ජාතික අයෝමය ශූරයා තේරීම හෙට

ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා ඒකකය මගින් සංවිධානය කරනු ලබන 65 වැනි ජාතික අයෝම පුරුෂයා තේරීමේ තරගය හෙට (23 වැනිදා) බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ජාතික අයෝම පුරුෂයා තේරීමේ තරග ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදලක්‌ පිරිනැමෙන මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 137 දෙනෙක්‌ පමණ සහභාගි වීමට නියමිතව ඇත. ඒ අතර විදේශීය පුහුණුව ලැබූ ප්‍රධාන ක්‍රීඩකයන් සිව්දෙනකුද වීම විශේෂත්වයකි. එම සහභාගීත්වය ශ්‍රී ලංකා ජාතික අයෝම පුරුෂයා තේරීමේ තරගයක්‌ සඳහා සහභාගි වන වැඩිම පිරිස බවද වාර්තා වේ.



මෙවර තරගාවලියේ අයෝම ශූරයා ජාතික අයෝම ශූරයා ලෙස නම් කරන අතර ඔහුට මුදලින් රුපියල් ලක්‍ෂයක්‌ සහ රුපියල් 68000 ක්‌ පමණ වටිනා කායවර්ධන කට්‌ටලයක්‌, රුපියල් පන්දහසක්‌ වටිනා ක්‍රීඩා ඇඳුම් කට්‌ටලයක්‌ද පිරිනැමීමට නියමිතය. අනුශූරතාව දිනා ගන්නා ක්‍රීඩකයා හට මුදලින් රුපියල් 50000 ක්‌ද රුපියල් 68000 ක්‌ වටිනා කායවර්ධන කට්‌ටලයක්‌ද තෙවැනි ස්‌ථානය සඳහා රුපියල් 3000 ක්‌ සහ රුපියල් 68000 ක්‌ වටිනා කායවර්ධන කට්‌ටලයක්‌ පිරිනැමීමට නියමිතය. සිව්වැනි ස්‌ථානයේ සිට අට වැනි ස්‌ථානය සඳහා මුදලින් රුපියල් 5000 බැගින් පිරිනැමීමට සංවිධායක මණ්‌ඩලය කටයුතු යොදා තිබේ.

මෙවර තරගාවලිය සඳහා වයස අවුරුදු 21 න් පහළ කණිෂ්ඨ අංශයේ තරගයක්‌ මෙන්ම වයස අවුරුදු 45 ට ඉහළ මාස්‌ටර් අංශයේ තරගයක්‌ද පැවැත්වෙන අතර මීට අමතරව කි.ග්‍රෑ. 50, 55, 60, 65, 70, 75, 80 සහ 85 යන බර පංති යටතේ තරග පැවැත්වේ. ලබන 2014 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට යෝජිත ආසියානු අයෝම ශූරයා තේරීමේ තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැන් සිටම සූදානම් කළ යුතු බවත් එම ඉලක්‌කය කරා යැමේදී නොයෙකුත් බාධක පැමිණියද ඒවාට නොබියව මුහුණ දෙමින් තම සංගමය කටයුතු කරන බවද ශ්‍රී ලංකා කායවර්ධන සංගමයේ සභාපති කපිල කුමාර මහතා තරගාවලිය පිළිබඳව පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

"අද ඕන තරම් කායවර්ධන සංගම් පිහිටුවනවා. ඒ කායවර්ධන ක්‍රීඩාවේ දියුණුවට නෙමෙයි. ඇතැම් පුද්ගලයන්ගේ මඩිය තර කරගන්න පිහිටුවන එවැනි කායවර්ධන සංගම් පටන් ගත්තටත් වැඩිය ඉක්‌මනින් වැහිල යනවා. අපේ ජාතික සංගමයටත් නොයෙකුත් බලපෑම් එනවා. නමුත් අපි කායවර්ධන ක්‍රීඩාවේ දියුණුව උදෙසා හරි දේ කරනවා. ඇතැම් මැති ඇමැතිවරුත් එක එක දේවල් කරන්න කියල අපිට කියල තියෙනවා. නමුත් අපි හැම මැති ඇමැතිවරයකුටම ඕන විදිහට මේ සංගමය දුවන්නෙ නැහැ. අපි වගකියන්නේ ක්‍රීඩා ඇමැතිවරයාට පමණයි. ඔහුගේ නියෝගය මත අපි ඉදිරියට යනවා. වෙනදා කායවර්ධන ක්‍රීඩකයන් ස්‌ටේඡ් එකේදී නොහොබිනා වචන කියනවා. දැන් ක්‍රීඩකයන්ට එහෙම කියන්න කොහෙත්ම බැහැ. අපි විනයක්‌ ඇතිව තමයි මේ ක්‍රීඩාව ඉදිරියට ගෙන යන්නේ." යනුවෙන් කපිල කුමාර මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ කායවර්ධන ක්‍රීඩාව සඳහා පාසල් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වය අඩු බවත් ඒ සඳහා තම සංගමය මේ වන විටත් වැඩ පිළිවෙලක්‌ සකස්‌ කර ඇති බවත් කපිල කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.

Gossip Lanka Hot News Previous News Archive