දෝෂාභියෝගයට මම ඡන්දය දෙන්නේ නෑ - D.E.W.Gunasekara

අපේ දේශපාලන සතුරන්ට, ජත්‍යන්තර මෙන්ම දේශිය වශයෙන් වාසිවන කොන්දේසි නිර්මාණය කොට පසුව හඩා වැළපීමෙන් හෝ යුද ප්‍රකාශ කිරීමෙන් පළක් නොවන බව දෝෂාභියෝග යෝජනාව පිළිබඳ අද (11) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ඩිව් ගුණසේකර මහතා පැවසීය. කරුණු සාධක රාශියක් පදනම් කරගෙන දෝෂාභියෝගයේ දී ඡන්දය දීමෙන් වැලකී සිටීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා අද (11) දහවල් පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. විවාදයේ දී ඒ මහතා වැඩිදුරටත් මෙසේ කීවේය.


“ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යට‍තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ට එරෙහි දෝෂාභියෝග ගෙන ඒමට නීතියක් හෝ ස්ථාවර නියෝග පමණක් නොමැති බැවින් අප රට අද අර්බුදයකට, ගැටලුවක, අවිනිශ්චිත තත්ත්වයකට පත් කර තිබෙන බව පෙනේ. මෙහි වගකීම ව්‍යවස්ථාදායකය මෙන්ම විධායකය සහ අධිකරණය භාරගත යුතුය. අද පැන නැගී තිබෙන අර්බුදයට විසඳුම එවකට අනුර බණ්ඩාර නායක, දිනේෂ් ගුණවර්ධන සහ සරත් මුත්තෙට්ටුවගම යන මහත්වරුන් ඉදිරිපත් කළා. නමුත් 1984 සිට සියලු ආණ්ඩු අවුරුදු 29 ක් තිස්සේ නිදිවත රැක්කා. එසේ නම් මෙම අර්බුදයට ඉඩ කඩ සැලසුවේ ව්‍යවස්ථාදායකයයි. අප ඊට වගකිව යුතුයි. අපේ වගකීම් පැහැර හැර තිබෙනවා.

අනුර, දිනේෂ්, සරත් වාර්ථාවෙන් පසු ආණ්ඩු ගණනාවක් තිබුණා. ජනාධිපතිවරුන් පස් දෙනෙක්, අගවිනිසුරුවරුන් ගණනාවක් සිටියා. ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවන දෝෂාභියෝගය දැක, දැක, නිහඬව සිටියා. ව්‍යවස්ථාදායකයේ අප ගොලුවත රැක්කා. අනුර, දිනේෂ්, සරත් වාර්තා හමස් පෙට්ටියේ, කුණු කූඩයේ තිබුණා. වරද කාගෙද? අගවිනිසුරු ශ්‍රියානි බණ්ඩාරනායක දෝෂාභියෝගයේ දී වමේ පක්ෂ අප අදාළ බලධාරින්ට දන්වා සිටියා ස්ථාවර නියෝග සංශෝධන අවශ්‍ය බව. අත්දැකීම් ඇති තැන අත්හදා බැලීම් අවශ්‍ය නැහැ. නමුත් අපේ ව්‍යායාමය පිළිගත්තේ නැහැ. ආණ්ඩුව තුළ සිටියත් නිහඬව සිටීමට අපට පුළුවන්කමක් තිබුණේ නැහැ
ගැටුම්කාරී තත්ත්වයක් උදා නොවන සේ අපට ක්‍රියා කිරීමට ඉඩ තිබුණා. එය ඉටු වූයේ නැහැ. විපක්ෂය ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා. මෙයයි පැවැති යථාර්තය. මෙම ප්‍රශ්නය මුල සිටම දේශපාලනීකරණය වුණා. 1978 බහුභූත ව්‍යවස්ථාව වෙනස් කළ යුතුමයි. පළමුවෙන්ම උත්තරීත්තර ජනතාවයි. පරමාධිපත්‍ය තිබෙන්නේ එතැනයි. එය අපට ලැබුණේ 1972 ව්‍යවස්ථාවෙන්. දෙවනුව උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. එය ජනතාවගේ නිර්මාණයක්. රටේ මූලික නීතිය. තුන්වෙනුව ජනතාව ව්‍යවස්ථාව හරහා බලය ලබා දෙන්නේ විධායකයට සහ අධිකරණයට. 1972 දක්වා උත්තරීතර ආයතන වූයේ පාර්ලිමේන්තුවයි. 1978 න් පසු ඒ තත්ත්වය නැති වුණා. අපේ බලය විධායකයට පවරනු ලැබුවා. දැන් ඉතිරි වී ඇති බලය අධිකරණය විසින් උදුරා ගන්නවාද යන්න පිළිබඳ බියක් පැන නැගී තිබෙනවා. මෙම කරුණු සාධක පදනම් කරගෙන දෝෂාභියෝග ඡන්ද විමසීමේ දී ඡන්දය දීමෙන් වැළකී සිටීමට අප තීරණය කළා.”


Gossip Lanka Hot News Previous News Archive