අවුරුදු සාදයේ කෑම විෂවී සේවකයෝ 220ක් රෝහ‍ලේ

හෝමාගම කර්මාන්තපුරයේ පිහිටි ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් පිරිසක් ආහාර අජීර්ණයක් හේතුවෙන් ඊයේ (02) උදෑසන හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත. ඊයේ උදෑසන වන විට ආහාර අජීර්ණය හේතුවෙන් සේවක සේවිකාවන් හැට දෙනෙක් (60) පමණ රෝහලට ඇතුළත් කළ බව හෝමාගම රෝහල් ‍පොලීසිය පැවැසීය. 

ආහාර අජීර්ණය හේතුවෙන් රෝහලට ඇතුළත් කළ සේවක සේවිකාවන් රැසක් තද හිසකැරකිල්ල, ක්ලාන්තය හා උදරයේ හටගත් දැඩි දැවිල්ල හෝ වේදනාව වැනි රෝග ලක්ෂණවලින් පෙළුණු බව රෝගීන් පරීක්ෂාවට ලක් කළ හෝමාගම මූලික රෝහ‍ලේ වෛද්‍යවරු පවසති. පෙරේදා (01) දහවල් කර්මාන්ත ශාලාවේ ප්‍රිය සාදයක් පැවති බවත් එහිදී කර්මාන්ත ශාලාව මගින් සියලුම සේවක සේවිකාවන්ට දිවා ආහාරය සපයා දුන් බවත් එම ආහාර ගැනීමෙන් පසු පසුදා උදෑසන සිට කැරකිල්ල ක්ලාන්තය උදරයේ වේදනාව වැනි රෝග ලක්ෂණවලින් සේවක සේවිකාවන් වේදනාවන්ට ලක්වීමට පටන් ගත් බවත් රෝහල්ගත වූ සේවක සේවිකාවෝ පැවැසූහ. 

උදෑසන කාලයේ රෝගීන් හැටක් පමණ රෝහල්ගත වීමත් හෝමාගම මූලික රෝහ‍ලේ හදිසි ප්‍රතිකාර ඒකකය රෝගීන්ගෙන් පිරී ගොස් තිබුණි. මෙම කර්මාන්ත ශාලාවේ හොරණ හා පාදුක්ක ශාඛාවල සේවක සේවිකාවන්ද මෙවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඊයේ (2) වනදා උදෑසන පාදුක්ක හා හොරණ රෝහල්වලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.


පාදුක්ක රෝහලට සේවක සේවිකාවන් හතළිස් (40) දෙනෙක්ද හොරණ රෝහලට සේවක සේවිකාවන් එකසිය විසි දෙනෙක්ද (120) ඇතුළත් කළ බව ඇඟලුම් කර්මාන්ත ශාලාවේ නිලධාරියෙක් පැවැසීය. එම නිලධාරියා පැවැසුවේ මෙම ඇඟලුම් කර්මාන්ත ආයතනයේ හෝමාගම හොරණ හා පාදුක්ක යන ස්ථානවල පිහිටි කර්මාන්ත ශාලා සඳහා පෙරේදා (01 වනදා) දිවා ආහාරය මත්තේගොඩ ප්‍රදේශයේ ආහාර සැපයීම් සිදුකරන ස්ථානයකින් ඇනවුම් කර ලබාගත් බවයි. රෝහල්ගත සියලු රෝගීන් එකම රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් මෙය ආහාර විෂ වීමක් නිසා සිදු වූවක් බව සැකකරන බැවින් කර්මාන්ත ශාලාවේ ආහාර සැපයුම්කරුට එරෙහිව නීතිමය කටයුතු කිරීමට පියවර ගන්නා බවද පැවැසීය.

 හෝමාගම පාදුක්ක හා හොරණ රෝහල්වලට ඇතුළත් කර ඇති ආහාර අජීර්ණයට ලක්ව ඇති කිසිදු සේවක සේවිකාවකගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් බලධාරීන් පෙන්වා දෙති. ආහාර සැපයුම්කරුට එරෙහිව කර්මාන්ත ශාලා බලධාරීන් විසින් කහතුඩුව ‍පොලීසියට පැමිණිලි කර ඇති අතර ආහාර සැපයුම්කරු අත්අඩංගුවට ගැනීමට කහතුඩුව ‍පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

Factory workers in hospital after New Year party

Gossip Lanka Hot News Previous News Archive