පාසල් දැරියක දූෂණය කර වසර දෙකක් අපහරණය කළ ටියුෂන් ගුරා රිමාන්ඩ්

පාසල් දැරියක් දූෂණය කරමින් වසර දෙකහමාරක පමණ කාලයක් අපහරණය කළ බව පවසමින් අත්අඩංගුවට ගත් උපකාරක පන්ති ගුරුවරයා පෙරේදා (12දා) හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 21දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස වැඩ බලන මහෙස්ත්‍රාත් නලින් ඉඹුල්ගොඩ මහතා නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ බණ්ඩාරගම නගරයේ උපකාරක පන්ති ගුරුවරයකු ලෙස රැකියාව කළ බණ්ඩාරගම කඹුරුගොඩ පදිංචි 52 හැවිරිදි ජිකේලාගේ නිහාල් ධර්මතිලක නමැති පස්දරු පියෙකි.

අතවරයට ලක්වූ දැරිය මීට වසර තුනකට පෙර ඉහතදී ගණිතය විෂය සඳහා සැකකරුගේ අමතර පන්තියට පැමිණ ඇති අතර ගණිතය විෂයට ඒ සාමාර්ථයක් ලබා ගැනීමට හැකියාව ලැබෙන පරිදි ඇයට පමණක් විශේෂ පන්තියක් පවත්වන බව පවසා දැරිය රවටා අමතර පන්තිය වෙත ගෙන්වාගෙන ඇය එහිදී දූෂණය කර ඇති බව එම දැරියගේ ප්‍රකාශවලින් අනාවරණය වූ බව පොලිසිය අධිකරණයට දැන්වීය.


එදින සිට වරින් වර දැරියට බලපෑම් කර සිය ජංගම දුරකථනයේ පෙර සිදුවීම වීඩියෝ ගතකර ඇති බව පවසමින් ඇයව ගෙන්වා ගෙන අවස්ථා ගණනාවකදී අපහරණය කර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.

දැරිය දූෂණය කළ දින සිට මේ දක්වා සෑම අවස්ථාවකම බණ්ඩාරගම නගරයේ ෆාමසියකින් සැකකරු එක්තරා පෙති වර්ගයක් මිලට ගෙන දැරිය වෙත ලබාදී එක් පෙත්තක් එම අවස්ථාවෙත් අනෙක් පෙත්ත පැය 12කින් පසුවත් බොන ලෙස පවසා ඇති බව දැරියගේ ප්‍රකාශවලින් අනාවරණය වූ බවද පොලිසිය කියයි.


දූෂණයට ලක්වූ දිනයේ ජංගම දුරකථනයට ලබාගත් වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදා හරින බව තර්ජනය කරමින් සැකකාර උපකාරක පන්ති ගුරුවරයා දැරිය වරින් වර ගෙන්වා ගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.


බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඩබ්ලිව්.එල්. වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක චන්දන ජයවර්ධන, කාන්තා උප පොලිස් පරීක්ෂිකා අනූෂා හේමමාලි, සැරයන් අනුර (27081), කාන්තා පොලිස් සැරයන් ජානකී (3009) නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

Gossip Lanka Hot News Previous News Archive