පුද්ගලයන් ඔස්ට්‍රේලියා පැටවූ මහ මොළකරු කොටු වෙයි

ජාවාරම්කරු කෝටිපති ව්‍යාපාරිකයෙක්
මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියාවට පුද්ගලයන් යවන මිනිස් ජාවාරමේ මහ මොළකරු වූ කෝටිපති ව්‍යාපාරිකයකු කිරිබත්ගොඩ නගරයේ දී මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පෙරේදා (11) අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගත්තේ ත්‍රිකුණාමලය චීන වරායේ පදිංචි 62 හැවිරිදි සුපිරි ගණයේ කෝටිපති ව්‍යාපාරිකයෙකි. මීට පෙර මේ ජාවාරමට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකරුවන්ගෙන් හෙළි වූ තොරතුරු මත මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික හපුගොඩ මහතා ඇතුළු පොලිස් නිලධාරීන් මාස 2ක් පුරා සැකකරු අත්අඩංගුවට ගැනීමට ඔහු පසුපස හඹා ගාස් තිබේ. 
ඔහු වෙස් මාරු කරමින් දිනපතා පදිංචි ස්ථාන ‍මාරු කරමින් දුරකථන සිම් කාඩ්පත් දෛනිකව වෙනස් කරමින් පොලිසියෙන් සැඟවීමට උත්සාහගෙන ඇත.මොහු ත්‍රිකුණාමලය, කුරුණෑගල සහ වෙනත් ප්‍රදේශවල කෝටි ගණන් වටිනා නිවාස මිලදී ගෙන ඇති අතර ජාවාරමට බෝට්ටු සපයමින් තැරැව්කරුවන් යොදමින් මේ මිනිස් ජාවාරම මෙහෙය වූ ප්‍රධාන මෙහෙයුම්කරු වශයෙන් කටයුතු කර ඇත.

හොරෙන් ඕස්ට්‍රේලියාවට මිනිසුන් පිටත් කිරීමේ ජාවාරමේ ප්‍රධාන දම්වැලේ පුරුක් වශයෙන් මේ වන විට 26 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඒ පිරිස අතර නාවික හමුදාවේ ලෙප්ටිනන් කමන්ඩර්වරයෙක් නාවික හමුදාවේ සංඥා පණිවිඩ මධ්‍යස්ථානයේ තිදෙනෙක් සහ නාවික හමුදාවේ බුද්ධි අංශ නිලධාරියෙක් වශයෙන් නාවික හමුදාවට සම්බන්ධ පස් දෙනෙක් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. සැකකරු ඊයේ (12) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.


මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික හපුගොඩ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක පී.එස්.සී. සංජීව කොස්තාපල් අජිත් මේනක රොහාන් යන නිලධාරීහු මේ වැටලීම සිදු කළහ.

Gossip Lanka Hot News Previous News Archive