හැම­ දේ­ටම වඩා දරු පවු­ලට මුල් තැන දුන්නා - කාංචනා මෙන්ඩිස්

හොඳ නිර්මාණයක් ලැබුණොත් ලංකාවට ඇවිත් හරි කරනවා
කාංචනා මෙන්ඩිස් ලංකාවට ඇවිත් කියන ආරංචිය සැලවීමත් සමග අප ඇය සොයා මතුගම ප්‍රදේශයේ පිහිටි ඇගේ සැමියාගේ නිවෙසට ගියා. දෙදාහ දශකයේ ඉතාම දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනියකව සිටි කාංචනා හිටි හැටියේම කලාව අතහැර විදෙස්ගත වුණා. ඒ ඇගේ විවාහයෙන් පසු බිරියක, මවක වශයෙන් සිය යුතුකම් ඉටුකරන්නට. 

ඇයගේ එම බලාපොරොත්තු සඵල වෙමින් අද වන විට දරු තිදෙනකුගේ මවක ලෙස සැමියාගේත්, දරුවන්ගේත් යුතුකම් ඉටු කරමින් කාර්ය බහුල දිවියක් ගෙවනවා. විදෙස් ගත වෙලා සිටියත් ඉඩක් ලැබෙන සෑම අවස්ථාවකම මවුබිමට පැමිණෙන කාංචනා මෙවර පැමිණි වාරයේදී ඇගේ දිවියේ අලුත්ම තොරතුරු අපට කියන්නට අමතක කළේ නැහැ.

කොහොමද කාංචනා..
හොඳින් ඉන්නවා.

මේ සැරේ ලංකාවට ආවේ දිගටම ඉන්න හිතාගෙනද?

අනේ නැහැ. මම දැන් එංගලන්තයට ගිහින් වසර හතරක් වෙනවා. සැමියා වසර විස්සක සිට ඉන්නේ එංගලන්තයේ. ඔහුට ඒ රටේ පුරවැසි භාවය තියෙනවා. දැන් මම බබාලා තුන්දෙනකුගේ අම්ම කෙනෙක්. බබාලත් දැන් එහේ පරිසරයට වගේම සංස්කෘතියට හුරුවෙලා ඉන්නෙ . ඒ නිසා මෙහේ ඉන්න අදහසක් නැහැ. බබාලගේ පාසල් නිවාඩු කාලය අවසන් වු විගසම අපි නැවතත් යනවා. වැඩිම වුණොත් මාසයක් ඉඳියි.

ලංකාවට ආවට පස්සෙ ඇවිදින්න ගියේ නැද්ද?

දඹුල්ල සහ ඒ අවට පළාත්වල ඇවිදින්න ගියා. වැඩිපුර ගියේ ඥාතීන් බලන්න.

කොහොමද ලන්ඩන්වල ගෙවන ජීවිතය..

වරදක් නැහැ. මෙහෙට වඩා ගොඩක් වෙනස්. ලංකාවේ වගේ නෙමෙයි සියලු දේ තනියම කරගෙන ස්වාධීනව නැගී සිටිය යුතුයි. මෙහේදී මගේ සියලු වැඩ කළේ අක්කලා සහ අම්මා. එහෙත් ලන්ඩන්වල කවුරුත් අපිට උදවුවට නැහැ. ඕනෑම කෙනකුට අසීමිතව නිදහස තිබෙනවා. පවුල් බැඳීම් නැති නිසා හැමෝම තම තමන්ගේ වැඩපළ කරගෙන ස්වාධීනව ජීවත්වෙනවා. මුල් කාලයේ නම් මට මෙය හරිම නීරස වුණා. නමුත් මමත්, දරුවනුත් දැන් ඒ විදිහට ජීවත්වෙන්න පුරුදුවෙලා.

ඔබ එහි රැකියාවක් කරනවද?

නැහැ. බබාලගෙ සහ මහත්තයාගෙ වැඩ කරද්දි රැකියාවක් කරන්න වෙලාවක් නැහැ. සැමියා රොෂාන් රණවක. ඔහු එංගලන්තයේ තිබෙන ඇමරිකන් ආයතනයක රැකියාව කරනවා. ලොකු පුතා සෙනිත රයන් රණවක. වයස අටයි. පාසල් යනවා. දුව කේෂා රයිලි රණවක. වයස අවුරුදු පහයි. ඇයත් පාසල් යනවා. චූටි පුතා නිර්මාණ රෙයෝන් රණවක. වයස අවුරුදු එකයි මාස පහයි.නිවෙසේ වැඩ පමණක් නෙමෙයි ඇතැම් දිනවල දරුවන්ව පාසල් ගෙනයන වැඩ කරන්නත්, මාකට් ගිහින් නිවෙසට අවශ්‍ය බඩු ගේන්නෙත් මම.

ලංකාවේ ජනප්‍රිය නිළියක් පිටරටක ගෙදරට කොටුවෙලා ඉන්න සිදුවීම ගැන දුකක් නැද්ද..

මුල් කාලයේ නම් පොඩි දුකක් තිබුණා. මගේ රටෙන් ඈත්වෙලා, මගේ රසිකයන්ගෙන් ඈත්වෙලා ඉන්න සිදුවීම ගැන. නමුත් දැන් එහෙම දුකක් නැහැ. හැමදේටම වඩා දරු පවුලට මුල් තැන දෙන්න ඕනනේ.

කොහොමද ලංකාවට ආවම මිතුරු මිතුරියන්ගෙන් සහ ‍රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර?

අපි ආපු දවස්වල තිබුණා මීගමුව ප්‍රදේශයේ කලාකරුවන්ගේ ප්‍රසංගයක්. එයට මමත් සහභාගි වුණා. එහිදී කලාවේ මිතුරු මිතුරියන් රැසක්ම හමුවුණා. ඊට අමතරව රූපවාහිනී වැඩසටහන් කිහිපයකටත් සම්බන්ධ වුණා. ඒ අවස්ථාවලදිත් කලාවේ ‍මිතුරු මිතුරියන් හමුවුණා. කීප දෙනෙක් නම් රට හිටියත් මා සමග කතා කරනවා. මෙහේ විස්තර කියනවා. ඒ නිසා කලාවෙන් ඈත් වුණා කියා කලාව සමග තිබෙන සබඳතා දුරස්වෙලා නෑ.

ඔවුන් මොනවද කියන්නේ?

ගොඩක් අය කියන්නෙ එදා මම ගත්ත තීරණය නිවැරැදියි කියලයි. අද දරුවන් තිදෙනකුගේ මවක් වෙලා හොඳ විවාහ දිවියක් ගත කරනවා. කලාවේ සිටියනම් ඉතුරුවන්නේ ප්‍රවීණකම විතරයි කියලයි.

ඔබ කිහිප වතාවක්ම සම්මානයෙන් පිදුම් ලැබු රංගන ශිල්පිනියක්, මතකයිද ඒ අතීතය..

මම තෙවරක්ම සිනමාවේ ‍ජනප්‍රිය සම්මානය ලැබුවා. 'මේ වසන්ත කාලය' සහ 'ගිරිකුළ' ටෙලි නාට්‍යවලට හොඳම නිළිය සම්මානය දෙපාරක් ගත්තා. ජනාධිපති සම්මාන උලෙළේ සහාය නිළිය සහ නැගී එන නිළිය සම්මානවලින් පවා පිදුම් ලැබූවා.

එතරම් දක්ෂ රංගන ශිල්පිනියක්ව සිටි ඔබ ක්ෂේත්‍රයෙන් ඈත් වීම රසිකයන්ට කළ අසාධාරණයක් නෙමෙයිද?

ඇත්තටම මම මගේ රසිකයන්ට ආදරෙයි. අදටත් ලංකාවට ආවම මග තොටේ දැක්කත් ඔවුන් කතා කරනවා. රඟ පාන්නෙ නැද්ද අහනවා. නමුත් එංගලන්තෙ මම නිකංම නිකං කාන්තාවක් විතරයි. මගේ දරුවන් යන පාසලේ, ලංකාවේ බබාලගෙ අම්මලා නම් ඇයි ඔයා දැන් රඟපාන්නෙ නැත්තෙ කියලා අහනවා. එ‍්ත් මේක මගේ පවුල වෙනුවෙන් ගත් තීරණයක්

ඔබ රඟපෑ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය අතරින් අමතක නොවන නිර්මාණ ..

රාජ්‍ය සේවය පිණිසයි, ඉසුරු යෝගය, රෝස වසන්තය, බිඳෙන බැඳුම, සති පූජා, මේ වසන්ත කාලයයි, ලක්ස් වෙළෙඳ දැන්වීම, මදුරු කොයිල් දැන්වීම ආදිය අදටත් මතකයේ තිබෙන නිර්මාණ. මේ නිර්මාණ සඳහා කළ රංගනයන්ට සම්මාන ලැබුණා.

වර්තමානයේ අපේ කලාව ගැන මොකද හිතෙන්නේ..

දැනටත් මාව හමුවුණහම ඇතැම් කාර්මික ශිල්පීන් කියනවා ඔයාල වගේ නෙමෙයි දැන් ඉන්න රංගන ශිල්පිනියන් හරිම එක විදිහක්. වෙලාවට වැඩ කරන්නේ නැහැ. එයාලට ඕන විදිහට අපිට වැඩකරන්න වෙලා කියා. මට නම් නිර්මාණ පැත්තෙන් කියන්න තියෙන්නෙත් ඒකම තමයි. එදා අද වගේ මෙගා රැල්ලක් තිබුණේ නැහැ. මම කළ 'ඉසුරු යෝගය' වැනි ටෙලි නාට්‍ය තවමත් රසිකයන් අතර ජනප්‍රියයි. මෑත කාලයේ නම් ටෙලිනාට්‍යවල බලන්න දෙයක් නැහැ. මම පිටරට හිටියත් හොඳ නිර්මාණයක්නම් නරඹනවා. මේ දිනවල විකාශය වන 'මිණි ගං දෑල' ටෙලිනාට්‍යය හොඳ නිර්මාණයක්. ඉතින් මට කියන්න තියෙන්නේ රජය මැදිහත් වී හෝ නිර්මාණයන්හි ගුණාත්මක වර්ධනයක් ඇති කළොත් හොඳයි කියා. එසේ නොකළහොත් කලාව තවත් පරිහානියට යයි.

ඇයි ඔය තරම්ම කලාව පරිහානියට ගිහින් යැයි චෝදනා කරන්නේ..

අපි එදා ලක්ස් ඇඩ් එකේ පෙනී ඉන්නකොට එම දැන්වීම්වල පවා තරුගුණය තිබුණා. එම රංගන ශිල්පිනියන්ට උසට සරලන මහත වැනි හොඳ පෞරුෂයක් තිබුණා. නමුත් දැන් ඉන්න රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් තුළ එම ගුණය අඩුයි. ඇතැම් නළු, නිළියන් පාසල් යන ළමයින් වගේ පුංචියි. ඒකත් කලාව පරිහානියට යන ලක්ෂණයක්.

කලාවේ ගෙවුණු කාලය තුළ අමතක නොවන සිදුවීම් ඇති නේද?

බොහෝ සම්මාන උලෙළවලදී මට සම්මාන නොලැබුණු අවස්ථා තිබෙනවා. එවැනි සිදුවීම් අමතක නැහැ. වරක් අපි පිටරට ප්‍රසංගයකට මමත්, ජැක්සන්, දමිතා, පිං පොං, වැනි රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ෂෝ එකකට යන්න ගිහින් පිරිමි කට්ටියගේ වීසා ලැබුණේ ජැක්සන්ට පමණයි. අපි පුහුණු වුණේ කපල් ඩාන්ස් වලට. ඊට පස්සෙ මොකද කරන්නේ කියා හිතා ගන්න බැරිවුණා. කොහොම හරි ඒ රටට ගිහින් පිරිමි ළමයි ටිකක් හොයාගෙන ෂෝ එක කළා. ඔය වගේ සිදුවීම් රැසක් තිබෙනවා.

කාංචනා කලාවට එන්නේ නැත්තේ සැමියා අකැමැති නිසාද?

අපෝ නැහැ. ඔහු මම රඟපාන කිසිම නිර්මාණයක් නරඹා නැහැ. නමුත් රඟපාන්න එපා කියන්නේ නැහැ. මම මයි රංගනයෙන් ඈත් වුණේ. හොඳ නිර්මාණයක් ලැබුණොත් ලංකාවට ඇවිත් හරි කරනවා. කොහොමත් කලාව වෙනුවෙන් කුමක් හෝ දෙයක් කිරීමට අදහසක් තිබෙනවා. ඇතැම්විට නිෂ්පාදනය පැත්තෙන් හෝ වෙන්න පුළුවන්.


Gossip Lanka Hot News Previous News Archive