මහින්ද ත්‍රි මලේ නාවික හමුදා කඳවුරේ බව නාවික හමුදාපති පිළිගනී


හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා පවුලේ සාමාජිකයින් ත්‍රිකුණාමලේ නාවික හමුදා කඳවුරේ ආරක්ෂාකාරීව පසු වන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න අද (11) පැවසීය. ඒ අද රටේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳ බත්තරමුල්ලේ ආරක්ෂක අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.

මහින්ද රාජපක්ෂ හා පවුලේ සාමාජිකයින් කොළඹ පොලිස් මූලාස්ථාන ක්‍රිඩාංගනයේ සිට හෙලිකොප්ටර් යානා දෙකක් යොදාගෙන ත්‍රිකුණාමලයට ගෙන ආ බව මෙහිදී ගුවන්හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ පිළිගත්තේය.

මහින්ද රාජපක්ෂට හිටපු ජනාධිපති හා හිටපු අගමැති නිසාවෙන් ආරක්ෂාව දෙන බවත් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු වූ බවට ඒත්තු ගිය විට ඔවුන් කියන තැනකට ආරක්ෂාකාරීව ගොස් ඇරලන බවත් මෙහිදී ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පැවසීය.

මෙහිදී මාධ්‍යවේදියකු ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසා සිටියේ මෙහෙම ගිහින් රට අවසානයේ මිලිටරි රාජ්‍යයක් දක්වා යයිද කියයි. ඊට පිළිතුරු දුන් ආරක්ෂක ලේකම් වරයා කියා සිටියේ ,

ලංකාවේ හමුදා කුමන්ත්‍රණ සිද්ද වෙන්නේ නෑ. 1962 තමයි ලංකාවේ පළමු හා අවසාන හමුදා කුමන්ත්‍රණයට උත්සහයක් හරි ගත්තේ. මොකද හමුදා කුමන්ත්‍රණයක් තනියම කරන්න බෑනේ. ඕකට නායකත්වය දෙන්න තුන් හතර දෙනෙක් ඕන. එතකොට වෙන්නේ ඔය තුන් හතර දෙනාගෙන් කවුරු හරි එක්කෙනෙක් ගිහින් ඕක පාවලා දෙනවා. එහෙම ගත්තාම ලංකාවේ හමුදා කුමන්ත්‍රණ වෙන්නේ නෑ. යනුවෙන් ජෙනරල් කමල් ගුණරත්න පැවසීය. මේ අවස්ථාවේදී මෙම ගුවන්හමුදාපතිවරයා හා මාධ්‍යවේදින් කොක් හඩලා සිනා සුන අතර ඇතැම් හමුදාවේ උසස් නිලයන්හී මූනු රතු වී තිබෙන අයුරු දක්නට ලැබුණි.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න , ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ, ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් රුවන් කුලතුංග, සිවිල් ආරක්ෂ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් රංජන් ලමාහේවා යන අය සහභාගී විය.

Gossip Lanka Hot News Previous News Archive