ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පාර්ලිමේන්තුවට අදත් නොතීසි

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ රාමුව සහ එමගින් තමන්ට ලබාදී ඇති බලතල පිළිබඳ දැනුවත්වී සිටින බවත්, තමන් කටයුතු කරන්නේ ඒ අනුව බවත් ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) අවධාරණය කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය එම කාරණය අවධාරණය කර සිටියේ, දෝෂාභියෝග තේරීම්කාරක සභාවට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් අද යළිත් සලකා බැලූ අවස්ථාවේදීය.

අදාළ තේරීම්කාරක සභාවට එරෙහිව රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉදිරිපත්ව ඇති පෙත්සම් 5 ක් අද සලකා බැලුවේ, නිමල් ගාමිණි අමරතුංග, කේ. ශ‍්‍රීපවන් සහ පි‍්‍රයසාද් ඩෙප් යන ශ්‍රේෂ්ඨාධිකරණයේ ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේය.

මෙම පෙත්සම් අතරින් 3 ක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී මීට පෙර සලකා බැලූ අවස්ථාවේදී වගඋත්තරකාර පාර්ශවයන්ට නොතීසි ද නිකුත් කෙරින.

ඒ අනුව දෝෂාභියෝග තේරීම්කාරක සභාවේ සාමාජිකයන්ට මෙන්ම කථානායකවරයාට ද නොතීසි නිකුත් කෙරුණු බව පාර්ලිමේන්තුවේදී සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද ඊයේ කියා සිටියා.

අද දිනයේ මෙම නඩුව විභාගයට ගත අවස්ථාවේදී, එම වගඋත්තරකරුවන් හෝ ඔවුන්ගේ නීතීඥයන් අධිකරණයේ පෙනී නොසිටියේය.

පෙත්සම්කාර පාර්ශව වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් කථානායකවරයා මේ සම්බන්ධයෙන් ඊයේ පළ කළ ස්ථාවරය අධිකරණයට ඉදිරිපත් කළේය.

කථානායකවරයා ඊයේ කියා සිටියේ පාර්ලිමේන්තුවට නියෝග ලබාදීමට කිසිදු පිටස්තර පාර්ශවයකට හැකියාවක් නොමැති බවයි.

කෙසේ වෙතත් අද අධිකරණයේ පෙනී සිටි නීතිපතිවරයාට මේ මස 26 වැනිදා සිට දින 14 ක් ඇතුළත ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය උපදෙස් ලබා දුන්නේය.

මෙම පෙත්සම් යළිත් දෙසැම්බර් 13 සහ 14 යන දිනයන්හි කැඳවීමට නියම කල අතර, එදිනට වගඋත්තරකාර සියලූ පාර්ශවයන්ට ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය ලේඛාධිකාරිවරයාට දැනුම් දුන්නා.

කෙසේවුවද, පාර්ලිමේන්තුවේ කටයුතුවලට බලපෑම් කිරීමට බාහිර ආයතනවලට බලයක් නොමැති බවට කතානායකවරයා ඊයේ ලබාදුන් තීන්දුව පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය දැනුවත් කරන්නැයි විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා කතානායකවරයා ගෙන් අද ඉල්ලීමක් කළේය.

කථානායක චමල් රාජපක්ෂ මහතා ඊයේ ඉදිරිපත් කළ ස්ථාවරය යළි සිහිපත් කරමින් ඔහු එම ඉල්ලීම කළේය.

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය විභාග කෙරෙන තේරීම්කාරක සභාවේ සාමාජිකයන්ට අභියාචනාධිකරණය විසින් ලබාදුන් නොතීසි බලරහිත බව කතානායකවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ කියා සිටියේය.

නමුත්, කතානායකවරයාගේ එම නියෝගය නොතකා, වගඋත්තරකාර සියලූ පාර්ශවයන්ට ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.

Gossip Lanka Hot News Previous News Archive