සැමියා ගෙඩි කෑ තහනම් ගහට බිරිය යුතුකම් ඉටු කරයි

ඇය රන්මසු සොයා මැදපෙරදිග රටකට ඉගිළ ගියේ සිය පැටවුන් දෙදෙනා සැමියාට භාර කරමිනි. දින, සති, මාස ලෙස කාලයත් ඉගිළ යන්නට විය. බිරිය නොමැති නිසා පාළුව, කාන්සිය සැමියා තුළ රජයන්නට විය. ඊටත් වඩා කාමාග්නියෙන් හේ දැවෙන්නට විය. මේ අග්නිය වහ වහා නිවා දැමිය යුතු බව ඔහු සිතීය.

මේ කාමාග්නිය නිවා දැමීමට නම් තහනම් ළිඳකින් වතුර සපයා ගැනීම හැර අන් මඟක් නැති බව ඔහුට අවබෝධ විය. ඒ සඳහා සුදුසු ළිඳක්ද අහල පහළම තිබිණි. ළිඳේ හිමිකරු ළිඳ අත්හැර ගොස් බොහෝ කල්ය. හේ තහනම් ළිඳෙන් වතුර බීමට ඇබ්බැහි විය.කල් ඉකුත් විය. බිරිය රන්මසු පොදි බැඳගෙන නිවෙසට ආවාය. ගෙවුණේ දින කීපයකි. සැමියාගේ කල්කිරියාව යහපත් නොවන බව ඇයට දැනිණි. ඔහු අනියම් පෙමක පැටලී සිටියා පමණක් නොව එහි ප්‍රතිඵලයක් ලෙස සැමියාට දාව අනියම් බිරියට දරුවකුද ලැබී ඇති බව ඇය දැනගත්තාය. 'මාලිගය' ගොඩනැඟීමට එවූ මසුරන්ද අනියම් බිරිය වෙනුවෙන් වැය කොට ඇති බවද දැක්කාය.

 මේ අවනඩුව පොලිස් පොතේ සටහන් කිරීමට රට ගිය බිරිය පොලිසියට පැමිණියාය. සිද්ධවී ඇති අලකලංචිය පොලිසියට පවසා මේ හෙයියම්මාරුවෙන් තමා මුදා ගන්නා ලෙස ඇය පොලිසියෙන් ඇයැද සිටියාය.පැමිණිල්ලට අනුව සැමියාත්, ඔහුගේ අනියම් බිරියත්, පැමිණිලිකාර බිරියත් පොලිසියට කැඳවූහ. විවිධ පැමිණිලි අංශයේ නිලදරුවා කරුණු කාරණා විමැසීය. අනියම් බිරියත්, කසාද බිරියත්, සැමියා තනි අයිතියට ගැනීමට කරුණු ඉදිරිපත් කළහ.
තහනම් ළිඳේ වතුර බීමට ගිය සැමියා ගිරයට හසු වූ පුවකක් මෙන් බිරියන් දෙදෙනා අතර හිරවිය. ඔහුට පාර්ශ්වයක් ගැනීමට නොහැකිව තතනනා විට පොලිසිය ප්‍රකාශ කෙළේ නීත්‍යනුකූල බිරියගේ නිවෙසේ සිට ඇයටත්, දරුවන්ටත් සලකාගෙන අනියම් බිරියට ඔහු නිසා ලැබුණු දරුවාටද එලෙසින්ම සලකමින් ආරවුල් ඇති නොකොටගෙන ජීවත් වන ලෙසය. දරුවන් වෙනුවෙන් කැපකිරීම් කළයුතු බව තේරුම් ගත් ඔහුගේ නීත්‍යනුකූල බිරියද ඊට අනුකූලතාව දැක්වූයේ ඔව්! සර් ඒ ගෑනිත් ගෑනියෙක්, ඒ දරුවත් දරුවෙක් කියමිනි.

Gossip Lanka Hot News Previous News Archive