සුජිත් ආදරේට මට කියන්නේ "කුකී" කියලා - Udari Warnakulasuriya

ඉරිදා මව්බිම හද ගැස්ම අතිරේකයට උදාරි රට ගිහින් ඇවිත් ලබාදී ඇති ඇගේ අලුත් විස්තර ටිකක් බලමු
 "උදාරි ලංකාවට ඇවිත්" ඒ ආරංචිය ලැබුණ සැණින්ම අපි උදාරිට කතා කළා. ඒ පුංචි දියණියගේ වගේම උදාරිගේත් අලුත්ම තොරතුරු දැනගන්න. අලුත්ම තොරතුරු විතරක් නෙවෙයි දුවගෙයි, උදාරිගෙයි අලුත්ම ඡායාරූප අපේ කැමරාවට හසුකර ගන්නත් හැකි වුණා. මේ ඇය ඇගේ ජීවිතය ගැන කියන අලුත්ම තොරතුරු.

කවදාද උදාරි ලංකාවට ආවේ?
පසුගිය එකොළොස් වැනිදා දූ පැටියයි මමයි ලංකාවට ආවා.

කෝ සැමියා?
එයාට දිග නිවාඩුවක් ගන්න බෑනේ. එයත් එක්ක ආවොත් අපිට වැඩි දවසක් ඉන්න වෙන්නෙ නැහැ. ඒ නිසා වැඩිපුර දවසක් ලංකාවෙ ඉන්න ඕනෑ නිසා මම දුවත් එක්ක ආවා.


දැන් දුවට මාස කීයද?
මාස හතහමාරයි. ජුනි 29ටනේ අවුරුද්ද සම්පූර්ණ වෙන්නේ.


• දුවගෙ නම මොකක්ද?
ෂෙනාර්යා උමේයිලා විජේරත්න.

• අම්මා කෙනෙක් විදියට ගෙවන ජීවිතය සුන්දරද?
අම්මෝ සුන්දරයි. වචනවලින් කියන්න බැරි තරම්. දුව ඉපදුණාට පස්සේ විතරක් නෙවෙයි එයා මගේ කුසේ ඉන්නකොටත් ඒ ගතකරපු කාලය හරි සුන්දරයි. දැන් හිතෙනවා ආපහු ඒ කාලෙට යන්න තිබුණා නම් කියලා.
• ඒ කාලෙට කාගෙත් ආදරය, සැලකිල්ල ලැබෙන නිසාද?
නෑ. මගේ කුසේ මගේ දරුවෙක් වැඩෙනවා කියලා දැනෙනකොට, එයා දඟලනකොට ඒ දැනෙන හැඟීම වචනවලින් විස්තර කරන්න බෑ.

• ප්‍රසූතියට සිංගප්පූරුවට යන්න හිතුවෙ ඇයි?
මගේ සැමියා සිංගප්පූරුවේ රෝහලක වෛද්‍යවරයෙක්නේ. මම සිසේරියන් සැත්කමට අකැමැතියි. සුජිත්ටත් දරුවා හම්බවෙන වෙලාවේ මගෙ ළඟම ඉන්න ඕනෑ වුණා. ඒ නිසා සුජිත් ඉන්න තැනට යන්න මම කැමැති වුණා. දුව හම්බ වුණේ සුජිත් රැකියාව කරන රෝහලේමයි. මම හරියට ගෙදර හිටියා වගේ. හැමෝම අඳුනනවනේ.

• ඇයි සිසේරියන් සැත්කමට අකැමැති වුණේ?
මගේ දරුවා ලැබෙද්දි ඒ වේදනාව මට විඳින්න ඕනෑ වුණා. මගේ අම්මාට, ආච්චිට ඒ වේදනාව දරන්න පුළුවන් නම් මට බැරි වෙන්න බැහැනේ. මම දවස් තුනක් ඒ වේදනාව වින්දා. අන්තිමට දූ පැටියාගේ මූණ දැක්කම ඒ වේදනාවන් ඔක්කොම අමතක වුණා.

• සුජිත් ළඟ හිටියාද?
අපෝ ඔව්. මං ළඟම හිටියා. ඉස්සෙල්ලාම දුවව අතට ගත්තේ එයා. මටත් දෙන්නෙ නැතුව පැය බාගයක් විතර දුවගෙ මූණ දිහා බලාගෙන හිටියා.

• ලැබුණේ දුවෙක් කියලා දැනගත්තම මොකද හිතුණේ?
සතුටක්, බයක් වගේම ලොකු වගකීමක් දැනුණා. හැම අම්මා කෙනෙක්ටම එහෙම හිතෙනවා ඇති.

• ඇත්තටම උදාරිට දරුවෙක්ගෙ වගකීම ගන්න බයක් හිතුණෙ නැද්ද?
මම දඟකාර, සැහැල්ලු චරිතයක් නිසාද එහෙම ඇහුවේ. බොරු කියන්න ඕනෑ නැහැනේ මටත් පොඩි බයක් දැනුණා.

• දැන් දාංගලේ අඩු ඇති?
නෑනේ. සුජිත් දුවටයි, මටයි කියන්නේ මගේ කෙල්ලො දෙන්නා කියලා. එදා වගේම තාමත් මගේ දාංගලේ අඩු නැතිලු.

• දුවට ආදරේට කතා කරන නම මොකක්ද?
සුජිත් ආදරේට මට කියන්නේ "කුකී" කියලා. මම එයාට කියන්නේ "කුකූ" කියලා. ඒ නිසා අපි දෙන්නා දුවට කියන්නේ "කිකී" කියලා.

• ලංකාවේදී බබාව බලාගන්නේ කවුද?
ඇයි මගේ තාත්තා. දැන් එයාට තිබ්බ ලෙඩ ඔක්කොම හොඳයි. ඔයත් එක්ක කතා කරන මේ වෙලාවෙත් මගේ දුව එයාගෙ සීයා එක්ක ඉන්නේ. මොකද මේ වෙලාවෙ මම ඉන්නේ ජිම් එකේ.

• එහෙනම් හැඩරුව ගැනත් හිතනවා වගේ?
අපෝ ඔව්. නොහිතා කොහොමද? දුව ලැබෙනකොට මගේ බර කිලෝ 85යි. දැන් නම් ගොඩක් අඩුයි.

• උදාරි දරු ප්‍රසූතියෙන් පස්සේ තාම රංගනයට එක්වුණේ නෑ නේද?
නෑ. හැබැයි බන්ඩියට මාස හතරක් වෙනකන් මම රඟපෑවා. සිහින පියාපත් කරනකොටත් මම ප්‍රෙග්නන්ට්නේ. මං නිසා "වන්දනා" ඉක්මනින් ඉවර කරන්නත් වුණා.

• ඉදිරියේදීත් රඟපානවද?
හොඳ නිර්මාණයක් ලැබුණොත් සලකා බලනවා. හැබැයි වැඩිපුර කාර්යබහුල වෙන්න නම් බෑ.

• එහෙම වුණොත් අම්මටයි දුවටයි ලංකාවෙ නතර වෙන්න වෙනවනේ? සුජිත් ඒකට කැමැතිද?
ඉස්සර වගේ සුජිත් අපිව බලන්න ලංකාවට එයි. හැමදාම ෂූටින් නෑනේ. අපිටත් එහෙ යන්න පුළුවන්නේ.

• දුවවත් නිළියක් කරනවාද?
ඒක එයාගෙ කැමැත්ත. සුජිත් වගේම මමත් කැමැතියි එයාට හොඳට උගන්වන්න. හොඳ රස්සාවක් කරන ගමන් රඟපෑවට කමක් නෑනේ.

• පසුගිය කාලේ උදාරි ගැන පැතුරුණු කතා ගැන අද මොකද හිතෙන්නේ?
මම ක්‍රියාවෙන්ම ඒවා බොරු කියලා ඔප්පු කළා. බුද්ධිමත් ප්‍රේක්‍ෂකයෝ ඒ බව දන්නවා.

• ආපහු සිංගප්පූරුවට යන්නේ කවදද?
මාර්තු අන්තිමට වගේ යනවා.

• ආපහු එන්නේ?
ඒ ගැන නම් හිතුවේ නැහැ.


කතාබහ - හිමේෂා සවන්තී රාජපක්‍ෂ
ඡායාරූප - ඉන්දික මල්ලවාරච්චි


උදාරි ගේ ඡායාරූප එකතුවක්  මෙතැනින් බලන්න




Gossip Lanka Hot News Previous News Archive