මගේ ආච්චිත් කොට ගවුම් ඇන්දා - Manik Wijewardana

මීට සති කීපයකට පෙර තිරගතවීම ඇරඹුණු නාලක විතානගේ ගේ “අනිත්‍යා” චිත්‍රපටයේ කෞෂි ඇයයි. ඇය මැණික් විජේවර්ධන. මැණික් ‘අනිත්‍යා’ චිත්‍රපටයේ නිරූපණය කරන්නේ ඉතා අභියෝගාත්මක චරිතයකි. “අනිත්‍යා” මැණික් ගේ පළමු සිනමා රංගනය ද වේ.

* ඇත්තටම ඔබේ නම මැණික් නෙමෙයි නේද?

”ඔව් මගේ නම මැණික් නෙමෙයි. මම පුංචි කාලෙදි මගෙ අම්මයි තාත්තයි මට කතා කරල තියෙන්නේ මැණික් කියලා. මගේ නියම නම නිලංකා ලක්මිණි විජේවර්ධන. දැන් මට හැමෝම කියන්නේ මැණික් කියලා.”

* කොහොමද ඔබ කලාවට එන්නේ?

”පාසල් යන කාලේ මම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා හිටියා. මම දැනගෙන සිටියා මට රංගන හැකියාවක් තිබෙන බව. කලක් මම පෞද්ගලික අංශයේ හෙදියක ලෙස සේවය කළා. ඒ අතරතුරේ නිරූපිකාවක් ලෙස කටයුතු කළා. ඒ කාලේ තමයි මම කලාවට සම්බන්ධ වුණේ.”



* ”අනිත්‍යා” ඔබේ පළමු චිත්‍රපටයද?

”ඔව් “අනිත්‍යා” මගේ පළමු චිත්‍රපටය. මේ චිත්‍රපටයේ රඟපෑමෙන් පසුව මම උදයකාන්ත වර්ණසූරියගේ ‘කොස්තාපල් සෝම’ චිත්‍රපටයේ රඟපෑවා. ඉන්පසුව නාලකගේ දෙවැනි චිත්‍රපටයේ ආරාධිත රංගනයක් කළා. හැබැයි මම ප්‍රතිපත්තියක් හැටියට ටෙලිනාට්‍යවල රඟපාන්නේ නෑ කියන මතයේ මේ වන තෙක් ඉන්නවා.”

* ඇයි ඔබ ටෙලිනාට්‍යවලට අකැමැති; ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයින්ට සමීප වීමට හොඳ මාධ්‍යයක් නෙමෙයිද?

”මට ප්‍රසිද්ධියක් ජනපි‍්‍රයත්වයක් අවශ්‍ය නෑ. මා තුළ තිබෙන රංගන හැකියාව කිසියම් නිර්මාණයකින් ඉදිරිපත් කිරීමටයි මට අවශ්‍ය.

එහෙම නැතිව විශාල නිර්මාණ සංඛ්‍යාවකට දායකවීමේ අවශ්‍යතාවයක් මට නෑ. මම කිසියම් රංගනයක් කරන්නේ ඒ චරිතය මට දැනුනොත් පමණයි. ටෙලිනාට්‍යවලට අකමැති වෙන්න තවත් හේතුවක් තමයි ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණාම හැමදාම ෂූටිංවලට යන්න සිදුවීම. ඒකට මම කැමැති නෑ.”

* ඔබ ‘අනිත්‍යා” චිත්‍රපටයට සම්බන්ධ වුණේ කොහොමද?

”මීට කලකට පෙර මාලක වැලිගෙපොලගේ නිර්මාණයකට මම සම්බන්ධ වුණා. ඔහු මඟින් තමයි මට නාලක විතානගේව හමුවුණේ. ඒ විදියටයි ‘අනිත්‍යා’ චිත්‍රපටයට සම්බන්ධ වුණේ.

* ‘අනිත්‍යා’ චිත්‍රපටයේ කෞෂි ඔබ දකින්නේ කොහොමද?

”කෞෂි මේ සමාජයේ ඉන්න කෙනෙක්. ඇය පිළිකා රෝගියෙක්. අපේ සමාජයේ ජීවත් වන බොහෝ දෙනෙක් තමන්ගේ ඇතුළත ජීවිතය ගැන සමාජයට හංගනවා. විශේෂයෙන් ම පිළිකාවක් වැනි රෝගයක් ඇතිවූ පසුව එය සමාජයෙන් සඟවන්න උත්සාහ කරනවා. කෞෂි එහෙම නෑ. ඇය ඉතාම සැහැල්ලුවෙනුයි ජීවිතය දෙස බලන්නේ.”

* මැණික් ඔබ මොනවගේ කෙනෙක් ද?

”මම බොහොම විවෘත කෙනෙක්. කියන්න තියෙන දේ කෙළින්ම කියෙනවා. එච්චරයි.”

* ‘අනිත්‍යා’ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න පෙර ඒ චරිතය පිළිබඳව ඔබ ඔබේ පවුලේ අය සමඟ කතා කළා ද?

”නාලකගේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ඉස්සර වෙලා චිත්‍රපට දෙක තුනකටම මට කතා කළා. නමුත් මම ඒවා බාර ගත්තේ නෑ. ඒ; එම චරිත මට දැනුණේ නැති නිසා. නමුත් ‘අනිත්‍යා’ චිත්‍රපටයේ කෞෂිගේ චරිතයට මට හිත ගියා. මම එහි පිටපත මගේ අම්මටයි තාත්තටයි පෙන්නුවා. එහි ඇතැම් දර්ශනවලට අම්මයි තාත්තයි අකැමැති වුණා. එහිදී නාලක ඒ පිළිබඳව පහදල දුන්නා. පසුව මගෙ දෙමව්පියන් මේ රංගනයට කැමැති වුණා.”


* කෙටි ඇඳුම් ඇඳගෙන සිටින දර්ශන, දුම්බොන දර්ශන, බියර් බොන දර්ශන “අනිත්‍යා” චිත්‍රපටයේ තිබෙනවා. එම දර්ශන රඟපෑම ඔබට ගැටලුවක් වුණේ නැතිද?

”කොට ඇඳුම් අඳීන දර්ශන නම් මට ගැටලුවක් වුණේ නෑ. අද සමාජයේ පමණක් නෙමෙයි මීට කලකට පෙරත් කාන්තාවන් කොටට ඇන්ඳා. මගෙ අම්මයි ආච්චියි දෙන්නමත් කොට ඇඳුම් ඇඳල තියෙනව. ඒ පිංතූර තාම අපි ළඟ තියෙනව. 70 දශකයේ චිත්‍රපටවල කෙටි ඇඳුම් ඇඳපු දර්ශන ඕනතරම් තිබුණා. ඒක කලින්කලට එන විලාසිතාවක්. බියර් බොන දර්ශනවලදි මම

බිව්වේ සිසිල් බීම. හැබැයි සිගරට් බොන එක මට ගැටලුවක් වුණා.

සිගරට් දුම මට දරාගන්න බැරි වුණා. ඒ දර්ශනය චිත්‍රපටයට අවශ්‍ය එකක්. ඒ නිසා මට ඕන වුණා ඒ දර්ශනය ස්වාභාවික අයුරින්ම කරන්න. එතැනදි අපේ නිෂ්පාදන කණ්ඩායමේ අයිය කෙනෙක් සිගරට් එකක් උරන විදිය මට කියල දුන්නා. මම ඒක හොඳින් කළා. මට ඕන වුණේ මගේ රඟපෑමෙන් චිත්‍රපටයට සාධාරණයක් කරන්න. ඇතැම් කෙටි ඇඳුම් ඇඳගෙන පිරිසක් ඉස්සරහ රඟපෑමේදී මට යම් අපහසුවක් දැනුණා. නමුත් ඒ ගැන මම වැඩිය හිතුවේ නෑ.”

* ඔබ රඟපාන්නෙ රැකියාවක් ලෙස ද විනෝදාංශයක් ලෙස ද?

”විනෝදාංශයක් ලෙස”

* දිගටම ඔබ රඟපානවද?

”ඒක කියන්න බෑ. මගේ රංගන ජීවිතය අද ඉවරවෙයිද ලබන අවුරුද්දේ ඉවරවෙයිද කියල කියන්න බෑ.”

* ඔබ ටෙලිනාට්‍ය නරඹනවද?

”අද නරඹන්න ටෙලිනාට්‍ය නෑ. එකම නළු නිළියො පිරිසක් තමයි හැම ටෙලිනාට්‍යයකම ඉන්නේ. ඒ නිසා ටෙලිනාට්‍ය වෙන්කරල හඳුනාගන්නත් බෑ. ඒ නිසා මම ටෙලිනාට්‍ය නරඹන්නේ නෑ.”

* ඔබේ පවුලේ කවුද ඉන්නේ?

”මම පවුලේ වැඩිමලා. මට නංගිලා තුන් දෙනෙක් ඉන්නව. මල්ලියෙකුත් ඉන්නව. තාත්ත ව්‍යාපාරිකයෙක්. අම්මත් රැකියාවක් කරනවා.”

* කවුද ඔබේ පෙම්වතා?

”ඔහු අශෝක රන්දෙණිය. ඔහු ව්‍යාපාරිකයෙක්. අපි ළඟදි විවාහ වෙනවා.”

* ඔහු “අනිත්‍යා” නැරඹුවාද?

”ඔව් ඔහු නැරඹුවා. විශාල ගැටලුවක් වුණේ නෑ. ඔහු හොඳ විවෘත මනසක් තියෙන කෙනෙක්.”

* ඔබ චරිතයක් බාර ගැනීමේදී විශේෂ තෝරා බේරා ගැනීමක් කරනවාද?

”මෙහෙමයි; විශේෂයෙන් තෝරා බේරා ගෙන රඟපාන්න තරම් නිර්මාණ අපේ රටේ බිහිවෙන්නේ නැහැනේ. “බොලිවුඩ්” වල හරි “හොලිවුඩ්” වල හරි සිටියා නම් එහෙම කරන්න තිබුණා. මම රඟපාන්නේ මට චරිතය දැනුණොත් පමණයි.

ගාමිණී සුසන්ත

Gossip Lanka Hot News Previous News Archive