69 වසරකට පසු කෙරෙන හර්තාලය අද


ජන පීඩක ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බලකරමින් ක්‍රියාත්මක කෙරෙන දීපව්‍යාප්ත දැවැන්ත එක් දින වැඩ වර්ජනය සහ හර්තාල් ව්‍යාපාරය වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන දෙදහසකට වැඩි ප්‍රමාණයක සහභාගිත්වයෙන් අද (06දා) ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය තීරණය කර ඇත.අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟය හා මිල ඉහළ යෑම, ඉන්ධන, ගෑස්, සෞඛ්‍ය, ගමනාගමනය ඇතුළු ජනතාවගේ දෛනික ජීවිතයට දැඩි බලපෑම් එල්ල කර ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් රජයට නිසි විසඳුම් නොමැතිවීම හේතුකොට ගනිමින් 1953 වසරින් පසු රජයකට එරෙහිව ක්‍රියාත්මක කරනු ලබන දැවැන්තම විරෝධතා ව්‍යාපාරය මෙය වනු ඇත.

රාජ්‍ය අංශයේ ලක්‍ෂ 14කට අධික සේවකයන් මෙම එක් දින වැඩ වර්ජනයට සහ හර්තාල් ව්‍යාපාරයට එක්ව ඇති අතර අර්ධ රාජ්‍ය ආයතන, රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය, බැංකු සහ ඇඟලුම් ක්‍ෂේත්‍රයේ නිරත පිරිස් ද, සෞඛ්‍ය, ප්‍රවාහන, දුම්රිය, විදුලිය, අධ්‍යාපන ඇතුළු ප්‍රධාන ක්‍ෂේත්‍රවල වෘත්තීය සමිති ද ඊට අයත් බවත් මෙම එක් දින වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට රජය සාධනීය පිළිතුරු ලබා නොදෙන්නේ නම් ලබන 11දා සිට අඛණ්ඩ හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කරන බවත් ඒ සඳහා ලක්‍ෂයකට අධික ජනතාවක් කොළඹට කැඳවන බවත් වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා  සඳහන් කළේය.

අද ක්‍රියාත්මක කෙරෙන හර්තාල් ව්‍යාපාරයට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ද සහාය පළ කර ඇති අතර විශේෂඥ වෛද්‍යවරයකු හමුවීම සඳහා පෞද්ගලික ආයතනවල වේලාවන් වෙන්කර නොගන්නා ලෙස එම සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටී.

විශේෂඥ වෛද්‍යවරුන් මෙම හර්තාල් ව්‍යාපාරයට සහාය දැක්වුව ද රජයේ රෝහල් තුළදී සාමාන්‍ය පරිදි කටයුතු කිරීමටත් සියලුම හදිසි ප්‍රතිකාරවලට සහභාගි වීමටත් තීරණය කර තිබේ.

අනෙකුත් සෞඛ්‍ය සේවකයන් ද දිවා ආහාර වේලාවේදී හර්තාල් ව්‍යාපාරයට සහාය ලබා දෙන අතර පෞද්ගලික රෝහල්වල හදිසි කටයුතු සඳහා සහභාගි වන අතර වෛද්‍යසේවය සපයා දීම සිදුනොකරන බවද දැනුම් දෙනු ලබයි.

රෝහල්වල අත්‍යවශ්‍ය සහ ජීවිතාරක්ෂක සේවා පමණක් සිදු කරන බවත් අත්‍යවශ්‍ය නොවන සාමාන්‍ය සත්කාර සේවා සඳහා අද රෝහල් කරා නොපැමිණෙන ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම සියලු ආගමික ස්ථානවල අද උදෑසන 8.30 සිට 9.00 දක්වා ශබ්ද පූජා පවත්වන ලෙසත් අදාළ කාලය තුළ මාර්ගවල ගමන් ගන්නා රථවාහනවල නළා හඬ අඛණ්ඩව නාද කරන ලෙසත් නිවාස තුළ කළු කොඩි ද ඔසවා හැකි සෑම පුද්ගලයකුම කළු ඇඳුමින් සැරසෙන ලෙසත් එම සංගමය ඉල්ලා සිටී.

හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මකව පවතින අද දිනය තුළදී මහජන දේපළවලට හානි කිරීම, ප්‍රචණ්ඩ හැසිරීම් සිදු කිරීමෙන් වළකින ලෙස ද එම සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටී.

අද දින පාසල් සිසුන් ප්‍රවාහන කිරීමේ කටයුතුවලින් වැළකී සිටින බව සමස්ත ලංකා පාසල් සිසුන් ප්‍රවාහන සංගමයේ සභාපති එන්. එම්. කේ. හරිශ්චන්ද්‍ර මහතා  පැවසීය. දරුවන්ගේ ද ආරක්‍ෂාව තකා මෙම පියවර ගත් බවද ඔහු කීය.

අද (6 වැනිදා) රට පුරා පැවැත්වෙන මහ හර්තාල් ව්‍යාපාරය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෘත්තීය සමිති තිස්පහක් (35) එක්ව දැවැන්ත වැඩ වර්ජනයක් සමග සියලු කඩ සාප්පු වසා දමා මහජනතාව ද එක්ව සිදු කරන හර්තාලය සාර්ථක කර ගැනීමට සියලු දෙනා ඉතා උනන්දුවෙන් එක්ව සිටින්නේ යැයි අනුරාධපුර දිස්ත්‍රික් ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සම්බන්ධීකාරක ආනන්ද රත්නායක මහතා පැවසීය.

අද (6දා) අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෛi, ගුරු, බැංකු, ඇතුළු සියලු රාජ්‍ය හා පුද්ගලික ආයතන ඉදිරිපිට කළු කොඩි ඔසවා සියලු සේවකයන් කළු වර්ණයෙන් සැරසී තම ආයතන වෙත පැමිණ ආයතන ඉදිරිපිටට රැස්වී සංස්කෘතික අංග කීපයක් ඉදිරිපත් කරනවා.

අනතුරුව කළු කොඩි හා කළු බැනර් සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් අනුරාධපුර ඩී. එස්. වටරවුම අසලට එක්ව එදින මධ්‍යම රාත්‍රිය දක්වා මෙම විරෝධතාව දක්වනවා. රජය මේ හඬට සවන් නොදී තවදුරටත් ආණ්ඩුව රැකගැනීමට කුමන්ත්‍රණ කරනවා නම් නුදුරේදී අඛණ්ඩ හර්තාල් ව්‍යාපාරයක් රට පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා යැයි ද අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

මෙම අවස්ථාවට මහාචාර්ය සේන නානායක්කාර, වෛi අජන්ත රාජකරුණා, අසේල විජේසිංහ මහතා ඇතුළු සියලු වෘත්තීය සමිති නියෝජිතයන් සහභාගි වූහ.

මේ අතර පිළිකා රෝහල, මාතෘ රෝහල් සහ ළමා රෝහල් මෙම හර්තාල් ව්‍යාපාරය වෙනුවෙන් එක් නොවන බව සමස්ත ලංකා වෛi නිලධාරීන්ගේ සංගමය සඳහන් කර සිටී.

ප්‍රදිප් ප්‍රසන්න සමරකෝන්
සුජීව තත්සර, ශිරාන් රණසිංහ,ධර්මසේන වැලිපිටිය, නොච්චියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා

Gossip Lanka Hot News Previous News Archive