සැපවත් ජීවිතයක් හිමි කරවන ශනි මංගල යෝගය

මෙය සරල ලෙස සලකා බලයි නම් ගුණ මෙන්ම අගුණ ද ලබාදෙන පිහිටීමක්ය. විශේෂයෙන්ම විවාහය ප්‍රමාද කරවන ග්‍රහ යෝගයක් ලෙසද නිසියාකාරව විවාහය සිදු නොකළහොත් දෙදෙනා වෙන් විය හැකි යෝගයක්ද වේ. මෙම ශනි මංගල යෝගය යෙදෙන ආකාරය සරලව විස්තර කළහොත් එය ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.

ශනි සහ කුජ එකම තැනක සිටීමත් ශනි සිටිනා තැන සිට ගැනගෙන ගියවිට 7 වැනි කොටුව කුජ පිහිටා ඇත්නම් එය සම සප්තම වීම ලෙස හඳුන්වයි. මෙම ගණනය කරන විට ශනි හෝ කුජ සිටිනා කොටුව එක ලෙස නැතිනම් පළමු කොටුව ලෙස සලකා ගණනය කිරීම තුළ මෙය නිවැරැදිව සොයාගත හැක. මේ ලෙසම ශනි සිටිනා තැන සිට 10 වැනි කොටුව තුළ කුජ සිටී නම් ශනි මංගල යෝගය යෙදෙන තවත් ආකාරයකි. කෙසේ වෙතත් මෙවැනි පිහිටීම් පෙන්නුම් කරයි නම් එක එල්ලේ ශනි මංගල යෝගය පෙන්නුම් කරතත් එකම ආකාරයේ ප්‍රතිඵල ලබානොදෙන බවද පැවැසිය යුතුය.


ඒ සඳහා බොහෝ විට තමා සිටින තැන කොතරම් අංශක ප්‍රමාණයක් අෑත්ව හෝ ළංව පිහිටීම මෙම වෙනසට හේතුව වෙයි. උදාහරණයක් ලෙස ගතහොත් එක රාශියක් තුළ අංශක 30ක ප්‍රමාණයක් ඇති අතර මෙම අංශක 30 තුළ එක ග්‍රහයෙක් අංශක 28ක් පමණක් ගොස් සිටියදී අනෙක් ග්‍රහයා අංශක 1ක් 2 ක් පමණක් ගොස් සිටී නම් එම ග්‍රහයන් දෙදෙනා අතර අංශක 25-26ක පමණ දුරක් තිබිය හැකිය. නමුත් එම දෙදෙනා එක ළඟ අංශක ගණනක් ගොස් සිටී නම් වඩාත් ළඟින් පිහිටා ඇති බව පෙන්වයි.

එකම ස්ථානයක් තුළ සිටියත් මෙවන් ග්‍රහ පිහිටීම් දෙකක ක්‍රියාත්මක වීම වෙනස් ආකාර තුළ සිදුවිය හැකිය. මේ ආකාරයට ඔබට එක එල්ලේ ප්‍රතිඵල පැවැසිය නොහැකි නිසා මෙවැනි ග්‍රහ පිහිටීම් දුටු පමණින්ම කලබලයට පත් නොවී දක්ෂ ජේ‍යාතීර්වේදියකු ලවා හඳහන් පරීක්ෂාව සිදුකර ගැනීම ඉතා යහපත්ය.

ආක්‍රමණශීලී අයෙක්

මෙම ශනි මංගල යෝගය යෙදෙන ආකාරය මා ඔබට විස්තර කළ අතර මෙහි ප්‍රතිඵල සලකා බැලීමේදී ඉතාමත් පුදුම සහගත බවක් පෙන්වයි. සෙනසුරු සහ කුජ යනු දැඩි පාපී ග්‍රහයන් දෙදෙනකු ලෙස හැඳින්වීම වරදක් නැත. මෙවන් දෙදෙනෙක් එකතුවූ විට දෙදෙනාම බලවත් වේ. එවිට දැඩි ආක්‍රමණශීලී බවක් දක්වයි. අප සරලව බැලුවහොත් මෙම තරගකාරී ලෝකයේ ආත්මාර්ථකාරී බව අනෙක් අය අභිභවා යෑම මෙන්ම දැඩි තීරණ ගැනීමද දියුණුව සඳහා බලපායි. මෙහිදී දියුණුව වශයෙන් මා අදහස් කරන්නේ මුදල්, නිලතල, දේපළ, සමාජ සබඳතා, පවුල් පසුබිම, ශරීර ශක්තිය හා අධ්‍යාපනය වැනි දේය. මෙහිදී වැදගත් වන්නේ කෙනකුට කෙසේ හෝ දියුණුවීම මිස ගුණයහපත්කම නොවේ.

වෘත්තීය දියුණුව

මෙම යෝගය මෙතරම් බලවත් වන්නේ ශනි මංගල යෝගය තුළින් බොහෝ උසස් වෘත්තිකයන් ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන් මෙන්ම ආගමික නායකයන් විශාල ලෙස බිහිවී ඇති යෝගයක් නිසාය. මෙම වෘත්තීන් සඳහා කුඩා කල සිට යොමුවුණු දරුවන්ට දක්ෂතාව පමණක් ප්‍රමාණවත් නොවේ. දැඩි බවක්ද අවශ්‍යයි. සරලව විස්තර කළහොත් යහළු මිත්‍රයන් ආශ්‍රය කරමින්, ක්‍රීඩා කරමින්, වැඩ අතපසු කරමින් තම අවශ්‍යතාව ඉටුකර ගැනීම අපහසුය. එම නිසා ඉහළට යන බොහෝ දරුවන් කුඩා කල සිටම ක්‍රමානුකූලව දියුණුව පතා වැඩ කරයි. අන් අයගේ මත හෝ අවශ්‍යතා ගණන් නොගනී. මේ දියුණුව සඳහා යා හැකි මාර්ගයයි. කෙසේ නමුත් දැනට පවතින තරගය තුළ මීට වඩා යහපත් වීමට දරුවන්ට හැකියාවක් නැත. එකම දෙය නම් අනාගතයේ බිහිවන දරුවන් ගතිගුණ අතින් සමාජයට කොතෙක් වැඩදායක වේද යන බව.

විවාහ ජීවිතය
දැන් අප මෙම කරුණු විස්තර කර බැලුවහොත් සමාජය තුළ දියුණුවීම මෙම යෝගය තුළින් සිදුවන බව අප පිළිගත යුතුය. මෙම දියුණුවට යන විට විවාහයට අහිතකර වන්නේ මෙවැන්නන් විවාහය තුළ තම සහකරු හෝ සහකාරිය සතුටු කිරීමට වඩා බාහිර දියුණුවට කැපවීම නිසා බොහෝ විට විවාහ දෙදරා යෑමේ හෝ අසතුටෙන් ජීවත්වීම වැනි අවදානමක් ඇති බවයි.

සැප සම්පත්

මිල මුදල් ගේ ‍ෙදාර යාන වාහන ශනි මංගල යෝගය ඇති අය බොහෝ දෙනකු හිමිකර ගනී. බොහෝ විට තමා තුළ ඇති ආත්මාර්ථකාමී ගතිගුණ මෙන්ම කලහකාරී ගතිය නිසා සමාජයෙන් ප්‍රසාදයක් ලබා ගැනීම අපහසුය. තමන්ට තරහකාරයන්ද වැඩිකර ගනී.

සෞඛ්‍ය

සෞඛ්‍ය සම්බන්ධයෙන් බැලීමේදී අධික රුධිර පීඩනය, අර්ශස්, වැනි රෝගවලට මෙන්ම ඇස් රෝගද බහුලය. මෙම යෝගය එක අට ස්ථානවලදී හදිසි අනතුරු ඇති කිරීමද ඉතා ඉහළ අගයක් ගනී. විශේෂයෙන් එක කොටුව තුළ ශනි කුජ සිටීම හිස ප්‍රදේශය අනතුරුවලට මෙන්ම ශල්‍ය කර්මවලට ඉඩ ඇති පිහිටීමකි. හයවැන්නේ සිටීම කල්පවතින ලෙඩරෝග තිබුණත් ඒවාට ඔරොත්තු දීමේ හැකියාවද ඇති කරයි.

ආශාවට මුල්තැන

විවාහය සම්බන්ධ බැලීිමේදී ශනි කුජ 1,2,4,7,8 සහ 12 ස්ථාන ඉතා අහිතකර වන අතර එකේ සිටී නම් කලබලකාරකම නිසාද දෙකේ සිටීනම් අධික වියදම් සහ වචනවල ඇති කර්කශබව විවාහයට බලපෑම් කරයි. 4රේ සිටියදී දරදඬු බවද රෝග පීඩාද නිසා විවාහයට අයහපත්ය. 7 වැන්නේ සිටින විට විවාහය නොකැඩී තිබෙන්නේ කලාතුරකිනි. 8 වැන්නේ ද එසේමයි. මේ සඳහා විවාහ ජීවිතය තුළ ඇතිවන බොහෝ හැලහැප්පීම් හේතු වෙතත් වඩාත් බලපෑම් කරන්නේ ලිංගික තෘප්තිය පිළිබඳ ගැටලු වේ. මෙම යෝගය ඇති අය බොහෝ අවස්ථාවලදී ආශාවලට මුල් තැන දෙන අතර එමඟින් විවාහයේ සතුට ලැබීමට නොහැකි වේ. 12 වැන්නේද මෙම යෝගයට එතරම් යහපත් නොවන්නේ වැඩි ලග්න සංඛ්‍යාවකට මෙහි ඇති දෝෂය වන වැය පාර්ශ්වය ඉහළ යෑම සහ තමා එතරම් බලවත් කෙනකු නොවීමයි. කෙසේ වෙතත් ලග්න අනුව සමහර කටයුතු වෙනස් වේ.

දරු සම්පත්

දූ දරුවන් පිළිබඳ සැලකීමේදී මෙම යෝගය සමහර අවස්ථාවලදී ගැටලුද ඇති කරයි. මෙයට හේතුව වන්නේ ශනි මංගල යෝගයෙන් හෙබි බොහෝ දෙනෙක් වයසට යනතෙක්ම තමා සතු දේ රැක ගැනීමට වැඩි උත්සාහයක් කිරීමයි. දරුවන්ට වුවත් දීමට එතරම් කැමැත්තක් නැත.

දරුවන් සඳහා වඩාත් අශුභඵල දිය හැකි ස්ථාන ලෙස 4,5,11 ස්ථාන හැඳින්විය හැකිය. විශේෂයෙන්ම ශනි කුජ 5 වැන්නේ සිටින විට ගැහැනු ළමයි උදෙසා අයහපත් ප්‍රතිඵල ලබාදේ. විශේෂයෙන් විවාහයෙන් පසු දරුවන් ගබ්සා වීමේ හැකියාවද වැඩිය. නමුත් මෙය දරුවන් නොලබන ග්‍රහ පිහිටීමක් නොවේ. 4 වැන්නේ සිටීම දූ දරු සබඳතා විනාශ කරන බවක්ද පෙනේ. 11 වැන්නේ දී ශනි මංගල යෝගය යෙදී ඇති අය දරුවන්ට වඩා දියුණුව ගැන සිතීම නිසා ආර්ථික දියුණුවට පත්වෙතත්, ඒ නිසාම දරුවන්ගෙන් අෑත්වන බව පෙනේ.

මවුපිය සබඳතා

මවුපියන් උදෙසා බැලීමේදී ශනි මංගල යෝගය හරහා අනිසි ප්‍රතිඵල ඇතිවිය හැක්කේ 4 වැන්න සහ 10 වැන්න තුළ සිටීමෙනි. විශේෂයෙන් 4 සිටිනවිට එම දරුවාගේ උත්පත්තිය මවුට යහපත් නැත. මව සමඟ එකට ජීත්වීමට නොහැකි බවත් බොහෝ විට මෙවැන්නන් විදේශගත වීම හෝ තම උපන් ප්‍රදේශය හැර යෑම සිදුවේ. පියා සඳහා බැලීමේදී 10 වැනි කොටුවේ සිටීම එතරම් යහපත් නැත.

මෙවැන්නන් බොහෝවිට පියාගේ මතයට ගරු නොකරන අතර දරදඬුකම නිසා පියාගේ සිත රිදවයි. නමුත් රැකියාවේ දියුණුවට මෙය වරදක් නැත. සහෝදරයන් පිළිබඳ බැලීමේදී කුජ ශනි නැතහොත් ශනි මංගල යෝගය වඩාත් බලපෑම් කරන්නේ තුන්වැන්නේ පිහිටා ඇති විටය. බාල සහෝදර ඵල නොමැති වීම හෝ සහෝදරයන් සමඟ අෑත්වීම සිදුවේ. සහෝදරයන්ට නම් එතරම් ගැටලුවක් නැත.

ලග්න අනුව පලාපල

මෙය එක් එක් ලග්නවලට ප්‍රබල ධන යෝගයක් උදාකරන්නේ පහත ආකාරයට මෙම යෝගය යෙදී ඇති විටය.

මේෂ ලග්නය සඳහා 10 වැන්නේ ශනි කුජ පිහිටා ඇති වීම බලවත් රැකියාවක්ද මහත් ධනයද උපදවයි. රැකියාව බලවත් වීමද මෙම පිහිටීම නිසාම සිදුවන බව පෙනේ.
වෘෂභ ලග්නයට 9 වැන්නේ ශනි කුජ සිටීම ඉතා ප්‍රබල ලෙස ධනය ලබාදේ. බොහෝවිට විදේශවලින් මුදල් ලැබේ. මිථුන ලග්නයට 8 වැන්නේ ශනි කුජ ඇති විට තම උරුම තුළින් ධනය හිමිවේ. කටක ලග්නයට ශනි කුජ 7 සිටීම පුද්ගලයා ධනවතකු කරන්නේය. විවාහයෙන් පසු ධනය ලැබේ. සිංහ ලග්න හිමියන්ට 6 වැන්නේ ශනි කුජ ඇති විට හොඳ පිහිටීමකි. වෛද්‍ය ක්‍ෂේත්‍රයෙන් මුදල් ලබයි.

කන්‍යා ලග්න හිමියන්ට 5 වැන්නේදී මෙය ඇති විට ධනය ලැබේ. තුලා ලග්නයට 4 වැන්නේ කුජ ශනි ඇති විටත්, වෘශ්චික ලග්නයට තුන්වැන්නේ ශනි කුජ ඇති විටත් මෙය උදාවේ. ධනු ලග්නයට දෙවැන්නේ මෙම යෝගය උදා වන අතර ඉතා ප්‍රබල ධන යෝගයකි. බොහෝවිට කථිකත්වයෙන් මුදල් ලබන අතර දක්ෂ නීතිවේදීන් ව්‍යාපාරිකයන් ද බොහෝ විට දක්නට ඇත.

මකර ලග්නයට ලග්න කොටුවේ නැති නම් පළමු කොටුවේ ශනි කුජ සිටීමෙන් මෙම ධන යෝගය උදාවන අතර කෙසේ හෝ මුදල් හොයන ආකල්පය ඇත. කුම්භ ලග්න හිමියන්ට මෙය ඉතා ප්‍රතිඵලදායක යෝගයක් වන අතර 12 වැන්නේ ශනි කුජ සිටින විට මෙය උදා වේ. සංචාරක ක්‍ෂේත්‍රය, විදේශ රැකියා හෝ විදේශිකයන්ගෙන් මුදල් ලැබීම මතින් ධනය ලබයි. මීන ලග්න හිමියන් උදෙසා 11 වැන්නේ ශනි කුජ ඇති විට ප්‍රබල ධනයෝගයක් උදා වන අතර මෙය බොහෝ දුරට ඇත්තේ ප්‍රබල ව්‍යාපාරිකයන්ට මෙන්ම දේශපාලනඥයන්ට වේ. මෙම යෝගය හිමි බොහෝ දෙනා තම ශක්තිය තුළින්ම නැඟී සිට ඇති බව හඳහන් පරීක්ෂාවේදී දත්ත සමඟ පැවැසිය හැකිය. මෙම ග්‍රහ යෝගය ඇති සියලු දෙනාම විවාහය ඉතා පරිස්සමින් කළ යුතුය.

මෙම ශනි මංගල යෝගය හොඳ සහ නරක දෙකම ඇති බව මා මුලින් කියා සිටියේ මෙම කරුණු නිසාය. බොහෝ විවාහ අසාර්ථක වන්නේ තමන්ට නොගැළපෙන කෙනකු සමඟ විවාහ වීම තුළයි. විවාහය සඳහා බලන විට ගතිගුණ පරීක්ෂා කිරීම ඉතා වැදගත්ය. තරමක් කල්පනා කර බැලුවහොත් හොඳ හෝ නරක යැයි සම්මත දේවල් ලෝකය පිළිගනී. පිනට දහමට ඉතා ළැදි අන් අයට උදවු කරන අවිහිංසක ගතිගුණ ඇති ගැහැනු දරුවකුට සුරාව සූදුව සහ සමාජ දූෂණවල නියැළෙන තරුණයකු විවාහ කර දුන්නොත් ඔවුන් අතර සමඟියෙන් විවාහය පැවැතිය හැකිද.

අසීමිත ආශාවන් ඇති තරුණියක සහ කාමය පසු පස නොයන නිවුන ගති ගුණ ඇති තරුණයකු විවාහ වුවහොත් එය ගැළපේද? වැනි කරුණු පිළිබඳ සිතා බැලූවිට මේ සියලු දෙනාටම ගැළපෙන අය ලොව තුළ ඇත. එකම දෙය නිසියාකාරව එය සොයා ගැනීමයි.

අප කතා කරන මෙම යෝගය බොහෝ විට ලෞකික දියුණුව පසුපස දුවන අය බිහි කරවන යෝගයක් නිසා මෙවැන්නන් විවාහ විය යුත්තේ තම අදහස්වලට ගරු කරන එයට උදවු උපකාර කරන තරුණියක් සමඟයි. ගළපා කළහොත් හොඳ ආර්ථික දියුණුවක් සහිත විවාහ ජීවිත මෙවැන්නක් ගත කරන බව අප ඉතා හොඳින් විමර්ශනය කර තිබේ. ඒ නිසා ශනි මංගල යෝගය යනු ඉතා ප්‍රබල යෝගයක් නමුත් මෙවැනි දරුවන් ඇති මවුපියන් දරුවන් හොඳින් තේරුම් ගෙන එයට ගැළපෙන විවාහයක් කර දීම තුළින් මෙම ප්‍රශ්න විසදාගත හැකිය. මෙම ශනි මංගල යෝගය ඇති අය ආදරය සඳහා යෑමට අදහස් කරයි නම් මුලින්ම දක්ෂ ජේ‍යාතීර්වේදියකු ලවා හදහන් පරීක්ෂාව කර ගැනීම මැනවි.


ප්‍රවීණ ජෝතීර්වේදී
ගාල්ලේ රෝහිත අතුරලිය

Gossip Lanka Hot News Previous News Archive