ගහන අය නිදහස්‌ ගුටිකාපු අය ගස්‌

කාට කියමුද අපි දොස්!

මාලක සිල්වාගේ නිදහස්‌ වීම රටේ නිදහස සම්බන්ධයෙන් ඇඳ තිබෙන හොඳ චිත්‍රයක්‌ ලෙස ගත හැකිය. 2012 සැප්තැම්බර් නව වැනිදා අලුයම කොළඹ ජායික්‌ හෝටල් සංකීර්ණයේදී බුද්ධි බළකායේ මේජර් චන්දන ප්‍රදීප් සමග මාලක ඇතුළු පිරිස ගැටුමක්‌ ඇති කරගත්තේය. පසුදා පුවත්පත් එහි විස්‌තරාත්මක කරුණු ඇතුළත් කර සිද්ධිය වාර්තා කළේය. එතැනදී පෙනී ගිය කාරණයක්‌ වූයේ මේජර්වරයාගේ හිසට තුවාල සිදුවී තිබූ අතර ගෙලේ තිබූ රන් මාලය කඩාගෙන, ජංගම දුරකථනය ද අස්‌ථානගත කර, කාර් රථයේ යතුර ද ඩැහැගෙන, රාජකාරි ගිනි අවිය ද මාලක ඇතුළු පිරිස සන්තක කරගත් ආකාරය ය. මේ සියල්ල ජායික්‌ හිල්ටන් හි පිහිටා තිබූ සී.සී.ටී.වී. කැමරාවේ සනිටුහන් වී තිබිණි. මාලක සිල්වා හා ඔහුගේ සමීප මිතුරු රොහාන් විඡේරත්න මෙතැනදී ප්‍රධාන සැකකරුවන් බවට පත්විය.

මේජර්වරයා හොඳහැටි පහර කෑමට ලක්‌ව තිබූ බව වෛද්‍ය වාර්තාවේ ද සටහන්ව තිබිණි. පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් ද මෙම සිද්ධිය මේජර්වරයාට මාලක-රොහාන් ඇතුළු පිරිසක්‌ කරන ලද පහරදීමක්‌ ලෙස විස්‌තර කර තිබිණි.


ගැටුමට මුල පුරන්නේ සිගරට්‌ටුවක්‌ය. මේජර්වරයාගෙන් සිගරට්‌ටුවක්‌ ඉල්ලා සිටින්නේ අධික බමන මතින් සිටි මාලකය. සිගරට්‌ටුව ලබාදුන් පසුව ගින්දර ද මාලකට අවශ්‍ය විය. එය ඉල්ලා සිටිය ද මේජර්වරයා සතුව ඒ මොහොතේ ගින්දර නොතිබිණි. ගින්න ඇවිළෙන්නේ එතැනින්ය. සිද්ධිය පිළිබඳව රටේ බරපතළ කතිකාවක්‌ මතු වී තිබිණි. හමුදා බුද්ධි අංශයේ මේජර්වරයාට සිදු වූ අසාධාරණය පිළිබඳව රටම සිත්තැවුලට පත්ව සිටියේය. මාලක හා ඔහුගේ පියාගේ වැඩවල තත්ත්වය සමාජය හොඳින් අඳුනාගෙන සිටි අතර මර්වින්ට ටිකට්‌ එක ඇදෙන්නේ මෙතැනින් යෑයි රටම සිතුවේය. ගින්න පත්තුවෙමින් තිබෙද්දීම, කැලණියේ සමෘද්ධි නියාමකයෙක්‌ දෙනෝදාහක්‌ හා මාධ්‍ය කැමරා ඉදිරිපිට මර්වින් විසින් ගස්‌ බැඳීමේ සිද්ධිය, තමන් කැමැත්තෙන් ගස්‌ බන්දා ගත්තා යෑයි කීවා සේ තමන්ට ඇමැති පුතා පහර නොදුන්නේ යෑයි මේජර් කියා සිටින්නට පටන් ගත්තේය. සිද්ධියෙන් සතියකට පසු සිය නීතිඥයන් මගින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද දිවුරුම් ප්‍රකාශයකින් මේජර්වරයා මෙසේ කියා සිටීම රටට අලුත් කාරණයක්‌ නොවීය. මේජර්වරයාගේ ප්‍රකාශයේ තිත්ත ඇත්ත රටට තවත් හාස්‍යයක්‌ හා පිළිකුලක්‌ එක්‌ කළා පමණය.
දිවුරුම් පෙත්සමකින් එසේ දක්‌වා තිබුණත් මේජර්වරයාගේ ප්‍රකාශය එලෙසම භාරගන්නට අධිකරණය සූදානම් නොවීය. ඒ අනුව 2012 සැප්තැම්බර් 24 වැනිදා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස මේජර්වරයාට අධිකරණය නියෝග කළේය.

සී.සී.ටී.වී. කැමරා තුළ සියල්ල රූගතව තිබියදීත්, වෛද්‍ය වාර්තාවලින් මේජර්වරයා පහරදීමෙන් තුවාල ලබා සිටින බව කියා තිබියදීත් බලය හමුවේ මේජර්වරයා වෙනස්‌ වූ බව කිසිවකුට රහසක්‌ නොවීය.

ඇමැති පුතුගෙන් හා ඔහුගේ මිතුරන්ගෙන් පහර කෑ මේජර් චන්දන ප්‍රදීප් සූරසේන එසේ සිය කොන්ද කඩාගෙන සිටින විට පොලිසියේ කොන්දේ තත්ත්වය පෙන්නුම් කරන සිද්ධියක්‌ ද විය. මාලක අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවක්‌ ඒ මොහොතේ නෛතික ලෙස පොලිසිය සතු විය.

මාලක අත්අඩංගුවට ගැනීමට පොලිසියට වුවමනාවක්‌ තිබුණත් ඔහු සැඟවී ඇති නිසා එය කළ නොහැකි බවට උපකල්පනය කළ හැකි වුවත් මාලක ප්‍රසිද්ධියේ එළියට ඇවිත් කැලණිය විහාරයේ තැන්පත් කර තිබූ සර්වඥ ධාතු වැඳ පුදා ගැනීමත් සමග පොලිසියේ හොරා පොලිස්‌ ගේම රටට පෙනෙන්නට ගත්තේය. පොලිසියේ තරු පටි පැළඳි ඉහළ නිලධාරීන්ගේ සිට විශාල පොලිස්‌ බල ඇණියක්‌ කැලණිය රජමහා විහාරයේ සිටියදීම සර්වඥ ධාතු වැඳ පුදාගෙන තමන්ගේ පාඩුවේ යන තැනට ඇමැති පුතා ප්‍රබල වී සිටීම කැබිනට්‌ ප්‍රකාශක කෙහෙළිය රඹුක්‌වැල්ල දුටුවේ අමුතුම ආකාරයකටය. කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු ප්‍රකාශ කර තිබුණේ එතැනදී මාලක අත්අඩංගුවට ගත්තේ නම් එය ධාතූන් වහන්සේලාට කරන අගෞරවයක්‌ වන්නට තිබුණු බවය.

සිගරට්‌ දී, ගින්දර නොදීම නිසා ඇමැති පුතා නැටූ පිස්‌සුව මගින් රටේ ආයතන ක්‍රියා කරන තත්ත්වය ගැන නැවත වරක්‌ හොඳ පැහැදිලි කිරීමක්‌ ජනතාවට ලබාගැනීමට හැකිවී තිබිණි.

සියල්ල අවසානයේ පසුගිය බදාදා මාලක හා ඔහුගේ මිතුරන් හය දෙනාම උසාවියෙන් නිදහස ලබාගත්තේය. එම නිදහස සඳහා වරපත ලබාදී තිබුණේ නීතිපතිවරයා විසිනි. නීතිපති උපදෙස්‌ අනුව හා සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්‌ටුවේදී මේජර්වරයාට හඳුනා ගැනීමට නොහැකිවීම යන කාරණා හේතුවෙන් මාලක හා යහළුවන් නිදහස හිමිකර ගත්තේය.

රටේ පවතින තත්ත්වය පිළිබඳව එක්‌ ලිට්‌මස්‌ පරීක්‍ෂණයක්‌ ලෙස මෙම සිද්ධිය ගෙන වැඩිවන ලයිට්‌ බිල ගෙවන්නේ කෙසේදැයි කල්පනා කර, මෙගා ටෙලිනාට්‍ය දෙක තුනක්‌ බලා නිදාගන්නවා හැරෙන්නට අප කළ යුත්තේ කුමක්‌ද?

මනෝඡ් අබයදීර - දිවයින පුවත් පතෙනි

Gossip Lanka Hot News Previous News Archive