දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 6.8 ක වර්ධනයක්

2012 දෙවැනි කාර්තුවට සාපේක්ෂව 2013 දෙවැනි කාර්තුවේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය (ආර්ථික වර්ධනය) සියයට 6.8 ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ආර්ථිකයේ ප්‍රධාන අංශ තුන වන කර්මාන්ත, සේවා හා කෘෂිකර්ම අංශවල පිළිවෙළින් සියයට 10.1, සියයට 6.6 ක වර්ධනයක් හා සියයට 1.1 ක පසුබෑමක් වාර්තා වී ඇත.ඉහත අංශ තුන අතරින් දළ ජාතික නිෂ්පාදිතයට ඉහළම දායකත්වය ලැබී ඇත්තේ සේවා අංශයෙනි. එය සියයට 59.1 කි. කර්මාන්ත අංශවල දායකත්වය පිළිවෙළින් සියයට 30.2 ක් හා 10.7 ක් වේ.

ප්‍රධාන අංශවල උප අංශ අතරින් පතල් හා කැණීම් අංශය සියයට 12.6 ක ද, විදුලිය, ගෑස් හා ජලය අංශ සියයට 16.2 ක් ද, ඉදිකිරීම් සියයට 17.8 ක් ද හෝටල් හා ආපනශාලා සියයට 21.1 ක් ද, ප්‍රවාහන සහ සන්නිවේදනය සියයට 9.5 ක් ද, බැංකු, රක්ෂණ හා නිශ්චල දේපළ සියයට 6.3 ක් ලෙස ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන බව ද එම නිවේදනයේ දැක්වේ.

ආර්ථිකයේ සියලු භාණ්ඩ හා සේවාවල සාමාන්‍ය මිල මට්ටම නිරූපණය කරන දර්ශකය 2002 දී ඒකක 100ක් ලෙස ගත් විට 2012 දෙවැනි කාර්තුවේ දී ඒකක 239.7 වූ අතර, එය 2013 දෙවැනි කාර්තුවේදී ඒකක 255.5 ක් දක්වා ඉහළ ගොස් ඇත.ඒ අනුව සියලුම පාරිභෝජන, අතරමැදි හා ආයෝජන භාණ්ඩවල සමස්ත උද්ධමන අනුපාතය සියයට 6.6 ක් වන බව දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Gossip Lanka Hot News Previous News Archive