අමරකීර්ති අතුකෝරල මරණය ඝාතනයක්


පෙරේදා (09) පස්වරුවේ නිට්ටඹුවේ සිදුවූ සිදුවීමකින් අනතුරුව මරණයට පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකොරලගේ මරණය මුලින් ‘සියදිවිනසාගැනීමක්‘ ආකාරයට අර්ථ නිරූපණය කරමින් වාර්තා පළවුවද ඒ සම්බන්ධ සිදුකළ  පශ්චාත් මරණ පරීක්ෂණය අනුව එය පහරදීමකින් කළ ඝාතනයක් බවට කරුණු හෙළිවී ඇත.
කොළඹ ගෝඨාගෝගමට ප්‍රහාර එල්ලකළ ඇතැම් පිරිස් නිවෙස් බලා පළායද්දී කොළඹ සිට නිට්ටඹුව හරහා ගමන් කරන බවට තරුණ කන්ඩායම් වෙත තොරතුරු ලැබීමෙන් පසු ඔවුන් නගරය හරහා යන වාහන පරීක්ෂා කර සැකකරුවන්ට පහරදීම් සිදුකර තිබුණි. එලෙස පැවති කලබලකාරී වාතාවරණය මැද පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකොරල සිය වාහනයෙන් එම ස්ථානය පසුකර යද්දී කලහකාරී තරුණ කණ්ඩායම් මේ යන්නේ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බව හඳුනාගැනීමෙන් කුපිතවී ඔහුට පහරදෙන්නට උත්සාහ කර තිබේ.

 විශාල පිරිසක් වටවී වාහනය නතර කර මෙම කලබලය සිදුවෙද්දී එම අවස්ථාවේ මන්ත්‍රීවරුන්ට සපයා තිබෙන ජීවිතාරක්ෂක ගිනි අවිය මන්ත්‍රීවරයා ආරක්ෂා කිරීමට ආරක්ෂකයා භාවිත කර ඇති අතර තමන්ට හිරිහැර කරන්නට ආ අය දෙසට වෙඩි තබා පිස්තෝලයක්ද අතැති සිය ආරක්ෂකයා සමග වාහනයෙන් බැස පළායන්නට මන්ත්‍රීවරයා කටයුතු කර තිබේ.
ඔහු එසේ පළාගොස් ආසන්නයේ පිහිටි නිමි ඇඳුම් අලෙවි සල් ගොඩනැගිල්ලකට ඇතුළුවී ඇති අතර ඔවුන් ලුහුබැඳ ආ පිරිස සමග එහිදී කිසියම් ගැටුමක් ඇතිකරගෙන ඇති බවට තොරතුරු ලැබී ඇත. එම අවස්ථාවේ ඔවුන් ලේවිලක් මැද ඇදවැටීමෙන් පසු ඔවුනගේ කලිසම් කමිසද ගලවා තිබූ අතර එම අවස්ථාවේ පොලිසිය කළ විමසීම් වලදී එහි සිටි අය සාක්ෂි සපයා තිබුනේ මන්ත්‍රීවරයා සියදිවි නසාගන්නට ඇති බවයි.ඔවුන් පැමිණි වාහනයද පාරේ උඩුබැලිඅතට පෙරළා එහි ජාතික කොඩියක් ගසා තිබෙනු පසුව වාර්තා විය.

මිය ගොස් සිටි පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල 57 වන වියෙහි පසුවූවෙකි.
මියගිය අනෙත් තැනැත්තා ඔහුගේ ආරක්ෂකයෙකු වන පොලිස් සැරයන් අහංගම විතාරණලාගේ ජයත්ත ගුණවර්ධනයි.
මියගිය මන්ත්‍රීවරයාව වාහනයේදී සෝදිසි කිරීමට පැමිණි පිරිස දෙසට  එල්ල කරන ලද වෙඩි ප්‍රහාරවලින් තුවාල සිදු වී ඇති පුද්ගලයින් තිදෙනෙකු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කල්එළිය හාපිටිගම පදිංචිව සිටි ඉහළ ගමන්ගේ හර්ෂ නදීෂාන් ජයවීර  නමැති 27 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්විය.

 මේ සිද්ධිය පිළිබඳව නිට්ටඹුව පොලීසිය ඊයේ (10දා) අලුයම අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව එහි අංක 02 මහේස්ත්‍රාත්වරිය පොලීසියේ මග පෙන්වීම යටතේ මළසිරුරු තිබූ ස්ථානයට ගොස් නිරීක්ෂණ කටයුතු සිදු කොට වතුපිටිවල මූලික රෝහලට ගොස් එහිදී මියගොස් ඇති තරුණයාගේ සිරුරද පරීක්ෂා කර බලා  තිදෙනා ගැනම පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම සඳහා එම සිරුරු වතුපිටිවල මූලික රෝහලට රැගෙන යාමට පියවර ගන්නා ලෙසට නිට්ටඹුව පොලීසියට නියෝග කළාය.
 වතුපිටිවල මූලික රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු සන්ධ්‍යා කාලයේදී වාර්තා වූයේ මියගිය අමරකීර්ති අතුකෝරල මහතාගේ මරණය පහරදීමකින් සිද්ධවී ඇති බවත් වෙඩි වැදී නැති බවත්ය.

එය මින් ඉහත ‘සියදිවිනසාගැනීමක් ලෙස‘ කරන ලද අර්ථ නිරූපණය ඒ අනුව වැරදි බව නිගමනය විය. මන්ත්‍රී ආරක්ෂකගේ හා මියගිය තරුණයා දෙන්නාම වෙඩි වැදුණ තුවාල නිසා මියගොස් ඇති බවද නිගමනය විය. තරුණයාගේ මරණය සිදු කර ඇත්තේ මන්ත්‍රී ආරක්ෂකයා අතින් වියහැකි බවට අනුමාන කෙරෙයි. පසුව ලුහුබැඳි පිරිසක් මන්ත්‍රී ආරක්ෂක හා මන්ත්‍රී ඝාතනය කර ඇති සෙයක් හඳුනාගන්නට ලැබේ. ඒවා සිදු කළ අයුරු ගැන සාක්ෂි තවම විමර්ශනය කරමින් පවතින අතර පොලිසිය මගින් පුළුල් පරීක්ෂණ සිදුවේ.

 

Gossip Lanka Hot News Previous News Archive