ගෑස් මිලදී ගන්න පෝලිම්වල ඉන්න එපා - ලිට්‍රෝ සමාගමේ සභාපති


ගෑස් හිඟය නිසා, දැනට කර්මාන්ත සඳහා පමණක් ගෑස් සපයන බැවින්, ගෘහස්ථ ගෑස් මිලදී ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස, ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔහු පෙන්වා දෙන්නේ තොග ලැබෙන තෙක් ගෘහස්ත ගෑස් පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාව සම්පූර්ණ කළ නොහැකි බවය.

අවශ්‍ය ගෑස් ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 07ක් ගෙවා ඇති බවත් ඒ අනුව ගෑස් නැව් දෙකක් එළඹෙන සිකුරාදා සහ සෙනසුරාදා අපේක්ෂාවෙන් සිටින බවද ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා පැවසීය.

මේ අතර, ප්‍රදේශ රැසක ගෑස් ලබාදෙන ලෙස ඉල්ලා පැවැත්වූ විරෝධතා හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වූ අතර ඊයේ පස්වරුවේ දෙමටගොඩ මංසන්ධියේ ද ගෑස් ඉල්ලා සිදුකළ විරෝධතාවක් හේතුවෙන් බේස්ලයින් මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණා.

එමෙන්ම, ආමර්වීදිය ප්‍රදේශයේදී ගෑස් බෙදා දීමක් අතරතුර කලහකාරී ලෙස හැසිරුණු ප්‍රදේශවාසීන් පිරිසක් බලහත්කාරයෙන් ගෑස් සිලින්ඩර් රැගෙන ගොස් තිබෙනවා.

පොලීසිය සදහන් කළේ ගෑස් සිලින්ඩර් 52ක් එලෙස ප්‍රදේශවාසීන් විසින් රැගෙන ගොස් ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ගෑස් නොමැතිවීම හේතුවෙන් ප්‍රදේශ රැසක ආපනශාලා ද වසා දමා ඇති අතර, ඇතැම් ආපනශාලා දර ලිප් භාවිතා කරමින් ආහාර පිළියෙල කර ගන්නා ආකාරයක් දක්නට ලැබුණා.

Gossip Lanka Hot News Previous News Archive