පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනයකට රාජ යෝගයක්- Chat With Ranjan Ramanayake

දේශපාලනයේදී රාජ යෝගයක් තිබීම යනු අනාගත ජනාධිපතිකම ලැබීම ගැන ලකුණක් සේ විශ්වාස කරනු ලබයි. කලින් කලට විවිධ දේශපාලඥයන් විවිධ ජෝතිශ්‍යවේදීන්ගේ අනාවැකි මගින් මුලාවී තමාට රාජ යෝගයක් ඇති සිතා කටයුතු කරන ආකාරය පසුගිය කාලය පුරාවට දැකගැනීමට හැකි විය.

මෙම රාජ යෝග සිහින මවන්න්නගේ අලුත්ම පුරුක වන්නේ සිනමා නළු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනයකයි. ඔහු පුවත්පතකට අදහස් දක්වමින් පවසා ඇත්තේ තමාට රාජ යෝගයක් ඇති බව ජෝතිශ්‍යවෙදියෙකු පැවසු බවයි.


ඒ පිලිබඳ රන්ජන් අදහස් දැක්වූ අයුරු

ඉතිං කොහොමද සැප සනීප?

හොඳයි. ඉතාම හොඳයි. හොඳ ශරීර සෞඛ්‍යයෙන් ඉන්නවා.

මේ දවස්වල වැඩකටයුතු මොනවද?

ඉටි මල් ටෙලි නාට්‍යයේ ආදිත්‍ය විදිහට බොහොම ජනප්‍රියයි. මේ දවස්වල ඉටිමල් ටෙලි නාට්‍යයේ වැඩකටයුතු එක්කත් ඉන්නවා. ජීවිතය ලස්සනයි චිත්‍රපටයත් 21දා එනවා. මේ සියලු දේවල් එක්ක ඇත්තටම මගේ ජීවිතයත් ලස්සනයි.

මේ වෙනකොට කී වරක් ජනප්‍රිය නළුවා හැටියට සම්මාන ලබලා තියෙනවද?

ජනප්‍රිය නළුවා හැටියට සරසවි සම්මාන 6ක් සහ දෙරණ ලක්ස් සම්මානයත් ලැබුණා. පායා එන්න හිරු සේ චිත්‍රපටයටත් නිලම්බරේ චිත්‍රපටයටත් හොඳම නළුවා හැටියට සම්මාන 2ක් ලැබුණා. ජනතා සම්මාන 5ක් ලැබුණා. නැඟී එන නළුවා හැටියට ජනාධිපති සම්මානය එක්වරක් ලැබුණා. ඒ අතින් මට බොහොම වටිනවා.

ජනප්‍රිය නළුවෙක් වෙන්න පෙනුම කියන දේ වැදගත් දෙයක් කියලද ඔයා හිතන්නෙ?

මං හිතන්නෙ ජනප්‍රිය කියන්නෙ ජනයාට ප්‍රිය කියන එකනෙ. අප්‍රිය පුද්ගලයෙක් ජනප්‍රිය වෙන එකක් නෑ. කෙනකුගේ ප්‍රිය උපදවන පෙනුමටත් ජනතාව ආදරෙයි. ඒත් ඒ පුද්ගලයාගේ දක්‍ෂකම, පෙනුම, වාසනාව, රංගනය සඳහා ලැබෙන චරිත වගේම හඳහනත් ඒ සඳහා බලපානවා කියලයි මම විශ්වාස කරන්නේ.

හඳහන ගැන ඔයා දැඩි විදිහට විශ්වාස කරන කෙනෙක්ද?

ඔව්. මම හඳහන විශ්වාස කරනවා. අපි ජීවත් වෙන්නෙ ග්‍රහලෝකයකනෙ. ග්‍රහ වස්තූන්වල බලපෑම අපිට තියෙනවා.

ඔයාගෙ හඳහන ගැන මෑතකදී කියපු අනාවැකියක් ගැන කියන්න කැමැතිද?

මගෙ හඳහනේ රවි - බුද පළමුවැන්නෙ. හැමතිස්සෙම මුල් තැනක් ලැබෙනව කියලයි කියන්නෙ. මාතලේ සෙනරත් කියල හිතවතෙක් මෑතකදී මගේ හඳහන බලල රාජ යෝගයක් තියෙනවා කියල කිව්ව. අනිවාර්යයෙන්ම සිංහාසනයක වාඩිවෙනවා කියලත් කිව්ව.

'මහ ඇමැති වුණෙත් නෑ. පාර්ලිමේන්තුවෙ ඉඳගත්තෙත් නිකං පුටුවකනෙ' කියල ඒ වෙලාවෙ මං හිනාවුණා. නෑ. නෑ. අනිවාර්යයෙන්ම ඔය දේ සිද්ධ වෙනව කියල සෙනරත් ආයෙත් කිව්වා.

ඊට පස්සෙ දවසක සෙනරත් ආයෙමත් මට කතා කළා. 'මහත්තයො මං කිව්වෙ බොරු නෙමෙයිනෙ. මහත්තයාගේ කේන්දරේ රාජ යෝගයක් තියෙනවා. පත්තරේ පින්තූර එක්කම පළවෙලා තියෙන්නෙ' කියල කිව්වා. ශ්‍රී ලංකා - ඉන්දියා සම නිෂ්පාදනයක් හැටියට රූපගත කළ සිද්ධාර්ථ චිත්‍රපටයේ මම රඟපෑවෙ සුද්ධෝදන රජතුමා හැටියට.

පත්තරේක ඒ ඡායාරූපයක් පළවෙලා. මම ඒක පික්චර් එකකනෙ කියල කිව්වත් සෙනරත් කිව්වේ කොහොම හරි වාඩිවුණානෙ. ඒක හැමෝටම ලැබෙන දෙයක් නෙමෙයිනෙ කියලයි.


මෙච්චර කාලයක් ගතවෙලත් ඔය සුන්දර පෙනුම ඒ වගේම තියෙන රහස මොකක්ද?

බොහොම ස්තූතියි. එක පුදුම දෙයක්. මිනිස්සු කරන ක්‍රියාදාම මූණෙ ලියැවෙනවා. සතුන් මරණ මිනිස්සු, පොලීකාරයො, දූෂිත වැඩ කරන අයගෙ මූණ දැක්කහම ඔවුන්ගෙ ජීවිතය කියවන්න පුළුවන්නෙ. ඒ විතරක් නෙමෙයි ඇතැම් මැති ඇමැති ගොල්ලන්ගෙ මූණු දැක්කහමත් ඒගොල්ලන්ගෙ ජීවිතය කියවන්න පුළුවන්නෙ.

සිතිවිලි ක්‍රියාකරන ආකාරය පෙනුමට බලපානවා. දුසිරිතෙන් තොර වුණොත් පේෂල් කරල ක්‍රීම් ගානවට වඩා ලස්සන සුන්දර පෙනුමක් පවත්වාගන්න පුළුවන්.

ඉස්සර වගේම රසික රසිකාවියන්ගේ ආදරේ ඔයාට තාමත් නොඅඩුව ලැබෙනවද?

උපරිමයෙන් ලැබෙනවා. දේශපාලන වශයෙන් මොන මතයක් දැරුවත් ලංකාව පුරාම රසික ජනතාවගේ ආදරය නොඅඩුව ලැබෙනවා. චිත්‍රපට වැඩි ගණනක් මට ලැබෙන්නෙත් ඒ ආදරය හින්දයි.

පෙම් හසුන් ලියමින් පෙම්බැන්ද රසිකාවියනුත් ඉස්සර ගොඩක් හිටිය නේද?

පෙම් හසුන් නම් තාමත් ලැබෙනවා. රඟපෑමෙන් කරන්නෙ රංජනය කරන එකනෙ. මගේ නමත් ඒකනෙ. ඒ හින්ද ද මං දන්නෑ මේ තරම් ආදරය ලැබෙන්නෙ.


ඔයාට පෙම් බැන්ද නිළියොත් හිටියද?

ජොබ් එකත් පෙම් කරන එකනෙ. මම සුදු පිරුවට ඇඳගෙන බොරු කියන කෙනෙක් නෙමෙයි. පෙම් බැන්ද නිළියො හිටියා. මටත් පෙම් හැඟීම් පහල වෙලා තියෙනවා. ආදරයෙන් බැඳිලා තියෙනවා. ඒක ස්වභාවිකයි. ඒත් මම ඒ බැඳීම් වැරැදි විදිහට යොදාගෙන නෑ. ඇත්තටම මම සුන්දර ප්‍රේමවන්තයෙක්.

ආදරේ ගැන මොකද හිතෙන්නේ?

ආදරේ බොහොම සුන්දර හැඟීමක්. මම වැඩියෙන්ම පෙම් කළේ මගේ අම්මාට. අම්මා ළඟ තිබුණෙ කොන්දේසි විරහිත ආදරයක්. පෙම්වතියකගෙන් ලැබෙන්නෙ කොන්දේසි සහිත ආදරයක්නෙ. අම්මාගේ ආදරය සුන්දර බැඳීමක්. මාස නවයක කාලයක් අපි එකිනෙකා ශරීරයෙ කොටස් බවට පත්වෙලා එක සිරුරකනෙ ජීවත් වුණේ. ඒක හින්දා ඒක පුදුම බැඳීමක්.

ඔයාගෙ ජීවිතෙත් එක්ක ගත්තහම ආදරය දැනෙන්නෙ මොන විදිහටද?

ස්වභාව ධර්මයට සහ දෙවියන්ට මම ගෞරව කරනවා. මං ආදරෙන් පිරිලා. ඒ හින්දම තනිවෙලා නෑ. යන යන තැන පිරිස් බලය ආදරය උපරිමව ලැබෙනවා. ප්ලේන්ටියක්වත් මගෙන් නොබීව අය පවා මට දැඩි සේ ආදරය කරනවා. ඒ ආදරය පිරිල තියෙන හින්ද වෙන්නැති මේ තනිකඩකම තාමත් මං ළඟ තියෙන්නෙ.

ඒත් ඔය තනිකඩ ජීවිතේ දැන් ඇතියි කියල හිතෙන්නෙම නැද්ද?

තාම නම් එහෙම හිතුණෙ නෑ. ඒත් හිතිච්ච අවස්ථාත් තියෙනවා. අසනීප වෙච්ච අවස්ථාවල කෙනෙක් හිටිය නම් කියල හිතිල තියෙනවා. ඒත් සුවවුණු ගමන් හිතෙනවා උදේ නැඟිට්ටාම මං කාටවත් යටත් නෑනෙ කියලා. තනිකම මෙන් සුව දෙනා වෙනත් දෙයක් මේ ලෝකේ නැහැනෙ කියල හිතෙනවා.




ඉස්සර ඔයාට විදෙස් නිළියොත් විවාහ වෙන්න යෝජනා ගෙනාවා නේද?

ඒක ඇත්ත. විදෙස් නිළියන්ගෙන් විතරක් නෙමෙයි මෙහේ අයගෙනුත් යෝජනා ලැබුණා. තාමත් යෝජනා එනවා. කොහොමටත් යටත් වැසියෙක් වෙන්න නම් මගේ කැමැත්තක් නෑ. විවාහ වෙන්න කියල මේ දැන් මේ මොහොතේ නම් අදහසක් මට නෑ. ඒත් හිත කියන දේ වෙනස් වෙනවා.

ආපහු හැරිල බලනකොට රන්ජන් රාමනායක කියන නළුවා ගැන මොකද හිතෙන්නේ?

කලා ජීවිතයෙන් මං බලාපොරොත්තු වුණේ පොඩි දෙයක්. ඒත් මං රඟපෑවා, සිංදු කිව්වා, නර්තනයේ යෙදුණා, අධ්‍යක්‍ෂණය කළා. තිරකතා රචකයෙක්, ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්‍ෂවරයෙක් හැටියටත් කටයුතු කළා. ඒ ඒ අවස්ථාවන් ඒ ඒ වෙලාවට ලැබුණෙ නැත්නම් මෙහෙම එන්න ලැබෙන්නෙ නෑ.

අවස්ථා ලැබීම වැදගත්. ඒ වගේම ඒවාට වෙලාව වාසනාව තියෙන්නත් ඕනෑ. ඒ අතින් මම වාසනාවන්ත වුණා. ඒත් මේ මගේ තනි ගමනක් නෙමෙයි. සියලු දෙනාගේ සහාය මට ලැබුණා. කොටින්ම මම සියලු දෙනාගේ ආදරයෙන්, උදව්වෙන් හදපු ප්‍රඩක්ට් එකක්.


ඉදිරි දවස්වල වැඩකටයුතු මොන වගේද?

මේ කියන දේවල් මට දකින්න ලැබෙන්නෙ කුවේට්වලදී. මමයි, අනූෂයි, දයාසිරියි එහේ ප්‍රසංගයකට සහභාගි වෙනවා.

කෙසේ නමුත් මෑතකදී ජනාධිපති ජෝතිශ්‍යවේදී සුමනදාස අබේගුණවර්ධන විසින් අනාවැකි පලකොට තිබුනේ එක්සත් ජාතික පක්ෂයේ තිස්ස අත්තනායකටද රාජ යෝගයක් ඇති බවයි.

මෙයට අමතරව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බි දිසානායකද තමාට රාජ යෝගයක් ඇති බව තරයේ විශ්වාස කරන අතර දැනට රෝගී තත්වයේ පසුවන මහින්ද විජේසේකර හිටපු අමාත්‍යවරයාද එලෙස තමාට රාජ යෝගයක් ඇති බව විශ්වාස කරනු ලබයි.

එයට අමතරව ජන්දයෙන් පරාජය වූ ගාල්ලේ වජිර අබේවර්ධන, ගාල්ලේ නිශාන්ත මුතුහෙට්ටිගම තමාට රාජ යෝග ඇති බවට විශ්වාස කරන දේශාපලන චරිත කිහිපයකි.

Gossip Lanka Hot News Previous News Archive