Gossip Chat With Thisuri Yuwanika

තිසුරි කසාද බදින්නේ වෙළද නාවික නිලධාරියෙක්‌ ලු
මම බාත්රූම් එකට යන්නෙත් අම්මේ මම බාත් රූම් යන්නද කියල අහලයි

කාලෙකට පස්‌සේ තිසුරිව ප්‍රධාන චාරිතයක්‌ හරහා දකින්න ලැබෙනවා.

කාලෙකට පස්‌සේ දකින්න ලැබෙනවා කියන කතාව එක පැත්තකින් හරි. මොකද මම එන දිගට වැඩ කරලා මාස දෙක තුනක්‌ විතර විවේකයක්‌ ගත්තා. ඒත් අනිත් පැත්තෙන් ගත්තම මම ගොඩක්‌ නිර්මාණවලට සම්බන්ධ වෙලා තියෙනවා. විකාශය වීමේ ප්‍රමාදය තමයි තියෙන්නේ.

මේ ආරාධනාව ලැබුණේ කොහොමද?

රංජිත් ප්‍රේමලාල් අයියගෙන් තමයි මට මුලින්ම නේත්‍රා කියන නිර්මාණයට ආරාධනා ලැබෙන්නේ. ඒත් එක්‌ක ඔතෙන්ට අධ්‍යක්‍ෂ සමන් කුමාර අයියත් එකතු වෙනවා. චරිතෙ ගැන ඔවුන් මට කියද්දී ඇත්තටම මගේ හිතේ පොඩි චකිතයක්‌ ඇති වුණා. මොකද නේත්‍රට එයාගේ අම්මව වැහෙන සිද්ධියක්‌ මේ නිර්මාණ තුළ තියෙන නිසා. ඒත් ඔවුන් කිව්වා නේත්‍රගේ චරිතෙ දීල මේ වැඩේ ගන්නෙ තිසුරිගෙන්ම තමයි කියලා. ඒ දිරි ගැන්වීමට මගේ හැකියාව එකතු කරන්න මම තීරණය කළා. මේක යමක්‌ කරල බහුතරය අතරට යන්න හොඳ අවස්‌ථාවක්‌ වගේම රංසිළු ආයතනය එක්‌ක වැඩ කරන්න මම ගොඩක්‌ කැමතියි.

රොෂාන් එක්‌ක වැඩකන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ.

නාට්‍යයේදී නම් මට තාම රොෂාන් අයියව මුණ ගැහුනේ නෑ. ඉදිරියේදී හමුවෙයි. මීට කලින් අපි එකට වැඩ කරල තියෙනවා. ඇත්තටම ඔහු ක්‍ෂේත්‍රයේ ඉන්න හිත හොඳ සහෝදරයෙක්‌. ඒ වගේ සුන්දර චරිත එක්‌ක වැඩ කරන්නත් ගොඩක්‌ පහසුයි.

අද වෙන කොට තිසුරි අම්මට වඩා ජනප්‍රියයි කිව්වොත්.

ඒ කතාවට මම කොහෙත්ම එඟක වෙන්නෙ නෑ. රංගන ශිල්පිනියක්‌ විදියට මම ජනප්‍රිය ඇති. ඒත් මගේ අම්ම සුසන්තා චන්ද්‍රමාලී කියන්නේ මේ ක්‍ෂේත්‍රයේ ඉතා ජනප්‍රිය චරිතයක්‌ වගේම බොහෝ දක්‍ෂතා තියෙන ශිල්පිනියක්‌. විවාදයක්‌ නෑ අම්ම මට වඩා ජනප්‍රියයි.

අම්ම මොනවද දුව ගැන කියන්න.

මම අම්මගේ අස්‌සෙම හැදුණ දරුවෙක්‌. මොකද රැකියාව නිසා මගේ තාත්තා බොහෝ වෙලාවට හිටියේ පිටරට. කොටින්ම මම බාත්රූම් එකට යන්නෙත් අම්මේ මම බාත් රූම් යන්නද කියල අහලයි. අද වෙනකොට මම විවාහ වෙන්න ලෑස්‌ති වෙන වයසක හිටියත් මගේ ගති පැවතුම් තාමත් ඒ විදියමයි. පවුලේ එකම දරුවා වගේම ගැහැනු ළමයෙක්‌ වීම නිසා අම්ම තාත්තා කියන දේට පිටින් දෙයක්‌ කරල මා ගැන නරකක්‌ අහන්න මම එදා වගේම අදත් අකමැතියි. අම්ම විතරක්‌ නොවෙයි තාත්තත් කියන්නේ මට හොඳ දරුවෙක්‌ කියල. ඒක දරුවෙක්‌ විදියට මම ලබන ලොකුම සතුටයි.

තිසුරි නිසා අම්මට තිබුණු තැන නැති වුණා කියල හිතෙන්නෙ නැද්ද?

කොහෙත්ම නෑ. ඒක කවදාවත් වෙන දේකුත් නෙමෙයි. කරන්න පුළුවන් දේකුත් නෙමෙයි. ගමකින් නගරෙට ඇවිත් මගේ අම්ම මේ රටේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්‌ වුණේ ඇය තුළ තිබුණු දක්‍ෂතා නිසා. ඇය ගිය ගමනෙන් කාලක්‌වත් මම තාම ගිහින් නෑ. ඒ නිසා මම නිසා මගේ අම්මගෙ තැන කවදාවත් නැතිවෙලා නෑ. ඇය නිසා තමයි අද මම බැබළෙන්නේ.

ක්‍ෂේත්‍රයේ වැඩිය යාළුවො නෑ කියන කතාව ඇත්තද?

ඔව්. ඒක ඇත්තක්‌. මොන දේට සහභාගිවෙලා ගියත් එතනින් එහාට Call කරන SMS ගහන Chat කරන්න තරම් මිතුරු සමාගම්වල මම නැහැ. හොඳම යාළුවේ අම්මයි තාත්තයි ඒ දෙන්න එක්‌ක තමයි හැමදේම කරන්නෙ කියන්නේ.

කට කතාවලින් බේරිලා ඉන්නේ කොහොමද

එහෙම විශේෂ ක්‍රමයක්‌ අනුගමනය කරන්නවත් ආරක්‍ෂා වෙන්නවත් දෙයියනේ කියල මට තාම කට කතාවක්‌ හැදිලා නෑ. හැදුනත් මට ඒව ලොකුවට ගන්න තරම් දෙයක්‌ වෙන එකකුත් නෑ. මොකද වැරදි නොකරන අයටත් ඕන තරම් කට කතා හැදෙනවානේ.

ළඟදී විවාහ වෙනව කියලත් ආරංචියි.

ඔව්. මේ අවුරුද්දේ මම විවාහ වෙනවා. එහි වැඩ කටයුතු මේ වෙද්දී සැලසුම් කරගෙන යනවා.

අනාගත සැමියා ගැන දැන්ම විස්‌තර කියන්න අකමැතිද?

එහෙම අකමැත්තක්‌ නෑ. ඔහු නමින් සුරාඡ්. අපේ පවුලේ හිතවතෙක්‌. වෙළෙඳ නාවික නිලධාරියෙක්‌ ලෙස සේවය කරනවා.

පවුලේ එකම දරුවා විදියට අම්ම තාත්ත තනි කරල දීග යන්න හිත හදා ගත්තෙ කොහොමද?

ඔය කාරණේදී මම විතරක්‌ නෙමෙයි අම්මයි තාත්තයි හිත හදාගත්තෙත් මම විවාහ වුණාට වෙනම පදිංචියට යන්නෙ නැති නිසා. මොකද සුරා-ට රැකියාව නිසා නිතර විදේශ ගත වෙන්න වෙනවා. ඒ නිසා අපි දෙන්න මගේ ගෙදරම පදිංචි වෙනවා.

තෝරාගත් අධ්‍යක්‍ෂවරුන්ගේ වැඩවලට පමණක්‌ සහභාගී වෙන බවට චෝදනාවක්‌ තියෙනවා.

එහෙම තේරීමක්‌ නෑ. මට කරදරයක්‌ අපහසුවක්‌ නැතුව හිතේ සතුටින් වැඩකරන්න පුළුවන් අධ්‍යක්‍ෂවරු යටතේ වැඩ කරන්න තමයි මම කැමති. සමහර වෙලාවට අපි මහන්සි වෙලා කැපවෙලා වැඩ කරල ඉවරවෙලා අපේ ගාස්‌තුව ගන්න ගියාම ණයක්‌ ඉල්ලන්න ගියා වගේ හෑල්ලු වෙන්න වෙනවා. ඒ වගේ අනවශ්‍ය ප්‍රශ්න නැත්නම් තමයි කවුරු වුණත් ඕනෑම කෙනෙක්‌ එක්‌ක වැඩ කරන්න කැමති.

ඉදිරියේදී කලා කටයුතුවලින් ඈත්වෙන්න වෙයිද?

නෑ. මගේ විවාහය කලා කටයුතුවලට බාධාවක්‌ වෙන එකක්‌ නෑ. සුරාඡ් මාව තෝරා ගත්තේ මම රංගන ශිල්පිනියක්‌ බව දැනගෙන නේ. ඔහුත් නිතරම කියන්නේ රැල්ලට යන නිර්මාණ නැතුව හොඳ නිර්මාණවලට දායකවන්න කියලා.

රංගනයත් පවුල් ජීවිතෙත් අවුල් කරගන්නෙ නැතුව ගෙනියන එක පහසුයි කියල හිතනවද?

ඔව්. ඒකට හොඳම උදාහරණය මගේ අම්මා. ඇය ඒ දෙකම සමබරව ගෙන යන රංගන ශිල්පිනියක්‌. ඇයව අනුගමනය කරමින් ඇය ගිය මග යනවා. කියන තැන තමයි මමත් ඉන්නේ.

ධම්මික හේවාවසම්

Gossip Lanka Hot News Previous News Archive