙන් ගමන් යාමට නොහැකිය. එනිසා සංවර්ධනය කඩිනම් කරගැනීමට රජය මේ මාවත් නිසි පිළිවෙළට සකසමින් සිටියි. එසේ හදා දෙන පාරවල තරග පවත්වමින්, මගී ජීවිත විනාශ කරමින් වේගවත්ව මිනිසුන් මරා හෝ තමන්ගේ වැඩේ කරගැනීම නින්දිතය.

මේ කතාවට ආසන්න හේතුව වාර්තා වන්නේ ඉකුත් පොසොන් දා සවස් කාලයේ දෙහිඅත්තකණ්ඩිය නගරයෙනි.

“මේ මිනිසුන් හරිම අවිනීත විදියට වෙලාවකට රිය පදවනවා. හැම රියැදුරාම නොවෙයි, එහෙම පුරුද්දට වැඩ කරන අය ඉන්නවා. තුවාරගල පදිංචි ආර්. ඩී. නිරෝෂිකා තරුණ ගැබිනිය මරා දැම්මෙ ඒ වගේ රියැදුරෙක්. අපි එයාව අල්ලලා දැන් රිමාන්ඩ් කරලා තියෙන්නෙ. එදාම තවත් අනතුරක් ප්‍රදේශයේ සිදුවුණා.” මේ සිද්ධියෙන් කම්පාවට පත් දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානාධිපති මනෝජ් අලගියවන්න මහතා එසේ කීවේ තම අත්දැකීම්වලින් බිඳක් අප හමුවේ තබමිනි.

දෙහිඅත්තකණ්ඩිය, තුවාරගල අංක 321, නිවසෙහි පදිංචි නිරෝෂනි රාජපක්ෂ හා ධනුෂ්ක මධුශංක යුවළ ඉතාම අහිංසක දුප්පත් මිනිස්සු වූහ. තම බිරිය කුලුඳුලේ ලබන දරු පැටවුන් රැක බලා ගැනීමේ එකම අභිලාෂයෙන් පසුවූ මධුශංක වෙනදාටත් වඩා වැඩි මහන්සියකින් යම් අත මිටක් සොයා ගැනීමට මහන්සි ගත්තේ අනාගතය ගැන බොහෝ සිහින දකිමිනි.

සායනයේදී ස්කෑන් පරීක්ෂණයකින් පසු දැන්වූ පරිදි නිරෝෂනිගේ කුසේ කුලුඳුලේම නිවුන් දරුවන් දෙන්නෙකු සිටින බව ඇසු මේ දෙමාල්ලෝ මහත් සතුටු වූහ.

“අනේ, අපේ පුංචි ගොවිපළ කරගන්න පැටවු දෙන්නෙක්ම ඉන්නවා.” ඔව්හු අසල්වැසියන්ට ද කීහ.

ඔවුන් හතර අතේ ණය වී ලීසිං ක්‍රමයට පුංචි යතුරුපැදියක් ගත්තේ රස්සාවේ කටයුතු තවත් වේගවත් කරගන්නට හිතමිනි. කුඩා ගොවිපළෙන් ලැබෙන අඩුමකුඩුම වෙළෙඳපළට ගෙන ගොස් විකිණීමට දැන් කුලී වාහන අවශ්‍ය නැත. ඒ කාරියත් දැන් මෝටර් සයිකලෙන්ම කරගත හැකිය. මේ විදියට බලන විට මෝටර් බයිසිකලය ඔවුනට දෙවියකු වැන්හ.

කුඩා දරුවන් දෙදෙනා තම කුසේ පෙරැළි කිරීම නිරෝෂණිට මහත් ආස්වාදයක් විය. ඇය ඒ වෙලාවට මධුශංකව නිදි යහනේම අවදි කරවා දරුවන්ගේ පාද තම කුසයෙහි මවන හැඩ-රටා පෙන්වා සතුටින් සිනාසුණාය. දරුවන් වැදීමට සිටින මවකට ඇතිවන විශේෂ ආහාරපාන කෑමේ බීමේ සතුට ගැන අපේ අම්මාවරු හොඳින් දනිති. සාමාන්‍ය වචනයෙන් එය අරුත් ගැන්වූයේ ‘දොළදුක’ කියාය. මම දැන් ඔබට වෙනත් යමක් කියමි.

‘දො’ යනු ද්වි යන අරුතය. ‘ළ’ යනු හදවතය. එසේම ‘දො’ යන අරුත “දෙදෙනා” වශයෙන් ද ගත හැකිය. එසේනම් “දෙදෙනාගේ හදවත” යන්න ‘දොළ’ ලෙස අර්ථ දැක්වේ. ‘දුක’ යනු දුකය. මේ අනුව දොළදුක වන්නේ “හදවත් දෙකක දුක” යන්නය. අම්මා හා දරුවාගේ දුක හදවත් දෙක ලෙස ගිණිය හැකිය. මේ නිරුක්තිය මා හට කීවේ භාෂා ඥානයෙන් පිරිපුන් පඬිරුවන දිවංගත අරිසෙන් අහුබුදුය.

කෙසේ වෙතත් 20 වැනි වියේ පසුවූ නිරෝෂනිට ද කුලුඳුළේ දරුවන් කුස ඔත් බැවින් ‘දොළ දුකක්’ උපන්නේය. ඒ අනෙකක් නොව පොසොන් පෝ දින දන්සල් බතක් කන්නටය. ඕ ඒ ගැන දෙවතාවක් නොසිතා සැමියා මධුශංකට කීවාය. මධුශංක ද ඇගේ යෝජනාවට “එක පයින් ම” කැමැති විය.

මේ දෙදෙනා දෙහිඅත්තකණ්ඩිය නගරය දෙසට යන්නට පිටත් වූයේ තම වාහනය මෝටර් බයිසිකලයෙනි. දන්සල් බත් සුවඳ ඉතිරෙන ස්ථානයට තිබුණේ තවත් වංගු දෙකක් පමණි. සැමියා සමඟ සතුටු අල්ලාප සල්ලාපයේ නොයෙදී බයිසිකල් ගමන යන්නට පවා ඇය පරෙස්සම් වූයේ කුස ඔත් දරු පැටියන්ට යම්බඳු හානියක් වේයැයි සිතමිනි.

එහෙත් පාපතර ත්‍රීවිලරයක නැඟි මාරයා කාපට් පාරේ සෙල්ලම් දමමින් ආවේ මේ අතරය. ඒ කාලකණ්ණි රියැදුරා ද ඇගේ ගමේම කෙනෙකු වීම තවත් සුවිශේෂයකි.

තණ බිස්සට ගෑවි නොගෑවි පාරේ අයිනෙන් සීරුවට යන මේ දෙමාල්ලන් නැඟි බයිසිකලය පිටුපස පැමිණි ත්‍රිරෝද රථ මාරයා එක්වරම පිටුපස්සෙන් එම යතුරු පැදියට හැපුණේ ‘‍ඩෝං’ හඬ නඟමිනි. මධුශංකත් නිරෝෂණිත් බලාපොරොත්තු නොවූ මේ සිද්ධියෙන් උඩ විසිවී ගොස් බිම වැටුණහ. එතැන තරමක අඩි 5ක පමණ පල්ලමක් ද විය. නිරෝෂණි රෝල් වී ගියේ එම පල්ලමටය. ඇගේ කුස උන් දරු දෙන්නා මඳක් ගැස්සී නිසොල්මන් වූහ. ඇය ද මහත් විලාපයක් නඟා ප්‍රාණය නිරුද්ධව සිටියාය.

ඇගේ සැමියාගේ පාද දෙකටම බරපතළ තුවාල සිදු විය. වහා ක්‍රියාත්මක වූ ජනතාව දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඔහු ගෙන ගියත් අසාධ්‍ය තත්ත්වය නිසා හෙතෙම පොලොන්නරුව රෝහලට මාරු කැර යැවිණ.

දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානාධිපති මනෝජ් අලගියවන්න මහතා තවදුරටත් මෙසේ කීවේය.

“මේ සිද්ධිය ගැන ගරු මහේස්ත්‍රාත් තුමියත් කම්පා වුණා. ත්‍රිවිල් රියැදුරා ජුලි මාසෙ 04 වැනිදා දක්වා රිමාන්ඩ් කළා. මේ වගේ අයට තදින්ම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ. මෙලොව එළිය දකින්න ගිය අර පුංචි දරු පැටවු දෙන්නාත් මරාගෙන අර තරුණ ගැබිනියත් මරා ගත්තෙ ඒ රියැදුරාගෙ නොසැලකිල්ලයි. මේ අනතුර වූ හරිය මා හොඳින් පරීක්ෂා කළා. එතැන තණ බිස්සෙ අයිනට වෙන්නට නියමිත මාර්ග නීති පිළිපදිමින් මේ ජෝඩුව ඇවිත් තියෙන්නෙ. ත්‍රීවිල් කාරයාගෙ නොසැලකිල්ලෙන් බයිසිකලය පිටුපසින් හප්පලා...” ඔහු කම්පාවෙන් කීය.

ඇක්සිලේටරය තදින් පෑගු විට, මොන මෝඩයකු ඒක කළත් වාහනය වේගයෙන් දිව යනු ඇත. ඒත් ඒ වේගය පාලනය කිරීමට ඔබට හිසක් අවශ්‍යය. තමාට රථය පාලනය කැර ගැනීමට හැකි ආකාරයට අනවශ්‍ය වේගයක් නොගැනීම ප්‍රඥාවන්තයාගේ කාර්යයයි.

මෙබඳු අධමයන් රියැදුරු නම් වෘත්තියට පවා නිගරුවකි. මේ රටේ ජාතික ආර්ථිකයට, ගමනාගමනයට, අමාත්‍යාංශ කාර්යභාරයට විනීත රියැදුරන් මොන තරම් මෙහෙයක් ඉට‍ුකරනු ඇද්ද?

Pregnant mother with two children who were died in a twin belly
Pregnant mother with two children who were died in a twin belly



Gossip Lanka Hot News Previous News Archive