ක්‍රෙඩිට් කාඩ් වංචාව මට ගහපු මඩක් - Maneesha Shyamali

මනීෂා ශ්‍යාමලී මේ දිනවල ඉන්නේ දැඩි මානසික ප්‍රශ්නයක පැටලිලා. ඒකට හේතුව හැටියට ඇය කියන්නේ අභූත චෝදනාවක් නිසා තමන් අපහසුතාවයට පත් වී සිටිනවා කියලයි. අප මේ පිළිබඳව කතා කරන්න හිතාගෙන ඇය එක්ක එකතු වුණා.

මොකක්ද මනීෂා මේ ප්‍රශ්නය?

ඇත්තම කියනවා නම් මේ ප්‍රශ්නය මූලික කරගෙන මාව අපහසුතාවයට පත් කළ අය එහි ඇත්ත නැත්ත කිසිවක් හොයා බලන්නේ නැතිව තමයි චෝදනා කොට තිබෙන්නේ.

මට වුණේ වඳින්න ගිය දේවා‍ලේ ඉහේ කඩන් වැටුණා වගේ දෙයක්. මම වරදක් කරලා නැහැ. ඒක මම දන්නවා. ඒ වගේම මගේ ස්වාමිපුරුෂයා සරත් නාමල්ගම පවා ඒක දන්නවා. මේ කියන පුද්ගලයා දැන් මිය ගිහින්. ඔහු ජීවත්ව සිටි කාලයේ සරත් සහ මම එකතු වෙලා තමයි අසනීප වූ විට බෙහෙත් හේත් පවා අරන් දුන්නේ. කොහේහරි ලෝකයක ඉඳගෙන බලාගෙන ඉන්නවා නම් ඔහු මේ අවනඩුව ගැන හොඳින් වටහාගෙන ඇති.


කවුද මේ පුද්ගලයා.......? ඔබ ඔහුගේ ක්‍රෙඩිට් කාඩ් පත ළඟ තබාගෙන සිටියේ නැද්ද..?

මේ තැනැන්තා හුඟාක් වයසක කෙනෙක්. ජීවත් වුණේ පිටරට. ඉතින් ලංකාවට ආ අවස්ථාවල අපේ ගෙදරත් එනවා. අපි එක්ක හරිම හිතවත්.

මෑතකදී ලංකාවට ආ විටත් පෙර විදිහටම අපේ ගෙදර ආවා. අපි හොඳින් සැලකුවා. ඉන්පස්සේ තමයි ඔහු අසනීප වුණේ. ඉතිං ඒ වෙලාවේ අපි ඔහුව ඉක්මනින්ම රෝහලක් කරා ගෙන ගියා. ඒ ගිය වෙලාවේ ඔහුගේ බෙහෙත්වලට හා ප්‍රතිකාරවලට මුදල් වුවමනා වෙලා මුදල් අරන් දුන්නා. ඒක ඔය කියන විදිහේ ලක්ෂ ගානක් නමෛයි. පුංචි මුදලක්.
අනික ඔය කියන විදියට ඒක ක්‍රෙඩිට් කාඩ්පතක් නමෛයි. ATM කාඩ්පතක්. ඒ කියන්නේ මුදල් ලබා ගන්නා කාඩ්පතක්. ඒකේ මුදල් අරන් තිබෙන්නෙත් ඔහු රෝහ‍ලේ සිටියදී ප්‍රතිකාර සඳහාම පමණයි.
ඉතිං මේ කාරණය මුල් කරගෙන තමයි මට අපහාස වන ආකාරයට ලොකු මඩ ප්‍රචාරයක් දියත් කර තිබෙන්නේ. මේක ගැන මට තිබෙන්නේ පුදුමාකාර හිත් වේදනාවක්. මම කවදාවත් වංචා කරලා නැහැ. කාගෙවත් දේවල් අරගෙනත් නැහැ. ඉතිං හොයලා බලන්නේ නැතිව, අඩුම තරමින් මගේ පැත්තෙන් මොකක්ද වුණේ කියලා අහන්නෙවත් නැතිව ඒක පාර්ශ්වීය විදියට චෝදනා කිරීම හොඳ නැහැ.

දැන් මොකක්ද ඔබ මේ සම්බන්ධව කරන්න හිතාගෙන ඉන්නේ?

මම උසාවියෙන් මේ පිළිබඳව සාධාරණය අපේක්ෂා කරනවා. ඒ වගේම මට කළ අපහාසයට නීති මගින්ම කටයුතු කරනවා. ඒ කොහොම වුණත් මම මේ වගේ අපහාස කරන අයගෙන් ඉල්ලන්නේ එක දෙයයි. තමන්ට හරිය කියලා හිතන දේ ලියන්න එපා. එහෙම චෝදනා කරන්නත් එපා. හැම පැත්තක්ම බලන්න. කෙනෙකුගේ චරිතය ඝාතනය කළාට පස්සේ කෝටි 500 ක වන්දියක් ලැබුණත් වැඩක් නැහැනේ. අනික මම කාටවත් කරදරයක් වන විදිහට ජීවත් වන කෙනෙක් නමෛයි.

මනීෂා කලා ජීවිතය පැත්තෙන් මොනවද මේ දවස්වල ඔබ කරන්නේ ?

මම මේ දවස්වල දකුණු ඉන්දියානු චිත්‍රපට කර්මාන්තය හා සම්බන්ධ වැඩකටයුතු කීපයකට දායකත්වය ලබාදී තිබෙනවා. විශේෂයෙන්ම ලංකාව ඇතුළේ සිදුකරන රූපගත කිරීම් හා ශිල්පී සම්බන්ධීකරණ වැඩකටයුතු තමයි මම කරන්නේ.

පවුල් ජීවිතය කොහොමද?

වරදක් නැහැ. අපි දෙන්නා හොඳින් ඉන්නවා. මගේ සැමියා සරත් නාමල්ගම හැමෝටම වැඩිය හොදින් මා ගැන දන්න නිසා ප්‍රශ්න නැහැ. මට විරුද්ධව එන අභූත චෝදනා ගැන එයා නොදැන සිටියා නම් තමයි ප්‍රශ්නේ. ඔහු හොදින් මේ හැමදෙයක් ගැනම දන්නවා.

කලාකාරිනියක් වීම ගැන සතුටුද?

එහෙම අසතුටක් නැහැ. මොනම ක්‍ෂේත්‍රයක හිටියත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. වෙනස ජනප්‍රිය කලාකාරිනියක් වුණාම පුංචි දෙයක් වුණත් ඒක ප්‍රසිද්ධ වෙන එක ගැනයි. අපි අතර ඉන්න බොහෝ අය තුළ පෙනෙන සුන්දරත්වය ඇතුළත නැහැ. ඔවුන් පුංචි දෙයක් ආරංචි වුණත් ඒක මහා ලොකු දෙයක් විදිහට ආරංචි පතුරුවලා අපහාස කරන්නයි බලන්නේ. මේ සිද්ධිය වෙලාවේදීත් මම කල්පනා කළේ මම වගේ පුංචි නිළියකගේ දෙයක් ලොකු කරගෙන ඊට ප්‍රචාරය දුන්න විදිහ ගැනයි. අනික වරදක් වෙලා නම් කමක් නැහැ.
ඒත් ඉතින් අතළොස්සක් කරන වැරැද්දකට හැමෝම එක්ක තරහ වෙලත් බැහැ. ඒ නිසා තමයි මේ ප්‍රශ්නයට නීතිය ඉදිරියටම ගිහින් පිළිසරණ පතන්න බලා‍පොරොත්තු වෙන්නේ. ඒ ඇරුණු කොට වෙන විකල්පයක් නැහැ.

සමන් ප්‍රියංකර නම්මුනිගේ

Gossip Lanka Hot News Previous News Archive