ලෝකයේ මිල වැඩිම මෝටර් රථය Maybach Exelero

Forbes නමැති ජාත්‍යන්තර ව්‍යාපාර සඟරාව කියන හැටියට ලෝකයේ ධනවත්ම Rap ගායකයා ඇමරිකානුවකු වන බ්‍රයන් විලියම්ස්‌ය. වසර 2011 දී ඔහුගේ ශුද්ධ වටිනාකම ඩොලර් දශලක්‍ෂ 110 කි.
ලංකාවේ මුදලින් රුපියල් 15070000000 කි.

ඉහත සඳහන් ගණන කියෑවීමට අප මහන්සිය විය යුතු නැත. ඉහත මිල ගළපා ඇත්තේ ඉකුත් බදාදා (25දා) ඩොලරයේ රුපියලේ අගය සමඟ සංසන්දනය කිරීමෙන් පසුය. කෙසේ වුවද අප වටහා ගත යුත්තේ ලංකාව වැනි තුන්වන ලෝකයේ රටක ජීවත්වන සියලුම ගායකයන් සහ සංගීතකරුවන්ගේ වත්කම්වල සමස්‌ත අගය එකතු කළද බ්‍රයන් විලියම්ස්‌ගේ වත්කම්වල වටිනාකමින් 10% ක්‌ නොඉපැදෙන බවය.

අද බ්‍රයන්ගේ වයස අවුරුදු 44 කි. වයස අවුරුදු 50 වන විට ආසියාවේ සිටින සංගීතඥයන් සියලු දෙනාගේ අගය ඉක්‌මවන මූල්‍ය වටිනාකමක්‌ බ්‍රයන්ට හිමිවනු ඇතැයි විශ්වාස කෙරේ.

කෙසේ වුවද, බ්‍රයන් විලියම්ස්‌ ඉතිහාසයට එක්‌වන්නේ ඔහුගේ ධනය නිසා නොව වසර 2011 දී Maybach Exelero නමැති මෝටර් රථය මිලට ගැනීමත් සමඟය. ඔහු මිලට ගත් Maybach මොඩලයේ මිල ඩොලර් දශ ලක්‍ෂ 80 කි.

ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 1096000000 කි. මේ මුදල ඉතා අමාරුවෙන් අපට කියවා ගත හැකිය. රුපියල් එකසිය නම කෝටි හැට ලක්‍ෂයක්‌ යන ඉහත වටිනාකම තවත් විදියකට කිවහොත් රුපියල් බිලියන 1.96 කි. මේ මුදලට කොළඹින් විශාල තට්‌ටු ගොඩනැඟිලි දෙකක්‌ මිලට ගත හැකිය. තුන් දහසකට වැඩි මධ්‍යම පාන්තිකයන් පිරිසකට කුඩා තට්‌ටු නිවාස ලබා දිය හැකිය.

 Maybach Exelero (මේබැක්‌ එක්‌සෙලරෝ) යනු ලොව එතෙක්‌ මෙතෙක්‌ වැඩිම මිලකට අලෙවි කරන ලද මෝටර් රථයයි. සම්පූර්ණයෙන්ම අතින් සාදන මේ රථය මේ වර්ගයෙන් ලොව ඇත්තේ දෙකක්‌ පමණි. එහි දිග අඩි 13 කි. උස අඩි 5 කි. පණ ගන්වා තප්පර 5 ක්‌ තුළ පැයට සැතපුම් 200 ඉක්‌මවන වේගයක්‌ ජනිත කර ගැනීමට මේ රථයට පුළුවන. දොර දෙකක්‌ පමණක්‌ ඇති මේ වර්ගයේ පළමුවන රථය Fulda නමැති ටයර් සමාගම මගින් ඇණවුම් කර 2005 දී මිලට ගන්නා ලදී. ඔවුන් අදටත් තම සමාගමේ අලුත් ටයර් වර්ගවල සාම්පල පරීක්‍ෂා කිරීම සඳහා යොදා ගන්නේ Maybach Exelero රථයයි.

 Maybach යන්නෙහි සිංහල උච්ඡාරණය "මේ බැක්‌" වුවද එම සමාගමේ හිමිකරුවන් වන ජර්මානුවන් එය උච්ඡාරණය කරන්නේ "මයිබැක්‌ස්‌" යනුවෙනි. 1909 දී විල්හෙල්ම් මේබැක්‌ විසින් මේබැක්‌ කාර් කම්හල ආරම්භ කරන ලදී. ඔහු ජර්මනියේ සුප්‍රකට ඩේම්ලර් - මෝටර්ස්‌ - ජෙසෙල්ගාµaට්‌ නමැති මෝටර් රථ සමාගමේ තාක්‍ෂණික අධ්‍යක්‍ෂවරයාය. 1907 දී එම සමාගමින් ඉවත් වූ ඔහු තම මෝටර් රථ කම්හල ආරම්භ කළේය. මුලදී ඔහු හඳුන්වා දුන්නේ ගුවන් යානා එන්ජින් නිපදවන ආයතනයක්‌ ලෙසය.

එකල ඔවුහු සෙෆලින් නැමැති විශාල බැලුන් ගගන යාත්‍රාවලට සහ දුම්රිය සඳහා එන්ජින් නිෂ්පාදනය කළහ. මේ කොම්පැණියේ එන්ජින් බහුල වශයෙන් පාවිච්චි කෙරුණේ පළමුවන ලෝක යුද්ධයේදී "සටන් ගුවනට" ගිය ජර්මන් ප්‍රහාරක යානාවලටය. 1919 දී සමාගම තම පළමුවන මෝටර් රථය නිපදවා දෙවසරකට පසු බර්ලින් මෝටර් රථ සැණකෙළියට ඉදිරිපත් කරයි.

1921 සිට 1940 දක්‌වා කාලය තුළ ඔවුහු මිල අධික සුඛෝපභෝගී කාර් පෙළක්‌ නිපදවති. අද මේ මෝටර් රථ, මෝටර් රථ නිෂ්පාදන ඉතිහාසයේ ලියවැල් බවට පත්ව ඇත. ඒ අතර ඔවුහු සුපුරුදු පරිදි ගුවන් යානා සහ දුම්රිය සඳහා වූ විශාල එන්ජින් නිෂ්පාදනය දිගටම කරගෙන ගියහ. දෙවන ලෝක යුද්ධයේදී නාසි ජර්මන් යුද හමුදාවේ ප්‍රධානතම යුද ටැංකි සැපයුම්කරුවා වූයේ "මේ බැක්‌" සමාගමය.

මිත්‍ර හමුදා ජර්මනියට පහර දෙන හැම විටකම "මේ බැක්‌" සමාගමටද බෝම්බ දැමුවේය. සමාගම විසින් සාදන ලද යුද ටැංකි සංඛ්‍යාව ලක්‍ෂය ඉක්‌මවීමට ඉඩ තිබේ. යුද්ධයෙන් පසු, හානියට පත් කම්හල පිළිසකර කර නැවත වරක්‌ නිෂ්පාදන පටන් ගන්නා ලද නමුදු මෝටර් රථ නිපදවීම සම්පූර්ණයෙන්ම අමතක කර දමන ලදී. 1960 දී ඩේම්ලර් - බෙන්ස්‌ කොම්පැණිය විසින් මේ බැක්‌ සමාගම මිලට ගන්නා ලද්දේය. ඉන්පසු බෙන්ස්‌ සමාගමට අයත් විශේෂිත බෙන්ස්‌ රථ නිපදවීම මේ බැක්‌ කම්හල තුළ සිදුවිය.

විශේෂයෙන්ම රජවරුන් ජනාධිපතිවරුන් සහ ධන කුවේරයන් සඳහා සාදන ලද අතින් නිමකර මැණික්‌ එබ්බවූ මෝටර් රථ මේ කම්හලෙන් එළියට ආවේය. වසර 2009 වන විට ඔවුන් විසින් නිපදවන ලද මේ බැක්‌ රථයක අඩුම මොඩලයේ මිල ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 440 කි. වැඩිම මොඩලයේ මිල රුපියල් කෝටි 800 කි. කෙසේවූවද බඩුවල මිල ඉතා අධික නිසා හිතු තරම් කාර් විකුණාගැනීමට නොහැකි විය.

වසර 2002 වන විට ඔවුන් විකුණා තිබුණේ රථ 3000 ක්‌ පමණි. සේවකයන් දහස්‌ ගණනක්‌ සිටින විශාල මේ බැක්‌ කම්හලට එවැනි අලෙවියක්‌ මඳ විය. මේ නිසා ආයතනය බංකොලොත් විය. ආයතනයේ හිමිකරු වූ ඩේම්ලර්, සමාගම මිල අධිකතම මෝටර් රථ නිපදවන තවත් සමාගමක්‌ වූ එංගලන්තයේ Aston Martin සමාගම සමඟ එක්‌ව ඊළඟ පරම්පරාව සඳහා වූ මේ බැක්‌ රථ 44 ක්‌ නිපදවා අලෙවි කළේය. එහෙත් සමාගමට දිගටම පාඩු සිදුවිය.
වසර 2012 අගෝස්‌තු 14 වනදා "මේ බැක්‌" වෙළෙඳ නාමය නිමා කරන බව ප්‍රකාශ කළ ඩේම්ලර් සමාගම 2013 මැදදී අවසන් රථයද නිපදවා කොම්පැණියේ දොරවල් වසා දැමීය. පොප් ගායක බ්‍රයන් විලියම්ස්‌ මිලට ගන්නා ලද්දේ අවසන් මේ බැක්‌ රථවලින් එකකි. තවදුරටත් නොනිපදවන නිසා තිබෙන මේ බැක්‌ රථවල මිල දෙගුණවී ඇත. සංඛනාද වෙදගෙවත්ත













Gossip Lanka Hot News Previous News Archive