2013 ධනාත්මකයි - Sri Lanka Economic Review.

 2012 කියන්නෙ මුළු ලෝකයටම අභියෝගයක් වුණ වර්ෂයකි. අමෙරිකාව වගේම රටවල් 27කින් සැදුම්ලත් යුරෝපා කලාපයේ විශාල ආර්ථික අර්බුදයක් ඇති විය. මූල්‍ය ක්‍රමය වගේම අනිත් අංශවලිනුත් ඔවුන් විවිධ අභියෝගවලට මුහුණ දුනි. දිගින් දිගටම 10%ක ආර්ථික වර්ධනයක් පවත්වා ගත් චීනයේ ආර්ථික වර්ධනය 7%ට පසුබැස්සේය. ඉන්දියාවේ තත්ත්වයත් එය වූ අතර එරට ආර්ථික වර්ධනය 5%ට අඩු විය.

පෙරදිග රටවල දේශපාලන අස්ථාවරතා ඇති විය. ඒ වගේම ඉරානයේ තෙල් සම්බන්ධයෙන් විවිධ සම්බාධක පැනවීය. එරටින් තෙල් ආනයනය කරන රටවලට වැඩ කරන්න වූයේ ඒ සීමා තුළය. ලංකාවටත් ඒ කාරණය බලපෑවේය. ඉතා ඉහළ මිල ගණන් යටතේ තෙල් ආනයනය කරන්න සිද්ධ විය.


2011 වර්ෂයේ ආර්ථික අසමතුලිතතාවන්ට ප්‍රතික්‍රියා දක්වන වැඩසටහන් සමඟින් 2012 වර්ෂය ආරම්භ විය. විනිමය අනුපාතයේ නම්‍යතාවක් පවත්වා ගැනීම, වෙළෙඳ හිඟය අඩු කිරීම, ජාත්‍යන්තර තෙල් මිලට සරිලන පරිදි දේශීය තෙල් මිල පවත්වා ගැනීම, විදුලි බිල, ප්‍රවාහන ගාස්තු සකස් කිරීම, මුදල් ප්‍රසාරණය දරාගත හැකි මට්ටමකට ස්ථාවර කිරීම, මුදල් සැපයුම් ඉහළ යෑම නිසා වැඩි වූ ආනයනයන්, ආනයන තීරු බදුවලින් විශේෂයෙන්ම වාහන ආනයනයට පැනවූ බදු මඟින් ආනයනය සීමා කිරීම වැනි දෑ පෙබරවාරි මාසයේදී අපි සිදු කළෙමු. 
මේ වගේ ගැළපිලිත් සමඟ ආර්ථිකය ගමන් කළද 2012 වර්ෂයේ පළමු හා දෙවැනි කාර්තුවල දළ වශයෙන් 8%ක ආර්ථික වර්ධනයක් පවත්වාගෙන යෑමටත් අපිට හැකියාව ලැබිණ. එසේම උද්ධමන වේගය සැලකිය යුතු ලෙස සීමා කරගන්න හැකි විය. ඉකුත් ජූලි මාසයේදී ක්‍රම ක්‍රමයෙන් ආරම්භ වී දිගින් දිගටම පැවැති නියඟයත් අපිට දැඩි අභියෝගයක් විය. විශේෂයෙන්ම අගෝස්තු, සැප්තැම්බර් වන විට ඇතැම් දිස්ත්‍රික්කවල ජලාශ සම්පූර්ණයෙන්ම හිඳිලා ගිහින් ජනතාවට පානීය ජලය පවා සපයාගත නොහැකි තත්ත්වයක් උද්ගත විය. යල කන්නයේ වී අස්වැන්න අපිට අහිමි විය. මේ කාරණය අපේ ආර්ථිකයට දැඩි බලපෑමක් කළ බව මගේ හැඟීමය.

2012 වර්ෂය අවසන් වුණේ අධික වර්ෂාවත් සමඟය. කොහොම වුණත් අපේක්‍ෂා කළ පරිදි ඒ වර්ෂාවෙන් දැඩි හානියක් සිද්ධ වුණේ නැත. සුළු වාරිමාර්ග කිහිපයකට පමණක් ඉන් හානි සිද්ධ විය. නියඟය කාලයේදී වාරිමාර්ග යෝජනා ක්‍රම 900ක් ප්‍රතිසංස්කරණය කළා සේ වර්ෂාවෙන් හා ගංවතුරින් මෙවර විපතට පත් වාරිමාර්ග ප්‍රතිසංස්කරණයට අපි ප්‍රමුඛත්වය ලබා දෙන්නෙමු. විශේෂයෙන්ම දළ වශයෙන් රුපියල් මිලියන 1,200ක පමණ මුදලක් වෙන් කොට ඉදිරි මාස දෙක, තුන තුළදී ඒ කටයුත්ත සිදු කිරීම අපේ අපේක්‍ෂාවය.

ඉකුත් දෙසැම්බර් මාසයේදී ලැබුණු වර්ෂාව නිසා මේ වෙද්දී ජලාශ පිරී තිබේ. මාස් කන්නයේ අස්වැන්නට එය ධනාත්මක බලපෑමක් වේ. සුළු සුළු වශයෙන් වගා පාළු සිද්ධ වුවද 2013 මාස් කන්නයෙන් හෙක්ටයාර් ලක්‍ෂ 7ක පමණ වී නිෂ්පාදනයක් කිසිම බාධාවකින් තොරව අපි බලාපොරොත්තු වෙමු. පවතින ආර්ථික වාතාවරණය පවා එළවළු, පලතුරු, තේ හා අනෙකුත් බෝග සම්බන්ධයෙන් හිතකර වේ.

ලැබුණු වර්ෂාව නිසා මේ වෙද්දී උපරිම වශයෙන් ජල විදුලිය නිෂ්පාදනය කරනු ලබයි. විදුලි නිෂ්පාදනයෙන් 80%ක් පමණ ලබා ගන්නේ් ජල විදුලි බලාගාරවලිනි. මේ වර්ෂාවට පෙර පැවැති නියඟය නිසා ජල විදුලි නිෂ්පාදනය 18% කට අඩු විය. නමුත් එකම දිනයකවත් විදුලිය නොකපා විදුලි පරිභෝජනය ලබා දෙන්න විශාල වශයෙන් ඉන්ධන වැය විය. ගිය වර්ෂයේදී ඉන්ධනවලට පමණක් ඩොලර් මිලියන 5.5 කට ආසන්න මුදලක් වැය කරන්න සිදු වුවද ඒ තත්ත්වය මේ වෙද්දී මඟහැරී ගොස් තිබේ.

 "ඒ නිසා 2013 වර්ෂය ධනාත්මක වර්ෂයක් ලෙස සලකන්න පුළුවන. "


මේ සම්බන්ධයෙන් යහපත් බලපෑම් කරන ජාත්‍යන්තර ආර්ථිකයේ ධනාත්මක ප්‍රවණතාත් හඳුනාගන්න පුළුවන. විශේෂයෙන්ම අමෙරිකන් ආර්ථිකය තුළ වෙළෙ¼දාම ඉහළගොස් රැකියා වියුක්තිය අඩු වී ඒ වගේම අයවැය අර්බුදය විසඳීමේ යම් යම් එකඟතා ඇති වී තිබේ. ඒ නිසා අපනයන සම්බන්ධයෙන් යම් සහනයක් ලැබෙනු ඇත.

යුරෝපා කලාපයේ යම් යම් ප්‍රතිසංස්කරණත් ආර්ථිකය කෙරෙහි හිතකර අන්දමින් බලපා තිබේ. 2012 වර්ෂයේදී යම් පසුබෑමකට ලක් වුණ චීන හා ඉන්දීය ආර්ථිකයන්හිත් යම් ප්‍රගතියක් මේ වර්ෂයේදී අපේක්‍ෂා කිරීමට පුළුවන. ඒ නිසා අභ්‍යන්තර මෙන්ම බාහිර සාධකත් මේ වර්ෂයේ ධනාත්මක ආර්ථික ප්‍රවණතාවක් වෙනුවෙන් බලපෑම් කෙරේ.

රටේ සමස්ත බදු ක්‍රමය තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පුළුල් ප්‍රතිසංස්කරණයකට ලක් කොට ඇත. එහිදී විශේෂයෙන්ම කාරණා කිහිපයක් වැදගත්ය. ඉහළ මට්ටමේ බදු ගෙවන අය විශේෂයෙන්ම 95%ක පමණ බදු ආදායමක් උපයාගන්නේ ඔවුන්ගෙනි. ඒ නිසා ඒ ආදායම ක්‍රමවත්ව ලබා ගැනීමේ ක්‍රමවේදයක් අපි සකස් කොට ඇත. ඒ වගේම කුඩා මට්ටමේ විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට පහසුකම් සැලැසිය හැකි පරිදි බදු කළමනාකරණ ප්‍රතිපත්ති සකස් කොට තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ නොමිලේ බදු උපදේශක සේවාවක් පවත්වාගෙන යනු බවයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තු ශාඛා ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවාගෙන යයි. මේ වෙද්දී දේශීය ආදායම් දෙපාර්තමේන්තු ශාඛා 15ක් ක්‍රියාත්මක වේ. නිල හා නිල නොලත් බදු උපදේශකවරුන් වෙනුවට ජනතාව දැනුම්වත් කිරීමේ වගකීම අපිම පවරාගෙන අවසන්ය. ඇතැම් කලාපවල වෙළෙඳ මහතුන් බදු ගෙවිය යුතු ප්‍රමාණය, බදු ගෙවිය යුතු ආකාරය, ගිණුම් පවත්වාගෙන යා යුතු අන්දම නොදනී. බදු අය කර ගන්නවාටත් වඩා මෙහිදී අපේ අපේක්‍ෂාව වී ඇත්තේ මිනිස්සු ස්වේච්ඡාවෙන්ම බදු ගෙවන තත්ත්වයක් ඇති කිරීමටය. ඒ තත්ත්වයට ඔවුන් අනුගත කිරීමය.

පිරිවැටුම රුපියල් මිලියන 12ට අඩු ව්‍යාපාර වැට් සහ ජාතිය ගොඩනැඟීමේ බද්දෙන් නිදහස් කොට තිබේ. මේ වෙද්දී ලියාපදිංචි වුණු එවන් ව්‍යාපාරිකයන් 11,000කට ආසන්න පිරිසකට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලියුම් යවා තිබේ. යම් භාණ්ඩයක් අලෙවි කිරීමේදී පාරිභෝගිකයන් මත වැට් බදු පැටවිය යුතු නැති බව එහි සඳහන් වේ.

කාර්තුවකට මිලියන 500ට වඩා පිරිවැටුමක් ඇති තොග, සිල්ලර හා සුපිරි වෙළෙඳසල් වැනි විශාල ව්‍යාපාර සඳහා වැට් බදු ක්‍රියාත්මකය. මේ වෙද්දී සරල, ඒත් පුළුල් පරාසයක බදු ක්‍රමය ක්‍රියාත්මක වේ. ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ, ආනයනයේ, සංචාරක ක්‍ෂේත්‍රයේ හෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් තමන්ගේ ආදායමෙන් 12%ක වැනි සරල බද්දක් පමණක් ගෙවිය යුතුය. අපිට අවශ්‍ය බදු විරාම නොඉල්ලා ව්‍යාපාර සංවර්ධනය වෙනුවෙන් තව තවත් ආයෝජන අවස්ථා ඇති කිරීමටය.

ඒ වගේම මසකට තමන්ගේ ආදායම රුපියල් 50,000ට අඩු නම් ඔවුන් ආදායම් බදු හෝ කිසිදු බද්දක් ගෙවිය යුතු නැත. තමන්ගේ මසක ආදායම රුපියල් 50,000ත්, 100,000ත් අතර ප්‍රමාණයක් නම් ආදායමෙන් 2%ක බද්දක් පමණක් ගෙවිය යුතුය. රටේ කෙරෙන විශාල වාරිමාර්ග, පානීය ජලක්‍රම, මහාමාර්ග, නිවාස හා වරාය ඉදිකිරීම් වැනි දේවල්වලට මේ ක්‍රමය වැදගත්ය. ජනතාව ඒ වෙනුවෙන් සහභාගි වෙයි කියා අපි බලාපොරොත්තු වෙමු.

මීට කලකට ඉස්සර ආදායමෙන් 60%ක් පමණ ආදායම් බදු ලෙස අය කරගත්තේය. ඒ නිසා මිනිස්සු බදු ගෙවන්න මැළි විය. ඔවුහු බදු ගෙවීම් පැහැර හැරියහ. දැන් බදු අය කිරීමේ ප්‍රමාණය 2%කි. මම දන්න දේශපාලනඥයො පවා හුඟදෙනෙක් බදු ගෙවනු ලබයි. බදු ගෙවීමට පෙර ඒ සඳහා මිනිස්සුන්ට හැකියාවක් තිබිය යුතුයි. බදු ක්‍රමයේ මේ සරලකමත් සමඟ දැන් දැන් දේශපාලනඥයො, නීතිඥයො, ව්‍යාපාරිකයො, වෛද්‍යවරු බදු ගෙවන්න ඉදිරිපත් වෙමින් සිටිති. ආදායම් බදු දෙපාර්තමේන්තුවට එන හැමකෙනෙක්ම අපි බොහොම සාදරයෙන් පිළිගනිමු.

රටට ආදායම අවශ්‍යය. නමුත් ඒ මතම පිහිටලා වැඩ කළ නොහැකිය. ආදායම වගේම මහන්සි වෙලා ආදායම උපයන අයට, ආදායම් ඉපයිය හැකි අවස්ථා ඇති කළ යුතුය. මේ කාරණා දෙකම යා යුත්තේ එකටය. බදු ගෙවන්නත් දිරි ගැන්වීමටත් අපි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. විශේෂයෙන් අවුරුදු දහයක් තිස්සේ වර්ෂයකට දෙලක්‍ෂ පනස්දාස ගණනේ බදු ගෙවූවන්ට සහන තීරු බදු යටතේ වාහන ලබා ගන්න ඉඩදී තිබේ. ඉන් බදු හිමියා දිරිගැන්වීම අපේ අරමුණය. මෙතෙක් කල් සහන තීරුබදු යටතේ වාහන ලබාගන්න ඉඩ ලැබුණේ රාජ්‍ය සේවකයන්ට හෝ දේශපාලනඥයන්ට පමණි. දැන් ඒ ඉඩකඩ බදු ගෙවන්නන්ටත් හිමිව තිබේ.

අපේ රට ගමන් කරන්නේ සේවා ආර්ථිකයකටය. අපනයන ආර්ථිකයකටය. තිරසාර බදු ක්‍රමයකට යෑම අපිට අවශ්‍යය. ඉදිරි අවුරුදු තුන හතර ඇතුළත ජාතික ආදායමට සාපේක්‍ෂව 16%ක මට්ටමට බදු ප්‍රමාණය ගෙන ඒමට හැකියාව ලැබේවි යන්න අපේ බලාපොරොත්තුවය. ගිය අවුරුද්දට වඩා ජාතික නිෂ්පාදනයෙන් දශම පහක්, ඒ කියන්නෙ රජයේ ආදායමෙන් 14.5%ක් පමණ මේ වර්ෂයේදී අපි බලාපොරොත්තු වෙමු.

ඒ වගේම රේගුවත් අපි පුළුල් ප්‍රතිසංස්කරණයකට ලක් කළෙමු. රටේ මූලික බලාපොරොත්තුව අපනයනය ඩොලර් බිලියන 30 ඉක්මවීමත්, ආනයනය ඩොලර් බිලියන 30ට අඩු මට්ටමක පවත්වා ගැනීමත්ය. ඉදිරි වර්ෂ 3 තුළ ඒ තත්ත්වය ඇති කිරීම සඳහා රේගුව පුළුල් ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් පවතී. ඒ වගේම මේ මොහොත වෙද්දී ලක්‍ෂ දහයකට වැඩි ප්‍රමාණයක් විදෙස් සංචාරකයන් රටේ ගැවසේ. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලැසීමේ ප්‍රධාන ආයතනය බවට රේගුව පත් කළ යුතුය. අනෙක් අතට නිදහස් වරායන් 3ක් රටෙහි ඇති කිරීමේ ක්‍රියාවලියේ පහසුකම් සපයන්නා බවටත් රේගුව පත් කළ යුතුයි.

රටේ ආර්ථිකයට අවශ්‍ය ආරක්‍ෂණය හා ආදායම ශක්තිමත් කළ හැකි ආයතන බවට රේගු දෙපාර්තමේන්තුව, මහා භාණ්ඩාගාරය හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පත් කිරීම අපේ අවසන් අපේක්‍ෂාවය.
  
උපුටා ගැනීම  -මව්බිම

Gossip Lanka Hot News Previous News Archive