චැම්පියන්ස් කුසලාන තරගාවලිය හෙට ඇරැඹේ - The ICC Champions Trophy 2013

ලොව සුපිරිතම ක්‍රිකට් කණ්ඩායම් අට අවසන් වතාවට සහභාගි වන චැම්පියන්ස් කුසලාන තරගාවලිය එංගලන්තය හා වේල්සයේදී හෙට (6) ආරම්භ වෙයි. සුළං සහිත ශීත දේශගුණයක් ඇති එංගලන්තයේ පැවැත්වෙන මේ තරගාවලියේ මූලික වටය ම ශ්‍රී ලංකාව ට ඉතාමත් ප්‍රබල අභියෝගයක් වී තිබේ. තරගාවලියේ ‘ඒ’ කොටසට අයත්ව සිටින ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වී සිටින්නේ වර්තමාන චැම්පියන්ස් කුසලාන ශූරයන් වන ඔස්ට්‍රේලියාව, සත්කාරක එංගලන්තය හා නවසිලන්තය ය.

තරගාවලියේ ඉදිරියට යාමේ බලාපොරොත්තු ඇති කර ගැනීමට නම් ශ්‍රී ලංකාව මූලික වටයේ තරග තුනේදී මේ කණ්ඩායම් දෙකක් පරාජය කළ යුතුව තිබේ. තරගාවලිය ආරම්භයේදීම මෙවැනි ප්‍රතිවාදී කණ්ඩායම්වලට මුහුණ දීමට සිදුව තිබීම ශ්‍රී ලංකාව ට මහත් අවාසියකි.වේග හා ‘ස්වින්ග්’ පන්දුවලට හිතකර එංගලන්ත තණතීරු මේ ප්‍රතිවාදීන් ට නම් හොඳින් හුරුපුරුදු ය. දේශගුණික තත්ත්වයන් කොයිහැටි වෙතත්, ශ්‍රී ලංකාව යනු එක්දින ක්‍රිකට් තරග බිමේ පෙරුළිකාර කණ්ඩායමකි. මේ ශෛලියේ ක්‍රීඩාවේදී ඔවුන් වරක් ලෝක ශූරයන් වූවා පමණක් නොව කිහිප අවස්ථාවකදීම අනු ශූරයන් ද වී සිටිති. මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු ගැටුම නවසිලන්තය සමග ය. එය ලබන 9 වැනිදා වේල්සයේ කාඩිෆ් නුවරදී පැවැත්වේ. මූලික වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අනෙක් තරග දෙක ම දිවා රාත්‍රි තරග වෙති.

එංගලන්තය ට එරෙහි තරගය 13 වැනිදාත්, ඔස්ට්‍රේලියාව ට එරෙහි තරගය 17 වැනිදාත් ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත. ජ්‍යෙෂ්ඨයන් හා තරුණයන්ගේ සංකලනයකින් යුත් ඇන්ජලෝ මැතිව්ස්ගේ කණ්ඩායම පසුගිය 27 වැනිදා එංගලන්තයට ගියේය. මෙවැනි පරිසරයක ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර අවසන් වතාවට එක්දින තරගවල නියැලුනේ පසුගිය ජනවාරි මාසයේ දී ය. ඒ, ඔස්ට්‍රේලියානු සංචාරය තුළදීය. චැම්පියන්ස් තරග බිමේදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් අවශ්‍ය දේ කරනු ඇතැයි යන්න ශ්‍රී ලංකා කඳවුරේ බලාපොරොත්තුව යි. එහෙත් මේ සංචාරයට පෙර පැවැති අයි.පී.එල්. තරගවලදී තිලකරත්න ඩිල්ෂාන්, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් හා නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු ලබා ගැනීමට අසමත් වූහ.


ඉන්දියා ප්‍රිමියර් ලීග් තරග බිමේ ශ්‍රී ලංකා ධජය සාර්ථකව රැගෙන ගිය එක ම ක්‍රීඩකයා වූයේ තුන් ඉරියව්වේන්ම කැපී පෙනෙන තිසර පෙරේරා ය. චැම්පියන්ස් කුසලාන තරගවලදී ද ඔහු මේ දස්කම් දිග ට ම පවත්වා ගෙන යනු ඇතැයි යන්න ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ අපේක්ෂාවයි. පන්දු යැවීම අතින් ශ්‍රී ලංකාවට අවසන් මොහොතේදී ඔවුන්ගේ සංචිතයේ වෙනසක් සිදු කිරීමට සිදුවිණි. වේග පන්දු යවන චානක වෙලගෙදර ආබාධයකට ලක්වීම ඊට හේතුව විය. ඔහු වෙනුවට, තවත් වේග පන්දු යවන්නකු වන දිල්හාර ලොකුහෙට්ටිගේ සංචිතයට ඇතුළත්ව සිටී. ඔහු දැන් අනෙකුත් විශාරද වේග පන්දු යවන්නන් වන ලසිත් මාලිංග, නුවන් කුලසේකර හා ශමින්ද එරංග සමග එංගලන්ත සංචාරයට එක්ව සිටී.

බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව, පාකිස්තානය හා දකුණු අප්‍රිකාව තරගාවලියේ ‘බී’ කොටසට අයත්ව සිටිති. මෙවර චැම්පියන්ස් කුසලාන තරගාවලියේ සම්පූර්ණ තරග සංඛ්‍යාව 15කි. වේල්සයේ කාඩිෆ්, ලන්ඩනයේ ඕවල් හා බර්මිංහැම් හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණ තුනේදී මේ තරග පැවැත්වේ. චැම්පියන්ස් කුසලාන තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව මෙතෙක් මුහුණ දී තිබෙන තරග සංඛ්‍යාව 20කි. එයින් තරග 11ක් ජය ගෙන ඇති ශ්‍රී ලංකාව තරග 7කින් පරාජය වී තිබේ. තරග දෙකක් ප්‍රතිඵලයකින් තොරව නිමා වී තිබේ.


2013 චැම්පියන්ස් කුසලාන තරග සටහන
(ශ්‍රී ලංකාවේ වේලාවෙන්)
ජූනි 6 ප.ව.3.00 ඉන්දියාව – දකුණු අප්‍රිකාව කාඩිෆ්
ජූනි 7 ප.ව.3.00 පාකිස්තානය – බටහිර ඉන්දීය කොදෙව් ලන්ඩන්
ජූනි 8 ප.ව.3.00 එංගලන්තය – ඔස්ට්‍රේලියාව බර්මිංහැම්
ජූනි 9 ප.ව.3.00 ශ්‍රී ලංකාව – නවසිලන්තය කාඩිෆ්
ජූනි 10 ප.ව.5.30 පාකිස්තානය – දකුණු අප්‍රිකාව (දිවා/රාත්‍රි) බර්මිංහැම්
ජූනි 11 ප.ව.3.00 ඉන්දියාව – බටහිර ඉන්දීය කොදෙව් ලන්ඩන්
ජූනි 12 ප.ව.3.00 ඔස්ට්‍රේලියාව – නවසිලන්තය බර්මිංහැම්
ජූනි 13 ප.ව.5.30 ශ්‍රී ලංකාව – එංගලන්තය (දිවා/රාත්‍රි) ලන්ඩන්
ජූනි 14 ප.ව.3.00 දකුණු අප්‍රිකාව – බටහිර ඉන්දීය කොදෙව් කාඩිෆ්
ජූනි 15 ප.ව.3.00 ඉන්දියාව – පාකිස්තානය බර්මිංහැම්
ජූනි 16 ප.ව.3.00 එංගලන්තය – නවසිලන්තය කාඩිෆ්
ජූනි 17 ප.ව. 5.30 ශ්‍රී ලංකාව – ඔස්ට්‍රේලියාව (දිවා/රාත්‍රි) ලන්ඩන්
ජූනි 19 ප.ව.3.00 පළමු අවසන් පූර්ව තරගය ලන්ඩන්
ජූනි 20 ප.ව.3.00 දෙවැනි අවසන් පූර්ව තරගය කාඩිෆ්
ජූනි 23 ප.ව.3.00 අවසාන තරගය බර්මිංහැම්

Gossip Lanka Hot News Previous News Archive