එතෆෝන් නම් අධික විස පලතුරුවල තවරලා"
ශරීරයට බරපතළ ලෙස අහිතකර බලපෑම් ඇති කරන ‘එතෆෝන්’ නමැති රසායනික ද්‍රව්‍ය භාවිත කැර පලතුරු ඉදවා පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට සූදානම් කැර තිබූ රුපියල් කෝටියක් පමණ වටිනා පලතුරු කිලෝග්‍රෑම් හැත්තෑ පන්දහසක් පිටකොටුව මැනිං වෙළෙඳ පොළෙන් සොයා ගත් පාරිභෝගික අධිකාරිය ඒවා විනාශ කිරීමට පියවර ගෙන තිබේ.
දේශීය සහ විදෙස් රටවලින් ගෙන්වන ලද මෙම පලතුරු තොග කොළඹ පමණක් නොව පිටස්තර පළාත්වල වෙළෙඳුන් හරහාද අලෙවි කෙරෙන බව පාරිභෝගික අධිකාරිය පවසයි.
පාරිභෝගික අධිකාරිය මඟින් මේ දිනවල පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිය පිළිබඳ වැටලීම් සිදුකරමින් යන අතරතුර මෙම රසායනික ද්‍රව්‍ය සෘජුවම පලතුරුවලට තවරා ඒවා ඉදවීමේ ජාවාරම පිළිබඳ තොරතුරු හෙළිවී තිබේ.
එතෆෝන් රසායනික ද්‍රව්‍ය පලතුරු ඉදවීමට යොදවන්නේ ඒවා මිලිලීටර් එකක් ජලය මිලිලීටර් 1කට මිශ්‍රකැර හුණු ග්‍රෑම් 100ක් ජලය මිලිලීටර් එකක් මිශ්‍ර කැර මෙම ද්‍රාවණ දෙකම එකට කලවම් කැර වායු හුවමාරු නොවන බඳුනක බහා ගැනීමෙනි. එහෙත් මෙම රසායනික ද්‍රව්‍ය සෘජුවම පලතුරුවලට ඉසීම බරපතළ හානිකර ප්‍රතිඵල ගෙන දෙන්නක් වී ඇත.
පිටකොටුව මෙම ව්‍යාපාරික කණ්ඩායම කාලයක් තිස්සේ එම හොර ජාවාරම කැරගෙන ගොස් ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික අධිකාරිය පියවර ගෙන ඇත. තවද පාරිභෝගිකයන්ගේ ශරීර සෞඛ්‍යයට අහිතකැර බලපෑම් ඇති කරන විස සහිත ආහාර ද්‍රව්‍ය අලෙවි කරන, පාරිභෝගිකයා රැවටීමට ලක්කැර ඔවුන් ගසා කන කූට වෙළෙඳ ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිය උපරිමයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා එවැනි කූට වෙළෙඳුන් කොටුකැර ගැනීමට මෙහෙයුම් සිදුකරන ලෙස සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාරිභෝගික අධිකාරියට උපදෙස් දී ඇත.
එම මෙහෙයුම් මෙම උත්සව සමයේදී තවත් වැඩි කැර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම නීතිවිරෝධී ජාවාරම කොටුකැර ගැනීමට පාරිභෝගික අධිකාරියට හැකි විය.
.
මොනවාද මේ ‘එතෆෝන්’!
පැලෑටි වර්ධකයක් වශයෙන් වඩාත් ප්‍රචලිත ‘එතෆෝන්’ වර්ධනය වී පරිණත බවට පත්වෙන රසායනික ද්‍රව්‍යයකි.
තිරිඟු, කෝපි, දුම්කොළ, කපු, අන්නාසි වැනි වගාවලට යොදන රසායනික ද්‍රව්‍යයකි. වගාවල අස්වැන්න වැඩිවීමටද හේතුවෙකි.
මෙවැනි රසායනික ද්‍රව්‍යයක් ශරීරයට ඇතුල්වීම තුළින් ශරීරයේ මාංශ පේෂි ඇතුළු අභ්‍යන්තර කොටස්වලට ලේ වලට බරපතළ ලෙස හානි සිදුවිය හැකිය.
පලතුරු ඉදවීම සඳහාද මේවා භාවිතා කරන්නේ ඉතා සුළු ප්‍රමාණයකි. වැඩි ප්‍රමාණයක් යෙදීමෙන් පලතුරු ඉක්මනින් ඉදෙන්නේ ඒවායේ විස සහිත බව නිසාය. එම විස ද්‍රව්‍ය නිසා වගාවන් සහ ඒවායේ පළදාවේ ගුණාත්මක බවටද විශාල බලපෑමක් ඇති වෙයි.
තවත් පැලෑටි වර්ධක හෝමෝනයක් වන මෙම 'එතෆෝන්' පැලෑටිවලට ඉසීම නිසා පරිසරයට හනි සිදුවිය හැකි බවට පරිසරවේදීන් පෙන්වා දී ඇත. තවද මෙම එතෆෝන් එතනෝල් බවට පත්වෙන අවස්ථාද තිබේ.
