‘බුද්ධං සරණං ගච්ඡාමි’ ඒ මගේ පි‍්‍රයතම සින්දුව - Udaya Sri Wickramasinghe

මගේ හීනයේ, ඔබ වෙනුවෙන්ම තමා’ යන ගීත ඔස්සේ රසික ආදරය තමා වෙත නැඹුරු කරගනිමින් සංගීත ක්ෂේත්‍රයේ තම අනන්‍යතාව ගොඩනඟා ගත් උදය ශ්‍රී ගේ තෙවන ගීතයත් මේ දිනවල ශ්‍රී ලාංකේය රසිකයන් අතර ඉතාමත් ජනප්‍රියයි.ඉතින් ඔහුගේ ජයග්‍රාහී තෙවන නිර්මාණයත් සමඟ ඔහුගේ සංගීත දිවියේ නව තොරතුර අප හා බෙදා ගන්නට එකතු වුණා.

උදය, ඔබේ අලුත් නිර්මාණය මේ දිනවල අපට අසන්නට ලැබෙනවා. එතැනින් කතා බහ අරඹමු.

’තනිකම හුරු දෙනෙත පුරා’ තමයි මම එළිදැක්වූ තෙවැනි ගීතය. ‘මගෙ හීනයේ’ ගීතයට සම්බන්ධ වූ පිරිසමයි මේ ගීතය නිර්මාණය කරන්නත් දායක වුණේ. පද රචනයෙන් කසුන් පි‍්‍රමාල් සංගීතය සඳරුවන් ජයසිංහ මේකේ රූප රචනය ලහිරු මුදලිගේ.


ඔබේ දෙවැනි ගීතයෙන් ඔබට අවශ්‍ය වුණේ වෙනසක්. මේ අලුත් ගීතයත් එහෙමද?

මේ ගීතයත් ‘මගේ හීනයේ’ ආරටම නිර්මාණය වූවත් සම්භාව්‍ය සංගීත ශෛලියට තරමක නැඹුරුවී තියෙනවා. වයලීනය, බටනලාව වැනි වාදන භාණ්ඩ මෙහි සංගීතය සඳහා භාවිත කරනවා. මුලින්ම අපි ‘ඕඩියෝ’ ට්‍රැක් එක තමයි අවුට් කළේ. පස්සේ ගීතයට ලැබුණු ප්‍රතිචාරත් එක්ක තමයි වීඩියෝ එකත් කරන්න තීරණය කළේ.

නමුත් ‘මගෙ හීනය’ තරම් ඔබේ අනෙක් අනෙක් නිර්මාණවලට එතරම් ප්‍රතිචාර ලැබුණේ නැහැ නේද?

’මගෙ හීනය’ මම කාලයක් ගායනයට විරාමයක් දීලා නැවත සම්බන්ධ වෙනකොට ගායනා කරපු පළමු ගීතයයි. ඒ ගීතය අතිශයින් ජනපි‍්‍රය වුණා. උදය ශ්‍රී කියන ගායකයාට මේ ක්ෂේත්‍රයේ ඔහුගේ අනන්‍යතාව ගොඩනඟා ගන්න ඒ වගේම රසිකයන්ට මම දිගටම මේ ක්ෂේත්‍රයේ ඉඳීවී යන විශ්වාසය ඇති කරන්න එම ගීතය ඉවහල් වුණා.
මගේ ඊළඟ ගීතය ‘ඔබ වෙනුවෙන්ම’... මම නිර්මාණය කළේ ප්‍රාසාංගික බවට හා බටහිර ආරට කැමැති වෙනම රසික පිරිසකටයි. ප්‍රසංග වේදිකාව මට විවෘත වුණේ ‘ඔබ වෙනුවෙන්ම’ තමා ගීතය ඔස්සේ. ඉතින් මේ ගීත තුනම විවිධ අයුරින් රසිකයන් අතර ජනපි‍්‍රය වුණා.

ඔබත් රැල්ලට හසු වූ ගායකයෙක් ද?

ආදර ගීත, විරහ ගීත, බයිලා වැනි රැල්ලට පිටින් ආපු ගීතයක් තමයි ‘තනිකම හුරු’ ගීතය. මෙහි තේමාව විරහව වුණත් වෙනස්කම් තිබෙනවා. රැල්ලට පිටින් ගීත එළිදැක්වීම කිසියම් අභියෝගයක් තමයි.

මේ වන විට මව් ගුණ ගීත, බොදු ගී, පිය ගුණ ගී කිහිපයක්ම මා සතුව තිබෙනවා. නමුත් එක ළඟ ළඟම ගීත එළිදැක්වීමෙන් වෙන්නේ එක ගීතයකට ලැබෙන ප්‍රතිචාර ගීත තුන හතරකට බෙදී යාමයි. අපි හැමෝම අද ඉන්නේ තරගකාරීත්වයක නිසා මේක තරමක අභියෝගයක්.

නමුත් ඔබත් ළඟ ළඟම ගීත කිහිපයක් එළි දැක්වූවා?

ඔව්. අප්‍රේල්වලදී තව නිර්මාණයක් එළිදක්වන්න නියමිතයි. හැබැයි ඒ නිර්මාණයෙන් පසු මම නැවතත් ටික කාලෙකට නිහඬ වෙනවා.

මේ ක්ෂේත්‍රයේ තරගකාරීත්වයක් ගැන ඔබ කතා කළා. එය ඔබට අභියෝගයක් ද?

ඔව්. මේ තරගකාරීත්වය නිර්මාණය වෙලා තියෙන්නෙ, අද මේ ක්ෂේත්‍රයේ වැඩි වන පිරිස සහ නිර්මාණ නිසා. ඉතින් මෙතැනදි අපේ නිර්මාණ ප්‍රමෝට් කරන්න අපි දැනගන්න ඕනේ. හැබැයි මගේ හඬ හිමි මට විතරක් නිසා අභියෝගයක් නැහැ.

කණ්ඩායමකින් ගායන ක්ෂේත්‍රයට පිවිසුණු ඔබ තනි ගමනක් යන්න හිතුවේ ඇයි?

ගොඩක් හේතු තිබුණා. ඒ සාධාරණ හේතු අදාළ පාර්ශ්වවලට දන්වලයි මම අයින් වුණේ. කාගෙවත් ව්‍යාපාරයකට මගේ හඬ විකුණන්නේ නැහැ. ඉතින් මම කාලයක් ගායනය පැත්තට පමණක් විරාමයක් දීලා වෙනත් නිර්මාණවලට සම්බන්ධ වුණා.

‘සෝලෝ සින්ගර්’ කෙනෙක් වෙන්න මම හිතාගෙන හිටියේ නැහැ. ඔය අතරදී තමයි මගේ සමීප මිතුරෙක් ‘මගේ හීනය’ ගීතයට මට ආරාධනා කළේ. ඉතින් ඒ ගීතයේ ජනපි‍්‍රයත්වය මට නැවත රසිකයන් අතරට එන්න පිටිවහලක් වුණා.

සන්දර්ශනවලදී රසිකයන් ඔබේ පෙර ගීත ගායනා කරන්නට ඉල්ලීම් කරන්නේ නැද්ද?

ඕනෑ තරම් ඉල්ලීම් ලැබිලා තියෙනවා. නමුත් මම ඒ කිසි විටෙකත් මොනම හේතුවක් හින්දවත් ඒ ගීත ගායනා කරන්නේ නැහැ. ජනපි‍්‍රයත්වය සහ මුදල් උදෙසා මම කවදාවත් මගේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ. ඒ ප්‍රතිපත්ති සමඟ ආ මේ ගමනේ සාර්ථකත්වය ගැන මම නිහතමානීව සතුටු වෙනවා.

ඔබේ පි‍්‍රයතම ගීතය?

බෙග් මාස්ටර්ගේ ‘බුද්ධං සරණං ගච්ඡාමි’

ඔබේ පි‍්‍රයතම ගායකයා / ගායිකාව

මාක් ඇන්තනි, සෙලීන් ඩියෝන්, ආචාර්ය පණ්ඩිත් අමරදේව, ටී.එම්. ජයරත්න, සෝනි නිගම්, කයිලාෂ්, හරිහරන් වැනි ගායක ගායිකාවන්. මම මේ හැමෝගේම ටෙක්නික්ස් ෆලෝ කරනවා. මේ හැමෝගේම සමමිශ්‍රණයක් ඔස්සේ මම නිර්මාණ බිහි කරන්නේ.

ටානියා මෝසස්

Gossip Lanka Hot News Previous News Archive