Ranjan and Aluthgamage Fight Outside Parliament

Ranjan Ramanayake, Mahindananda Aluthgamage Exchange Blows Outside Parliamentary Chamber
රන්ජන් - මහින්දානන්ද පාර්ලිමේන්තු ලොබියේ ගුටිකෙළියක- වීඩියෝ

අද (21) උදෑසන රන්ජන් රාමනායක විසින් ඔහුගේ නිවසේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබුණා. එහිදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පිළිබඳව පවසමින් ඔහු එහිදී ප්‍රකාශයක් කර තිබුණා.

මේ පිළිබඳව මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (21) පාර්ලිමේන්තුවේදී රන්ජන් රාමනායකගෙන් විමසීමත් සමඟ පාර්ලිමේන්තු ලොබියේදී දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබෙන බව වාර්තා වෙනවා.

විපක්ෂ මන්ත්‍රි ආලින්දය දෙසින් මහින්දානන්ද අලුත්ගමගේ හා අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරුන් දෙදෙනා කතාබහ කරමින් පැමිණෙන විට ආණ්ඩු පක්ෂ ආලින්දය දෙසින් රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයාද පැමිණ තිබෙ.

මන්ත්‍රි ආලින්ද දෙකට පිවිසෙන ප්‍රධාන ‍දොරටුව අසල නැවතුණ මේ තිදෙනාම සිනාසෙමින් කතාකරනු දැකගත හැකි විය. වරෙක තරමක උස් හඬක් නැඟුණද එය බහින්බස් වීමකැයි පෙනුණේ නැත.

එහෙත් එක්වරම 'අනේ පලයන් බං' යැයි උස්හඩින් පැවැසූ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා එසැණින් ඉවත්ව සෝපානය දෙසට ගමන් කෙළේය.

'ඇයි උඹ මොකාටද එන්න හදන්නේ?' නියෝජ්‍ය ඇමැතිවරයා එම ස්ථානයේ සිටම අත දිගුකරමින් මහා හඬක් නැඟුවේය.

ඒ සමඟම ක්ෂණයකින් මහින්දානන්ද මන්ත්‍රිවරයා ආපසු හැරී රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා අසලටම ගොස් යමක් පැවැසුවේය. දෙදෙනා අතර බහින් බස් වීම දුරදිග ගියේය.

අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා දෙදෙනා දෙපැත්තට කිරීමට වෙහෙසුණේය.

මහින්දානන්ද අලුත්ගමගේ ආපසු විදුලි සෝපානය දෙසට යද්දී පිටුපසින් පැමිණි රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයාගේ මුවින් අසභ්‍ය වදන් රැසක් පිටවිණි.

'පුළුවන්නම් මට එකක් ගහපන්. මම පික්චර්වල විතරක් නෙමේ කරාටේ ගහන්නේ. මම හොඳට කරාටේ කරලා තියෙනවා' කියූ රන්ජන් රාමනායක ආලින්දයට පිවිසෙන තැන දොරටුව දකුණතින් වේගවත් පහර කිහිපයක් ගසමින් පුළුවන්නම් මට එකක් ගහපන් යැයි නොසරුප් වවනයක් ශබ්ද කරමින් අභියෝග කෙළේය.

ආවේගය පාලනය කර ගත නොහැකි වූ රන්ජන් රාමනායක 'මම හොඳට කරාතේ කරලා තියෙනවා.පුළුවන්නම් එකක් ගහපන්... එකක් ගහපන්' කියමින් තමාගේ එක් අතකින් තමාගේම මුහුණට පහර කිහිපයක් ගසා ගත්තේය. ඔහුගේ සුදු පැහැති මුහුණ රතු විය.

මහින්දානන්ද අලුත්ගමගේ ද 'අපි දන්නැද්ද උඹේ ගැහිලි' කියමින් රන්ජන් රාමනායක දෙසට පැමිණීමට උත්සාහ කෙළේය. ඒ හැම විටෙකම අනුර කුමාර දිසානායක හා විදුර වික්‍රමනායක මන්ත්‍රිවරු එම උත්සාහය ව්‍යර්ථ කළහ. දෙදෙනාම දෙපසට කරන්නට ඔවුහු උත්සාහ කළහ. චන්දිම ගමගේ මන්ත්‍රිවරයාද පැමිණ රන්ජන් රාමනායක වළක්වා ගන්නට තැත් කෙළේය.

විදුලි සෝපානය අසලටම ගිය රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයාට සටනට අභියෝග කළේය. ඔහු 'පුළුවන්නම් එකක් ගහපන්. එකක් ගහපන්....' කියද්දී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා පාපහර කිහිපයක් එල්ල කළද ඒ එකක්වත් නියෝජ්‍ය ඇමැතිවරයාට වැදුණේ නැත.

තමා අත වූ බෑගය අසල තිබූ පුටුවක් මතට විසිකළ රන්ජන් රාමනායක දත් මිටි මොළවා සතුරාට පහරදීමට සූදානම් වන කරාටේ සටන්කරුවකු මෙන් මහින්දානන්ද මන්ත්‍රිවරයා සටනට කැඳවීය. 'පුළුවන්නම් ගහපන්' කීවේය. අනුර කුමාර දිසානායක, විදුර වික්‍රමනායක විසින් මහින්දානන්ද අලුත්ගමගේ විදුලි සෝපානයට ගොඩකර වූ අතර චන්දිම ගමගේ හා තවත් මන්ත්‍රිවරයකු රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා ආණ්ඩු පක්‍ෂ ආලින්දය දෙසට ගෙන යනු දක්නට ලැබිණි.

Gossip Lanka Hot News Previous News Archive