බේරේ වැවේ මාළුන්ට හා ඉබ්බන්ට මාළු පාන් - Hemakumara Nanayakkara

විදුලිබිල වැඩි කිරීමට එරෙහිව විපක්ෂය සංවිධානය කළ විරෝධතාවට එරෙහිව ආණ්ඩුව සංවිධානය කළ විරෝධයට සහභාගි වන අය සඳහා මාළු පාන් ලක්ෂයක් ඇණවුම් කර තිබූ නමුත් එයට ආවේ 3000ක් පමණ බැවින් ඉතිරි මාළු පාන් බේරේ වැවේ මාළුන්ට හා ඉබ්බන්ට දමා තිබූ බව මව්බිම ජනතා පෙරමුණේ නායක හේමකුමාර නානායක්කාර මහතා පවසයි.

විපක්ෂයේ විරෝධය විසින් අද (19) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.ඉකුත් 15 වැනිදා සංවිධානය කළ එකී උද්ඝෝෂණයට බත් කන 12,000ක් කැම්බල් පිටියට එක්වූ බවත් තණකොළ කන 3000ක් ලේක්හවුස් වටරවුමට එක්ව සිටි බවත් හේමකුමාර නානායක්කාර මහතා කීවේය.දේශීය අපනයන කර්මාන්තය කඩා වැටී ඇති බවත් ඇමති මහින්ද සමරසිංහ ජිනීවාවලත්, ඇමති දයාශ්‍රිත තිසේරා ජිනීවා, කොළඹ හෝ හලාවතද නැති බවත් ඔහු පැවසීය.තේ, රබර්, පොල් කර්මාන්තය සම්පූර්ණයෙන්ම අනතුරේ බවත්, රබර්වලින් අය කරන සෙස් බද්ධට සිදුවන්නේ කුමක්ද යන්නත් එය ජනපති ඇතුළු බහිරවයන් ගිලින බවත් හෙතෙම කීවේය.

මාධ්‍ය හමුව ඇමතු එජාප මන්ත්‍රී ජෝසප් මයිකල් පෙරේරා පැවසුවේ විදුලිබිල වැඩිකිරීමට එරෙහි ලබන 21 වර්ජනය තාවකාලික ක්‍රියාමාර්ගයක් පමණක් බවයි.විදුලිබිල වැඩි කිරීම නිසා කර්මාන්ත ශාලාවල නිෂ්පාදන ක්ෂේත්‍රය කඩා වැටී අපනයන කර්මාන්තය බිඳ වැටී ඇති බව ඔහු කීවේය.එම මාධ්‍ය හමුවේදී නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා කියා සිටියේ ලබන 21දා රත්මලාන බෙලෙක් කඩේ හන්දියේ සිට ගල්කිස්ස දක්වා විරෝධතා පා ගමනක් සංවිධානය කර ඇති බවයි.

ඊයේ යුද ජයග්‍රහණය සැමරුව ද යුද්ධයට දිවි පිදූ, තුවාල ලැබූ රණවිරුවන් ගැන කතා නොකළ බවද දෙමළ ජනතාවට යුද්ධයේදී මිය ගිය පුද්ගලයින් සිහිකිරීමට ඉඩනොදී ඔවුන් අත්අඩංගුවට ගැනුණු බවද වික්‍රමබාහු කරුණාරත්න මහතා කීවේය.මාධ්‍ය හමුව ඇමතු කම්කරු ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පී. දිගම්බරම් පැවසුවේ යුද ජයග්‍රහණය මහ ඉහළින් සැමරුවද ඊට මුල්වූ සරත් ෆොන්සේකා ගැන වචනයක් කතා නොකළ බවයි.

ඊයේ විජයග්‍රහණයේ සැමරුමට වැය කළ විශාල මුදල යුද්ධයේදී ආබාධිත රණවිරුවන් වෙනුවෙන් වැය කිරීමට තිබූ බවද ඔහු පෙන්වාදුන්නේය.ගුවන් යානා එන්ජින් ගෙනඒමට රුපියල් බිලියන 312ක් වැය කරන බවද, පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුව සඳහා අලුතින් මිලදී ගන්නා කාර්වලට වැය කරන මුදල් සමෘද්ධියට හා ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමට වැය කළ හැකි බවද ඔහු කීවේය.එසේ ගන්නා කාර්වලට සිදුවන්නේ කුමක්ද බවත් ඒවා කුමාරවරුන්ට පැදීමට දෙන්නේ ද යන්නත් ඔහු ප්‍රශ්න කළේය.

දැයට කිරුළ පැවැත්වූ බුත්තල ඔයා මඩුව දැන් කැලයක් බවට පත්ව ඇතැයිද ඔහු වැඩිදුරටත් කීවේය.සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසීම නිසා දිනකට රුපියල් කෝටි 5ක පාඩුවක් වන බවත් එහි කටයුතු යළි ඇරඹීමට රුපියල් කෝටි 50ක් වැය වන බවද එම මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරිණ.

Gossip Lanka Hot News Previous News Archive