මැන්ඩෙලා ගැන අවසන් තීරණය පවුලේ අය අතේ

දකුණු අපි‍්‍රකා හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා සති දෙකකට ආසන්න කාලයක් සිහිසුන්ව දිවි සුරැකීමේ යන්ත‍්‍රයකට සම්බන්ධ කරනු ලැබ සිටින බැවින් ඔහු ගැන අවසන් තීරණයක් ගත යුත්තේ ඔහුගේ පවුලේ අය යැයි වෛද්‍යවරු පවසති.

 මැන්ඩෙලාට ප‍්‍රතිකාර කරන ජොහැන්නස්බර්ග් නුවර වෛද්‍යවරුන් පවසන්නේ, සිහිසුන්ව සිටින මැන්ඩෙලා මේ වනවිට ජීවත් වන්නේ එම යන්ත‍්‍රයේ ආධාරයෙන් බවත් කොතරම් කල් ගියත් ඔහුගේ තත්ත්වය යහපත් නොවනු ඇති බවත්ය. දිවි සුරැකුම් යන්ත‍්‍රය අකි‍්‍රය කර ඔහුට මිය යෑමට ඉඩ දෙන්නේ නම් එය තීරණය කළ යුත්තේ ඔහුගේ පවුලේ අය බව වෛද්‍යවරුන් ප‍්‍රකාශ කළේ ඊයේ (27) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි. දකුණු අපි‍්‍රකාවේ වර්ණභේදවාදය තුරන් කිරීමේ පුරෝගාමියා ලෙස කටයුතු කළ නෙල්සන් මැන්ඩෙලා (94) රෝහල් ගත කෙරුණේ, පෙනහලූ ආසාදනයකට ලක් වීමෙනි.

රෝහල් ගත කෙරුණු අවස්ථාවේ ඔහුට කඩිනමින් ප‍්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරු කි‍්‍රයා කළහ. වෛද්‍යවරුන් එම අවස්ථාවේ කියා සිටියේ අවශ්‍ය ප‍්‍රතිකාර ලබා දීමෙන් පසු මැන්ඩෙලාගේ සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍ය වූ නමුත් ස්ථාවර තත්ත්වයකට පත් වූ බවය. කෙසේ නමුත් මීට දින දෙකකට පසු ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය තවත් නරක අතට හැරුණි. සුදු ජාතික සුළුතරය විසින් දකුණු අප‍්‍රිකාව පාලනය කළ සමයේ ඊට එරෙහිව කළු ජාතිකයන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නැගූ මැන්ඩෙලා නිහඬ නමුත් එඩිතර දේශපාලන කි‍්‍රයාකාරියෙක් විය.

කළු ජාතිකයන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නැගීමේ වරදට ඔහුට 27 වසරක් දකුණු අපි‍්‍රකාවේ රොබන් දූපතේ සිරගත කෙරුණි. මැන්ඩෙලා පෙනහළු ආශි‍්‍රත රෝගී තත්ත්වයකට ගොදුරු වූයේ එසේ සිරගතව සිටිද්දී ගල්වලක සේවයට යෙදවීමෙනි. මැන්ඩෙලා උපත ලැබුවේ 1918 වසරේ ජූලි 18 වැනිදාය.

හිරෙන් නිදහස් වීමෙන් පසු, අපි‍්‍රකානු ජාතික කොංග‍්‍රසය පක්ෂයට නායකත්වය දෙමින් ඔහු දකුණු අපි‍්‍රකාවේ ජනපති ධුරයට ඉදිරිපත් වී විශිෂ්ඨ ජයක් හිමිකර ගත්තේය. ඒ, 1994 වසරේදීය. 1999 වසර තෙක් දකුණු අපි‍්‍රකාවට නායකත්වය දුන් මැන්ඩෙලා දකුණු අපි‍්‍රකාවේ පළමු කළු ජාතික ජනපතිවරයා ද වෙයි.

Gossip Lanka Hot News Previous News Archive