දුමින්ද සිල්වාගේ අභියාචනයේ තීන්දුව ළඟදීම

අභියාචනයේ ලිඛිත දේශණ අවසන්.. දුමින්ද කිසිදු වෙඩිල්ලක් නොතැබු බව හෙලි වේ.. නඩු තීන්දුව සුදානම්..
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොණුකර ඇති අභියාචනය සඳහා ලිඛිත දේශන ගොණු කිරීමේ කාලය මේවන විට අවසන් වී තිබෙනවා.ඒ අනුව ඉදිරි දිනකදී අදාළ අභියාචනයේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදීමට නියමිතයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා මෙම අභියාචනය ගොණුකළේ සෑම පුරවැසියෙකුටම හිමිවිය යුතු සාධාරණ නඩු විභාගයක් මහාධිකරණයේදී තමන්ට නොලැබුණු බව සඳහන් කරමින්.

එම අභියාචනය මාස 5 කට ආසන්න කාලයක් පුරා විභාගයට ගැණුනේ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන් මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයෙකුගේද සහභාගීත්වයෙන්.

මහාධිකරණ තීන්දුව යළි සලකා බැලුවේ අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්.

එහිදී ජනාධිපති නීතිඥවරුන් පෙන්වා දුන්නේ සාක්ෂි හෝ කරුණු මත නොව දුමින්ද සිල්වා මහතා ජනප්‍රිය දේශපාලන චරිතයක් වීම මත පදනම් වෙමින් නඩු තීන්දුව ලබාදී ඇති බව හා නඩු තීන්දුව ලක්ෂවාරයක් කියවූවද දුමින්ද සිල්වා මහතා වරදකරුවෙකු කළේ මන්දැයි සොයාගත නොහැකි බවයි.

එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් නීතිපති දෙපාර්තමේන්තුවත් එකඟ වූ කරුණු රැසක් ජනාධිපති නීතීඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නා.

– දුමින්ද සිල්වා මහතාට පළමුව වෙඩි වැදුණු බව

– දුමින්ද සිල්වා මහතාගේ හිසට වෙඩි ප්‍රහාර දෙකක් භාරත ලක්ෂ්මන්ගේ ආරක්ෂක ගාමිණී එල්ල කළ බව

– ඉන් දුමින්ද සිල්වා මහතා පළමුව මරණීය තුවාල ලැබූ බව



– ඉතා ඉක්මනින් දුමින්ද සිල්වා මහතා එම ස්ථානයෙන් ඉවත් කර රෝහල් ගත කළ බව

– හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා කිසිදු අවස්ථාවක වෙඩි නොතැබූ බව

– කිසිදු අවස්ථාවක දුමින්ද සිල්වා මහතා කිසිදු ගිනි අවියක් පරිහරණය නොකළ බව ඒ අතර වනවා.

ඊට අමතරව ජනාධිපති නීතීඥවරුන් පෙන්වා දුන්නේ භාරත ලක්ෂ්මන්ගේ ආරක්ෂක ගාමිණී නැමැත්තා වෙඩි තැබීම ආරම්භ කළ නිසා සෑම සිදුවීමක්ම සිදු වූ බවයි.

එම වෙඩි තැබීමෙන් දුමින්ද සිල්වා මහතා පළමුවෙන්ම තුවාල ලබා සිහිමූර්ජා වූ නිසා ඉන් පසුව වූ කිසිදු සිදුවීමක් සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මහතාට වගකීමක් නොමැති බව ජනාධිපති නීතීඥවරුන් ප්‍රකාශ කළා.

එවන් තත්ත්වයක් මත දුමින්ද සිල්වා මහතාට මිනිමැරුම් චෝදනා නඟා වරදකරු කිරීමට හැකියාවක් නොමැති බව ජනාධිපති නීතීඥවරුන් පංච පුද්ගල විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්නා.

ජනාධිපති නීතීඥවරුන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ වෙඩි තැබීමේ සිද්ධිය මත පදනම් වෙමින් දුමින්ද සිල්වා මහතා වරදකරුකළ නොහැකි නිසා ඊට පෙර වූ සිදුවීම්වල ව්‍යාජ සාක්ෂි නිර්මාණය කරමින් විමර්ශකයින් මහාධිකරණ නඩු විභාගය මෙහෙයවූ බවයි.

එම සාක්ෂි සියයට සීයක්ම පිළිගත නොහැකි බව නඩු තීන්දුවේම තිබියදීත් සාධාරණ නඩු විභාගයක් ලබා නොදෙමින් දුමින්ද සිල්වා මහතා වරදකරු කර ඇති බව ජනාධිපති නීතීඥවරුන් පෙන්වා දුන්නා.

ඊට අමතරව සිය මතයට අනුව කටයුතු නොකරන පුද්ගලයින් විත්තිකරුවන් ලෙස නම් කරන බවට විමර්ශකයින් තර්ජනය කර දුමින්ද සිල්වා මහතාට එරෙහිව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කර ඇති බව මෙහිදි ජනාධිපති නීතීඥවරුන්සඳහන් කළේ මහාධිකරණ නඩු විභාගයේම උදාහරණයක් පෙන්වා දෙමින්. ‍

ඊට අමතරව, ජනාධිපති නීතිඥවරුන් සදහන් කළේ පළමුව වෙඩි වැදුණේ දුමින්ද සිල්වා මහතාට බව නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු සියලු පාර්ශ්ව පිළිගෙන තිබියදී තීන්දුවේ පරස්පර අදහසක් සඳහන් බවයි.

ජනාධිපති නීතිඥවරුන් වැඩිදුරටත් පැවසුවේ දුමින්ද සිල්වා මහතා එම ස්ථානයෙන් ඉවත්ව හැරී යෑමට සූදානම් වීමේදී භාරත ලක්ෂ්මන් පාර්ශ්වයෙන් වෙඩි ප්‍රහාර එල්ල වූ බවයි.

ඔවුන් වැඩිදුරටත් පැවසුවේ භාරත ලක්ෂ්මන් පාර්ශ්වයෙන් වෙඩි තැබුවේ නැතිනම් දෙපාර්ශ්වයම සාමකාමීව ඉවත්ව යනු ඇති බවයි.

ජනාධිපති නීතිඥවරුන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම කරුණු මත වෙඩි තැබීමක් සිදු කිරීමේ අරමුණින් දුමින්ද සිල්වා මහතා මෙම ස්ථානයට නොපැමිණි බව තහවුරු වන බවයි.



ඊට අමතරව ජනාධිපති නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේ දුමින්ද සිල්වා මහතාට චෝදනා එල්ල කිරීම සදහා ගිනි අවි සොයාගැනීමක් විමර්ශකයින් ව්‍යාජව නිර්මාණය කර ඇති බවයි.

අදාළ ගිනි අවි සොයාගැනීම සදහා උපයෝගී කරගත් සැකකරු ගුවන්තොටුපළේදී බලහත්කාරයෙන් අත්අඩංගුවට ගෙන විමර්ශකයින් ඔහුගෙන් හිස් කොළවලට සටහන් ලබාගෙන ඇති බව එහිදී ජනාධිපති නීතිඥවරුන් පෙන්වා දුන්නා.

ජනාධිපති නීතිඥවරුන් මෙහිදී සඳහන් කළේ දුමින්ද සිල්වා මහතා වරදකරු කිරීමේ චේතනාවෙන් නඩු තීන්දුව සකස් කර ඇති බවයි.

තීන්දුව සකස් කිරීමේදී නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂි සාධාරණ සැකයකින් තොරව ඔප්පුවන්නේදැයි සොයාබැලීමකින් තොරව රජයේ නීතිඥවරුන්ගේ ප්‍රකාශ මත පමණක් පදනම්වී ඇති බව ජනාධිපති නීතිඥවරුන් වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ජනාධිපති නීතිඥවරුන් පැවසුවේ සාක්ෂිවල පරස්පරතා හා ඌණතා 62 ක් නඩු විභාගයේදී සලකුණු කළ බවයි.

ඒවා සැලකිල්ලට ගෙන එහි වාසිය දුමින්ද සිල්වා මහතාගේ පාර්ශ්වයට ලබාදිය යුතු වුවත් එය නොසලකා හැර ඇති බව ජනාධිපති නීතිඥවරුන් පෙන්වා දුන්නා.

මෙම සියලු වාචික දේශන අවසන් වූ පසුගිය 25 වැනිදා අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා සදහන් කළේ අගෝස්තු 10 වැනිදා වන විට සියලු පාර්ශ්ව සිය ලිඛිත දේශන ගොණු කළ යුතු බවයි.

ඉන් පසුව අභියාචනයේ තීන්දුව ශ්‍රේෂඨාධිකරණය ලබාදීමට නියමිත බව අගවිනිසුරුවරයා සඳහන් කළා

Gossip Lanka Hot News Previous News Archive