අගවිනිසුරුට එරෙහි දෝශාභියෝගයේ විමර්ශන කටයුතු හෙට (14) සිට

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාව විභාග කිරීම සඳහා පත් කළ තේරීම් කාරක සභාව සිය කටයුතු හෙට (14) සිට ආරම්භ කරන බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

ඔහු කියා සිටියේ එදිනම තේරීම්කාරක සභාව සඳහා සභාපතිවරයෙකු කථානායකවරයා විසින් පත් කරන බවයි.

දෝෂාභියෝග යෝජනාව විභාග කිරීම සඳහා පත් කළ තේරීම් කාරක සභාවේ සියලූ නම් මේ වනවිට පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ලබාදී තිබිණ.


මෙම තේරීම් කාරක සභාව සාමාජිකයන් 11 දෙනෙකුගෙන් සමන්විත අතර ආණ්ඩු පක්ෂයට සාමාජිකයන් 7 දෙනෙකු සහ විපක්ෂයට සාමාජිකයන් 4 දෙනෙකු ඒ සදහා නම්කර ඇත.

ආණ්ඩු පක්ෂය වෙනුවෙන් මෙම තේරීම් කාරක සභාව නියෝජනය කරන්නේ අමාත්‍යවරුන් වන අනුර පි‍්‍රයදර්ශන යාපා, නිමල් සිරිපාල, සුසිල් පේ‍්‍රමජයන්ත, රාජිත සේනාරත්න, විමල් වීරවංශ, ඩිලාන් පෙරේරා සහ නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරායි.

මේ අතර, විපක්ෂයේ සාමාජිකයන් 4 දෙනාගේ නම් අද (12) පස්වරුවේ පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යවා තිබේ.

තමන් ඇතුළුව විපක්ෂයේ නියෝජිතයන් ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල, විජිත හේරත් සහ ආර්. සම්බන්ධන් යන මන්ත‍්‍රීවරුන්ගේ නම් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමු කළ බව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා පැවසිය.

කෙසේ වෙතත්, මෙම කාරක සභාව පාර්ලිමේන්තුව තුළ කි‍්‍රයාත්මක වන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද (12) පෙරවරුවේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්විණ.

එහිදී, දැනට තේරීම්කාරක සභාවේ සංයුතිය පිළිබඳව කථානායකවරයාගේ අවධානය යොමු කළ බව ජෝන් අමරතුංග මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

අගවිනිසුරුවරියට සාධාරණයක් ඉටු කිරීම සඳහා සම සංයුතියක් ලබාදෙන ලෙසත්, එසේ නොමැති නම් ආණ්ඩු පක්ෂයට තේරීම් කාරක සභාවේ එක් වැඩි නියෝජනයක් පමණක් ලබාදෙන ලෙසත්, විපක්ෂය මෙහිදී යෝජනා කර තිබේ.

කෙසේ වෙතත්, මීට කථානායකවරයාගේ එකඟත්වය නොලැබුණු බව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා සඳහන් කළේය.

Gossip Lanka Hot News Previous News Archive