ලංකාවේ සිරගෙවල් උතුරයි

ශ්‍රී ලංකාවේ සිරගෙවල්වල ඉඩකඩ ඇත්තේ ‍ෙදාළොස් දහස් පන්සියයකට (12,500) තරම් වුවත් රැඳවූවන් විසි දෙදහසකට (22,000) ආසන්න පිරිසක් සිරගතව සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා කීය.

බන්ධනාගාර කොමසාරිස්වරයාගේ මේ සංඛ්‍යා ලේඛනවලට අනුව සිරකරුවන්ගේ අතිරික්තය 9,500කි. වෙනත් වචනවලින් කියනවා නම් 9,000ක් හිරේ ඉන්නේ හිරවෙලයි.

මහර බන්ධනාගාරයේ පහසුකම් ඇත්තේ රැඳවූවන් පන්සියයකට (500) වුවත් එල්ලා මැරීමට තීන්දුව ලැබුණු නවසිය තිස්දෙනකු (930) එහි සිටින බවත් මේ නිසා බන්ධනාගාරයේ ඉඩකඩ ඇහිරීමෙන් මේ පිරිස මහා බරක් වී ඇති බවත් කීය.මරණ දණ්ඩනය නියම වූ පිරිස පන්සිය දහනවයක් (519) බවත් එම දඬුවමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කළ තවත් 411 දෙනකු සිටින බවත් ඒ දෙපිරිසගේ එකතුව 930ක් බවත් බන්ධනාගාර කොමසාරිස්වරයා කීය.


එල්ලා මැරීමට නියම වූවකුට එක් කුටියක් බැඟින් දිය යුතු වුවත් දැනට එක් කුටියක එවැනි පුද්ගලයන් පස්දෙනකු බැගින් රඳවා තිබෙන බවත් ඒ මහතා සඳහන් කෙළේය.

වැලිකඩ සහ මහර බන්ධනාගාරවල රැඳවූවන්ට ඉඩකඩ ඇත්තේ පිළිවෙළින් දෙදහස් පන්සියයකට (2,500) සහ නවසිය හැත්තෑවකට වුවද දැනට ඒ බන්ධනාගාර දෙකේ පිළිවෙළින් සිටින සංඛ්‍යාව තුන්දහස් හයසියය (3,600) සහ දෙදහස් පන්සිය පනහක් (2,550) බවද කීය.

මේ තත්ත්වය ඉහළ කළමනාකරණයට කාලයක් තිස්සේ සිට දැනුම්දීමේ ප්‍රතිඵලයක් වශයෙන් අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේ රුපියල් කෝටි පන්සියයක (5,00,00,00,000) ඇස්තමේන්තුවකට ඉදිකෙරෙන බන්ධනාගාර සංකීර්ණයේ රැඳවූවන් එක්දහස් හයසියයකට (1,600) පමණ ඉඩකඩ සැලසෙන බව කී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා බන්ධනාගාර ඉඩ නැති වීම රජයට මෙන්ම සමාජයටද විශාල ප්‍රශ්නයක් බවත් අනාගතයේදී මේ තත්ත්වය උග්‍ර විය හැකි බවත් කීය.

Gossip Lanka Hot News Previous News Archive