මම ජනපි‍්‍රය වුණේ පැරණි ගීත ගායනා කරලා තමයි - Amila Nadeeshani

 අමිලා නදිශානි, සුපිරි තරු මාවතෙන් ගායන ක්ෂේත්‍රයට පා තැබු තවත් සුපිරි තරුවක්. විවිධ රිද්ම යටතේ සිය නිර්මාණ බිහි කිරීමට කැමැත්තක් දක්වන ඇයගේ නවතම ගීය වන්නේ ඔබ දන්නවාද දන්නේ නෑ... ගීතයයි. මේ ගීතය තමාගෙත් පි‍්‍රයතම ගීතය බවයි අමිලා පවසන්නේ.

ඔබ දන්නවාද දන්නේ නෑ
මං ආදරේ කළා සිතින් කියා
ඔබ මා ළඟින් තියා
මං ආදරෙයි කියා
කියන්නේ කෙසේදෝ දන්නෙ නෑ
සිතුම් සිතේ තදකරන්
පැතුම් මල් ගොඩක් පොදි බැඳන්
දුටුදා ඉඳන් හදේ
බැඳි ආදරේ රසේ
ඔබට කීවේ නෑ

ඔබට තව කීවේ නෑ
ඔබ දන්නවාද...
හැඟුම් දැන් හුඟක් දුර ගිහින්
සිතින් වෙන් කරන් බැරි තරම්
නොකියූ වදන් මෙසේ
නොකියා ඉඳිම් කෙසේ
සිත ඉවසන්නෙ නෑ
සිතට ඉවසන්න බෑ
ඔබ දන්නවාද....

පද රචනය – නන්දන වික්‍රමගේ
සංගීතය - මේනක
ගායනය – අමිලා නදීශානි

අමිලා මේ ගීය නිර්මාණය වුණේ කොහොම ද?

70 දශකයේ බිහි වුණු ගීත හා ඒ සංගීත ආරෙක ගීයක් ගායනා කරන්න මට කැමැත්තත් තිබුණා. ඉතින් මගේ ඒ කැමැත්ත තේජා අයියාට තේජා ඉද්දමල්ගොඩ කියපු වෙලාවේ තමයි එයා මට මේ ගීතය දුන්නේ. මේක මම වෙනුවෙන්ම නිර්මාණය කළ ගීතයක් නෙමෙයි. මේ ගීතය එයා ළඟ තිබුණු ගීතයක්. මට ඕනේ කිව්වාම එයා මට ඒ ගීතය දුන්නා ගායනා කරන්න. මේක ආදර ගීතයක් පද රචනය කළේ නන්දන වික්‍රමගේ සංගීතය තමයි තේජා ඉද්දමල්ගොඩ.

මේ ගීතය ඔබ ගැයූ ගීත අතරින් ඔබ වඩාත් පි‍්‍රයකරන ගීතය බවට පත්වීමට විශේෂ හේතුවක් තිබෙනවා ද?

මේ ගීතය මම බලාපොරොත්තු වුණු අයුරේ ගීතයක් බොළඳ නැති සරල වචන පෙළක් තිබෙන ඉතාමත්ම ලස්සන ගීතයක් ලෙසයි මම දකින්නේ. මගේ රසිකයන් පවා වඩාත් පි‍්‍රය කරන්නේ මේ ගීතයට බව ප්‍රසංග වේදිකාවේදී මම අනන්තවත් දැකලා තිබෙනවා. මම මේ ගීය ගායනා කරනකොට ඔවුන් නිහඬ වෙනවා. ඒ කියන්නේ එයාල මේ ගීතය හොඳින් රසවිඳින බවයි.

අමිලා ක්ෂේත්‍රයට ඇවිත් එතරම් කාලයක් නැහැ. මේ වන විට ඔබේ ගීත කීයක් නිර්මාණය වී තිබෙනවා ද?

35 - 40 විතර. මේ අතරින් වැඩියෙන්ම ජනපි‍්‍රය වුණේ ඔබ දන්නවාද, හිතුවක්කාර මනමාලී, රෑ සඳ යහනේ වැනි ගීතයි.

කොතරම් නිර්මාණ තිබුණත් අමිලාගේ ජනපි‍්‍රයත්වය රඳා පැවතුණේ පැරණි ගීත මත යැයි මා කීවොත්...

මම ජනපි‍්‍රය වුණේ පැරණි ගීත ගායනා කරලා තමයි. ඒ අදහසට මම එකඟයි. නමුත් මම පෙර සඳහන් කළා වගේ මගේ ගීත ඉල්ලන ඒවාට ආදරය කරන රසික පිරිසක් මා වටා සිටිනවා.

එක්තරා ප්‍රවීණ ගායිකාවකගේ ගීත ඇගේ අවසරයකින් තොරව ඔබ ගායනා කරන බවට ක්ෂේත්‍රයට පැමිණි කාලයේ සිටම ඔබට චෝදනාවක් තිබෙනවා?

ඔව්. එහෙම චෝදනාවක් තවමත් තිබෙනවා තමයි. තරගාවලිය අතරේදී මට ඒ ගීත ගායනා කරන්න වුණා. ඒ ගීත තුළින් තමයි මම ජනපි‍්‍රය වුණේ. මේ වන විට බොහෝ වෙලාවට මගේ ගීත පමණක්ම ගායනා කරන්නට මම වග බලා ගන්නවා.

නමුත් තරගයේදී ගායනා කළ ගීත තවමත් මගෙන් ඉල්ලනවා. ඇතැම් විට ප්‍රසංගවලට සහභාගි වෙන අවස්ථාවල ද ඒ සංගීත කණ්ඩායම් පවා වාදනය කරන්නේ පැරණි ගීතයක සංගීතයයි. ඉතින් මට ඒවා ගායනා කරන්න වෙනවා. නිදසුනක් කීවොත් ‘මඩේ ලගින තාරාවන්’ ගීතය ගායනා කරන්නේ නැතිව ප්‍රසංග වේදිකාවෙන් සමුගන්න නොදෙන වාර අනන්තයි.

ඉතින් මට ඒ ගීතය ගායනා කරන්න වෙනවා. හැබැයි අද වෙනතුරු අනුලා බුලත්සිංහල මහත්මියවත් මර්සි එදිරිසිංහ මහත්මියවත් මට කිසිම දෙයක් කියලා නැහැ.

පැරණි ගීත ගායනා කර ඊට ඔබ විශාල මුදලක් අය කරනවා ය යන චෝදනාවත් ඔබට තිබෙනවා?

මම එහෙම අසාධාරණ මුදලක් නම් අය කරලා නැහැ. එසේ කරනවානම් මට මෙතරම් ප්‍රසංග ප්‍රමාණයක් ලැබෙන්නෙ නැහැනේ.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහාය ඔබට ලැබෙනවා ද?

මේ ක්ෂේත්‍රය මම හිතන්නේ කලා පවුලක් ලෙසයි. ඉතින් මේ පවුලේ වැඩිහිටියන්ගේ සහෝදර සහෝදරියන්ගේ සහයෝගය වගේම ආශිර්වාදයත් මට නොඅඩුව ලැබෙනවා.

අමිලා රංගනයට පිවිසුණේ කෙසේ ද?

තරගාවලිය අතරතුරේදීත් මට චිත්‍රපට කිහිපයකට ආරාධනා ලැබුණා. ඒත් ඒ කාලයේ දී මම ඒවා ප්‍රතික්ෂේප කරා. පසුව ටෙලි නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබුණු නිසාත් රංගනයට මගෙත් කැමැත්තක් තිබුණු නිසාත් මම ඒවාට දායක වුණා. ඒවා තුළින් මට රඟපාන්න පුළුවන් ද කියලා උත්සාහ කරලා බැලුවා.

මෑතකදී රංගනයෙන් දායක වූ නිර්මාණ තිබෙනවා ද?

පසුගිය කාලයේ ජයනාත් ගුණවර්ධනගේ ‘පරාවර්තන’ චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඒ වගේම චන්ද්‍රරත්න මාපිටිගමගේ ‘සුළිය’ නමැති ටෙලි නාට්‍යයේ ළමා නිවෙසක හැදි වැඩෙමින් ළමා නිවාසේ දරුවන්ට සංගීතය කියාදෙන තරුණියකගේ චරිතයකටත් පණ පොවනවා. මම මෙතෙක් දායක වුණු නිර්මාණ සාමාන්‍ය චරිත තමයි මට ලැබුණේ. නමුත් මම කැමැති ඊට වඩා යමක් කරන්න පුළුවන්, ආදර්ශවත් චරිතයන්ට රංගනයෙන් දායක වෙන්න.

ඔබේ නිර්මාණ එකතුවක් එළිදක්වන්න අදහසක් නැද්ද?

නව ගීත බොහෝමයක් මේ වන විටත් නිර්මාණය කරලා තිබෙනවා. නමුත් ඔබ අසන්නේ මගේ ගීත ඇතුළත් සී ඩී තැටියක් එළිදැක්වීමනම්, එය දැන් නිශ්ඵල කාර්යයක් ලෙසයි මම දකින්නේ. මොකද අප කරන ඕනෑම නිර්මාණයක් අද වෙනකොට අන්තර්ජාලය හරහා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ නිසා සී ඩී එකක් මිලදී ගැනීමේ ප්‍රවණතාව අඩුයි. මගේ නිර්මාණ අතුරින් හොඳම නිර්මාණ එකතු කරලා ප්‍රසංගයක් පවත්වා ඒ ඩී වී ඩී තැටිය එළිදක්වන්න බලාපොරොත්තුවක් තිබෙනවා.


උපුටා ගැනීම  - සිළුමිණ 

 




Gossip Lanka Hot News Previous News Archive