කමෝන් ශ්‍රී ලංකා කිය කියා කෝලි විනාඩි විස්සක් මාත් එක්ක නැටුවා

අල පරිප්පුවල ඉඳන් ලෝකේ රසවත්ම කෑම අපිට දුන්නා
ශිකර් ධවාන් මාව වඩාගත්තා ෂාරුක් ඛාන් එක්ක පින්තූර ගත්තා

කමෝන් ශ්‍රී ලංකා. කමෝන් ශ්‍රී ලංකා. ක... මෝ... න්  සිංහ පැටවුන් ජයග්‍රහණයේ මුදුනත ඔසවා තබන සිතුවිල්ලෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් පිටියේ ඔල්වරසන් නඟන ගයාන් සේනානායක මේතාක් ක්‍රිකට් ලෝලීන්ටම මිස අන් අයට ඒ තරම් හුරුපුරුදු කෙනෙක් වූයේ නැත. කතා කරන්නට තරම් අපූර්වතම ප්‍රස්තුතයක් ඔහු සන්තකයේ තිබුණේද නැත. එහෙත් එක දවසකින් එක හේතුවකින්, එක මඟුලකින් ගයාන් කවුරුත් කතාකරන කෙනෙක් වූයේය. මඟුල කෝලිගේය. කෝලි කීවේ විරාත් කෝලිගේය.

විරාත් කෝලි පතිනිය ලෙස තෝරාගත්තේ ද සාමාන්‍ය ඉන්දියානු යුවතියක් නොවේ. බොලිවුඩයේ දිලිසෙන තාරකාවකි. ඇය අනුෂ්කා ෂර්මාය. අනුෂ්කාගේත් කෝලිගේත් ඇයි හොඳයිකම ඇති වූයේද ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික නිෂ්පාදකවරයකු හරහාය. ඒ නිෂ්පාදනය හමාර වෙද්දී ඉන්දියාවේම ඇස් ඇදගත් තවත් නිෂ්පාදනයක් බිහි වී තිබුණි. ඒ කෝලිගේත් අනුෂ්කාගේත් ආදරයයි. ඉන්දියානු සම්ප්‍රදායන් අනුව ඉතාලියේ මිදි වත්තක් මැද සුන්දර මන්දිරයක කෝලිත් අනුෂ්කාත් ආත්ම හතක් හමුවන්නට දෙවියන් ඉදිරියේ ගිවිසුමකින් බැ‍ඳෙද්දී ඉතාලියේ සිටි කෝලිටත් අනුෂ්කාටත් සුභාශිංසන පණිවිඩයක් යැවූ ශ්‍රී ලාංකිකයෙක්ද විය. My best friend Virat යනුවෙන් ලියූ සුභාශිංසනය God bless you යන ආශිර්වාදාත්මක පැතුමින් නිම කෙරුණි. Thank you…. විරාත් කෝලි එලෙසින් ප්‍රතිචාර දක්වන ලද සුබ පැතුමේ අයිතිකාරයා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් පිටියේ ඔල්වරසන් හඬ නඟන ගයාන් සේනානායකය. එසේ කෝලිගේත් අනුෂ්කාගේත් යුග දිවියට සුබ පැතුමක් එක් කළ ගයාන් කෝලිගේත් - අනුෂ්කාගේත් සුපිරි විවාහ මංගල්‍යය සඳහා ආරාධනා ලද එකම ශ්‍රී ලාංකිකයාත් නෑ පරපුර වෙනුවෙන් බොලිවුඩයේ සුපිරි තරු සහ හිත මිතුරන් වෙනුවෙන් සහ ක්‍රිකට් තරු වෙනුවෙන් වෙන් වෙන්ව පැවැත්වූ මංගල සාදවල ක්‍රීඩකයෝ වෙනුවෙන් පැවති සාදයට සහභාගී වූ විදේශිකයෝ දෙදෙනාගෙන් එක් අයකුත් විය.

ඒ මඟුලේ වගතුග ගැන අසන්නට පෙර ගයාන්ගෙන් අසන්නට සිතුණ ප්‍රශ්නයකි.

කොහොමද මුලින්ම කෝලිව දැන හඳුනාගත්තේ?

මම මුලින්ම කෝලිව හඳුනාගත්තේ එයා 19න් පහළ ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකයා විදිහට 2007දී ලංකාවට ආවම. ඒ තරගයට බංගලාදේශ කණ්ඩායමත් ආවා. 2007 19න් පහළ ලෝක ශූරතාව පැවැත්වුණේ මැලේසියාවේ. ඊට කලින් තමයි මේ තරග සංචාරය පැවැත්වුණේ. මට මතකයි මම කමෝන් ශ්‍රී ලංකා කමෝන් කියලා අපේ ක්‍රිකටර්ස්ලාට චියර්ස් කරද්දී එයාලා අපේ දිහා බලාගෙන හිටියා. ඒ කාලේ කෝලිගේ පෙනුම තවත් පුංචියි. ඒ තරග සංචාරයේදී මම කෝලිගෙන් හායි කොහොමද කියලා ඉංග්‍රීසියෙන් ඇහුවා.හායි කියලා තමා මම මුලින්ම කෝලිව අඳුරාගත්තේ. ඒ මිත්‍රත්වයක ඇරඹුම් කතාවයි.

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වූ මහේන්ද්‍ර සිං දෝනි, රාහුල් ඩ්‍රාවිඩ්, සචින් තෙන්දුල්කාර්, හර්බජාන් සිං, වෙන්කටේෂ් ප්‍රසාද් වගේ ක්‍රීඩකයෝ අපි එක්ක හුඟක් හිතවත්. 2008 දී ඉන්දියාව හා ලංකාව අතර එක්දින තරගාවලියකට නැවත ඉන්දියානු කණ්ඩායම ලංකාවට ආවා.

කෝලි එයාගේ පළමු එක්දින තරගයට මුහුණ දුන්නේ දඹුල්ල ක්‍රීඩාංගණයේදී. අපි ඒ කාලේ පුහුණු තරග බලන්නත් යනවා. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් අපි දැක්කම අපි එක්ක හිතවත්ව කතා කරනවා දැක්කට පස්සේ  කෝලිත් බයක් නැතුව අපි එක්ක කතා කළා. රෝහිත් ෂර්මා ගෞතම් ගාම්භීර් මාත් එක්ක දක්වපු යාළුකම නිසාම කෝලි මාව විශ්වාස කළා. කෝලි මුලින්ම මාත් එක්ක මිත්‍රත්වයෙන් කතා කළේ එයාලගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් මට දක්වපු හිතවත්කම නිසා. කෝලි මට මුල ඉඳන්නම කතා කළේ ගයාන් කියලා. 2009දී ටෙස්ට් තරගාවලියකට අපේ ක්‍රිකට් කණ්ඩායම යද්දී කණ්ඩායම දිරිගන්වන්නෙක් විදිහට මමත් ගියා.  ඒ සංචාරයේදී මට අවස්ථාව හම්බුණා ගෞතම් ගාම්භීර් ඇතුළු ක්‍රීඩකයන් දෙන්නෙක් එක්ක දහවල් ආහාරය ගන්න. ඒ වෙලාවේ කෝලිත් එතෙන්ට ආවා. ඒත් කෝලි පරක්කු වෙනවා කියලා කෑවේ නෑ. ගයාන් ඔයා කන්න. මම මැච් එකට රෙඩි වෙන්න යනවා කියලා කෝලි කීවා.. කෝලි ආඩම්බරකාරයෙක් නෙවෙයි. එයා හරි සුහදයි. අපි තරග නැති සමහර දවස්වල ඒ ක්‍රීඩකයන් ඉන්න හෝටල්වලට ගිහින් ඒ ක්‍රීඩකයන්ව හමුවුණා.

මිත්‍රත්වයක් ඇතිකර ගැනීම මෙන්ම එය යාවත්කාලීන කරගැනීම ද එහි සොඳුරුතාව රැකගැනීමටනම් අත්‍යවශ්‍යමය. මිතුරුදම් ලොව කොතෙකුත්ද? එහෙත් ඒ හැම මිත්‍රත්වයකම අරමුණ අපට කල්‍යාණ මිතුරු ගුණාංග හදවතකින් හදවතකට ප්‍රදානය කිරීමම නම් නොවේ. ආත්මාර්ථය, යටි අරමුණු ස්ව පරමාර්ථ වෙළඳ අරමුණු, ප්‍රතිරූප ගොඩනගාගැනීම මේ සියල්ල ද මිත්‍රත්ව ඔස්සේ මුදුන්පමුණුවා ගන්නට හදන අරමුණු විය හැකිය. එවන් අරමුණු උදෙසාම ඇති කරගන්නට මිත්‍රත්ව ද ලොව පවතී. ආදරය, පරිත්‍යාගය, කැප කිරීම වැනි සොඳුරුතා මතම පදනම් වූ මිත්‍රත්වයන් ද එලෙසින්ම පවතී. කවුරුන් කෙසේ කීවද කෝලි හා ගයාන් අතර මිත්‍රත්වය මේ කවර නිර්ණායකයට අයත්දැයි නිර්වචනය කරන්නට අපි නොවෙහෙසෙමු. මගේ මඟුලට නොවරදවාම ඔයත් එන්න යැයි කියන්නට තරම් මුහුකුරා ගියා ගැඹුරක් ඒ මිත්‍රත්වයේ තිබුණේ දැයි පිරික්සන්නට ද අපි නොවෙහෙසෙමු.

ඒ සියල්ල පසෙක තැබූ කල කෝලිගේ විවාහ මංගල්‍යයට ඇරයුම් ලද එකම ශ්‍රී ලාංකිකයා හා කතාබහ පත්තරයක විශේෂාංගයකට කදිම නිමිත්තකි. අප මේ අකුරු එකතු කරන්නේ ඒ නිමිත්ත ඔස්සේය.

කවුද මේ කෝලි..

කෝලි ඉපදුණේ 1988 නොවැම්බර් 05දා දිල්ලියේ පන්ජාබ් පවුලකය.
ඔහුගේ පියා අපරාධ පිළිබඳ නීතීඥයෙක් වූ අතර අම්මා ගෘහණියකි.
කෝලිට වැඩිමහල් සහෝදරයෙක් හා සහෝදරියක් සිටී.
ඔහු ක්‍රිකට් පිත්ත අතට ගන්නේ වයස අවුරුදු තුන පිරෙද්දීය.
ඔහුට අවුරුදු 17ක් වෙද්දී පියා හෘදයාබාධයකින් මිය ගියේය. ඔහු පසුව ඒ ගැන මාධ්‍යයට අදහස් දක්වා තිබුණි.

පුංචි කාලෙදිම මට ජීවිතේ නොයෙක් පැති අත්විඳින්න ලැබුණා. තාත්තාගේ අසනීප සහ මියයාම එක්ක පවුලේ ආදායම් මාර්ග නැතිවුණා. අපිට කුලී නිවාසවල ජීවත්වෙන්න සිද්ධ වුණා. ඒ සියල්ල මට අදටත් මතකයි. තාත්තා තමා මගේ ක්‍රිකට් ජීවිතේ හැඩගැස්සුවේ. එයා ළඟ නැති එක ගැන මම අදටත් දුක්වෙනවා.

තාත්තා මිය යනවිට ඔහු සිටියේ දිල්ලි ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් කර්ණාටක කණ්ඩායම හා තරගයකට සහභාගීවෙමිනි. පියා මිය ගිය බව ඔහු වහාම දැනගත්ත ද තරගය අතරමඟ දමා යෑමට නොහැකිය. එම තරගයේදී ලකුණු අනූවක් තම පිල වෙනුවෙන් රැස් කළ ඔහු දැවී ගිය වහාම පිටියෙන් ඉවත්ව පියාගේ අවමංගල්‍ය කරා ගියේය.

දකුණත් පිතිකරුවෙක් වන කෝලි ලෝකේ හොඳම පිතිකරුවෙක් ලෙස සැලකේ. 2013 මුල් වරට ජාත්‍යන්තර එක්දින පිතිකරු වර්ගීකරණයේ පළමු තැනට ආ කෝලි 2012දී ඉන්දීය පිලේ ටෙස්ට් නායකත්වයත් 2017දී එක්දින නායකත්වයත් හිමිකර ගත්තේය. 2016දී විරාත් කෝලි නාමයේ වටිනාකම ඩොලර් මිලියන 92ක් විය.

ඉතින්.... දොඩමළුවේ ඌණ පූර්ණයට දිරි ගන්වන්නා බලා හිඳී...

2010 දී මම ගියා බංග්ලාදේශයට. මම ගිය දවසෙම තරගයක් පැවැත්වෙන්න නියමිතව තිබුණා. බංග්ලාදේශයට ගිය දවසෙම මම ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම නැවතී සිටි හෝලටයට ගියා, මැච් එක බලන්න යන්න මගේ ටිකට් එක ඉල්ලා ගන්න. එදා මැච් එක තියෙන්න තිබුණේ ලංකාව හා බංග්ලාදේශය අතර. ඉන්දියාවත් ඇවිත් හිටියා. කෝලිලා එදා හොටෙල් ලොබි එකට ආවා. එදා මම ලංකාවෙ ඉඳන් බංග්ලාදේශයට ගිය දවස නිසා මගේ ගමන් මලු ඒ වෙද්දිත් තිබුණෙ මගේ ගාව. කෝලි මාව දැක්ක ගමන් ඇහුවා කොහොමද කියලා. මම ඇහුවා කෝලි මට උදව්වක් කරන්න පුළුවන්ද කියලා. මගේ බෑග් එක තියෙනවා... ඒක ඔයාගේ කාමරයේ තියන්න පුළුවන්ද. මම රැට හරි හෙට උදේ හරි ඇවිත් කෝල් එකක් දෙන්නම් කියද්දි කෝලි ගත් කටටම නෝ ප්‍රොබ්ලම් නෝ වොරීස් කියලා කෝලියි රෝහිත් ෂර්මායි මාගේ බෑග් එකේ වගකීම බාරගත්තා. කෝලි මට කිව්වා ඔයා ඇවිත් කෝල් කරන්න ගයාන් මම දෙන්නම් කියලා. කෝලි හරි විහිළුකාරයා. එයා හරි සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. ලංකාවේ යුද්ධයක් තිබුණනේ. ඒ නිසා එදා කෝලි මගෙන් ඒ වෙලාවේ හිනාවෙවී ඇහුවා ගයාන් මේකේ බෝම්බ එහෙම නෑ නේද කියලා.

කෝලි ස්ලිප් එකේ ෆීල්ඩ් කරද්දි, මම ඩාන්ස් කරද්දි එයත් චුට්ටක් මගේ දිහා බලලා මට සපෝට් එකට පුංචි ඩාන්ස් එකක් දානවා එතන ඉඳන්ම. හැමපාරම ලංකාවට ආවොත් එයා මට කතා කරනවා.

මොහොතකට බාධා කරමින් මෙසේත් අසන්නට අපට සිත්විය.

මොනවද කෝලිගෙන් හම්බවෙලා තියෙන තෑගි බෝග එහෙම....?

අයි.පී.එල්. තරගාවලියේදී එයා මට ටී ෂර්ට් එකක් දුන්නා. එයා මැච්වලදී ඇන්ද එකක්. මම කීවා කෝලි මම අත්දිග අඳින්නෙ නෑ කියලා. එහෙනම් මම අත්කොට එකක් දෙන්නම් කියලා එයා මට අත්කොට ටී ෂර්ට් එකක් දුන්නා. මම අත්කොට ටී ෂර්ට් එක අරන් අත් දිග ටී ෂර්ට් එක ආපහු දෙද්දි කෝලි මට කීවා පිස්සුද ගයාන් ඔයා දෙකම තියාගන්න කියලා. කෝලි ආඩම්බර චරිතයක් නෙවේ. එයා නොදන්න අයත් එක්ක කතාවට නොගියට එයාට කිට්ටු වෙන කෙනෙකුට එයා හරිම අවංකයි. එයා විනෝදයට බර සැහැල්ලුවෙන් නිදහසින් ඉන්න කැමති කෙනෙක්. ඒ වගේම පැණි රස කෑම කන්නත් හරිම රුසියෙක්. ඒ වගේම ජපන් ආහාරවලටත් එයා හරි කැමතියි...

එයා එක්ක කන්න ගියාම මට බේරෙන්න බෑ. ගයාන් ඔයා ඉන්දියන් ස්වීට් කන්න කියලා. මම හිතන්නේ ඒක එයා එයත් එක්ක කෑමකට යන ඕනෑම කෙනෙකුට කියනවා. එයා කියනවා ඉන්දියන් ස්වීට් කෑවට පස්සේ මාර රහයි කියලා. දවසක් කද්දි මගේ පිඟානේ එක ස්වීට් කෑල්ලක් ඉතුරු වුණා. එයා ෆිට් එකට කියලා ඒ කෑල්ලත් අරන් කෑවා. මට කෝලි පැණිරහ කන්න කියද්දි අනේ මට හරියන්නෙ නෑ පැණි රහ වැඩියි කියද්දි එයා No No කියලා ඉන්දියන් පැණි රස කෑම හරිම රසයි කියනවා.

දවසක් ඔහොම කකා ඉද්දි තමා කෝලි කීවේ ඔයා මගේ වෙඩින් එකට අනිවාර්යයෙන්ම එන්න ඕන... මම ඔයාට ආරාධනා කරනවා කියලා. මම WhatsApp එකෙන් මැසේජ් කරන හැමවෙලාවකම එයා Online හිටියොත් මට රිප්ලයි කරනවා.
විරාත් කෝලි වගේම රෝහිත් ෂර්මාත් වැඩ ඉවරවෙලා ෆ්‍රී එකේ ඉන්න වෙලාවට මූණ බලලම කතා කරන්න කියලා වීඩියෝ කෝල් ගන්න වෙලාවල් තියෙනවා. රෝහිත් ෂර්මා, සුරේෂ් රයිනා වගේම අජින්කෙයා රහනේ මාත් එක්ක හරි යාළුයි.

එතකොට කොහොමද කෝලිගේ මංගල්‍යයට ඔබ ගියේ?

මම ඉන්දියාවට ගියේ පහුගිය නොවැම්බර් 15 වැනිදා. දවස් 42ක් එහේ හිටියා. කෝලි මට ඉතාලියේ ඉඳන් මැසේජ් එකක් එවලා ඇහුවා ඔයා ඉන්දියාවේදි ගහන අන්තිම 20 20 එකටත් ඉන්නවද කියලා. මම කීවා ඔව් මගෙ ටිකට් එක තියෙන්නේ 27 වැනිදා කියලා. ඒ පාර එයා මට මැසේජ් කළා ඉන්දියන් ටීම් එකත් එක්ක බොම්බායේ එයාගේ විවාහ මංගලෝත්සවයට එන්න කියලා. කෝලි ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් දෙන සංග්‍රහයට පසු ඔවුන් දකුණු අප්‍රිකානු සංචාරයකට යාමට නියමිතව තිබූ නිසා ඔවුන් බොම්බාය ගුවන් තොටුපළ ළඟ හෝටලයක නැවතිලා හිටියේ. කෝලි මට කීවා ඔයා වොෂ් එකක් දාගෙන ලෑස්තිවෙලා ඉන්දියානු ටීම් එක ඉන්න හෝටලයට යන්න... මම මැනේජර්ට කියලා තියෙන්නේ, ඔයා එයාලත් එක්ක එන්න කියලා. අපි කාර් හතරක පහක තමා මුම්බායිවල මංගල උත්සවය තියෙන හොටෙල් එකට ගියේ. උමේෂ් යාදේව්, හර්දික් පාන්ඩ්‍යා එක්ක තව අයි.පී.එල්. ගහන දෙන්නෙක් කාර් එකේ ගියා.

එතකොට ඔබ කෝලිගේ මංගල උත්සවයට අඳින්න ඇඳුම් ගත්තේ කොහෙන්ද?

කෝලි මංගල්‍යයට එන්න කියපු ගමන් මම හිතුවේ ඉන්දියානු ‍ඩ්‍රස් එකක් හයර් එකට ගන්නම් කියලා. ඒත් මගේ යාළුවෙක් කීවා ගයාන් අලුත් එකක් ගත්තොත් හොඳයි නේද කියලා. කෝලි මාව දැක්ක ගමන් කීවා ගයාන් ඩ්‍රෙස් එක හුඟාක් ලස්සනයි. අද ඔයා හුඟාක් ලස්සනයි කියලා. කෝලි එදා මාව බදාගත්තා. රෝහිත් ෂර්මාත් කීවා ඔයා අද ලස්සනයි කියලා. මොකද ඊට කලින් එයාලා මාව දැකලා තිබුණේ ටී ෂර්ට් එක ඇඳලා ඉද්දි විතරමනේ. සචින් තෙන්ඩුල්කාර් ඇවිත් කොහොමද ගයාන් මොනවද කෙරෙන්න ඕන අහලා කතා කළා. ෂාරුක් ඛාන් මාව දැකලා එයත් මා එක්ක කතා කරලා ඡායාරූපයකුත් ගත්තා මාත් එක්ක.

ඔබ කෝලි සහ අනුෂ්කා එක්ක ගහපු සෙල්ෆියට දවසකින් දෙකකින් ලොකු ජනප්‍රියත්වයක් හම්බවුණා නේද?

මනාල යුවළට හායි කියලා සුබපතලා ඒ දෙන්නත් එක්ක ෆොටෝ එකක් ගන්න එදා ලෝක ප්‍රසිද්ධ ඉන්දියානු ක්‍රීඩකයන් පෝලිමේ හිටියා. ඒත් මාව දැක්ක ගමන් කෝලි හායි ගයාන් Come Come කියලා මාව ළඟට අරන් එතනදි පොඩි ඩාන්ස් එකකුත් දැම්මා. මම අනුෂ්කා ෂර්මා ඒ මොහොතේ තමා මුලින්ම දුටුවේ. එයාත් හායි ගයාන් කියලා මගේ පිටට තට්ටුවක් දාලා අත් දෙකම අල්ලගෙන සතුටින් කතා කළා. මාව මැදින් තියාගෙන කෝලි මගේ අතේ තිබුණ ෆෝන් එක එයාගේ අතට අරන් සෙල්ෆියක් ගැහුවා. එදා තමන්ගේ ෆෝන්වලින් වීඩියෝ කරන්න තහනම්. ඒ වීඩියෝ එක වෙනමම කරන නිසා. කෝලි මට කීවා ගයාන් මම ඔයාට පස්සේ වීඩියෝ එකක් දෙන්නම් කියලා. එයා මාත් එක්ක විනාඩි විස්සක් විතර ඩාන්ස් කළා... එයාගේ බිරිඳව පැත්තක තියලා මාව ළඟට අරගෙන කමෝන් ශ්‍රී ලංකා කමෝන්  කිය කියා හිනාවෙවී ඩාන්ස් කළා.  ශිකර් ධවාන් ඇවිත් ආදරයට මාව වඩාගෙන සෑහෙන වෙලාවක් නැටුවා.

එතකොට මොනවද කන්න බොන්න එහෙම තිබුණේ?

එදා ඒ මංගල්‍යයේ හාරසීයක විතර සෙනඟක් හිටියා. ස්වීට් ජාති හුඟාක් තිබුණා. ලෝකයේ එක එක රටවල කෑම වර්ග තිබුණා. නිර්මාංශ ආහාර වෙනමම තිබුණා. එදා අපි දෙන්නයි විදේශිකයෝ හිටියේ. අනිත් කෙනා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ෆිසියෝ තෙරපි  කරන ඩොක්ටර් පැට්‍රික්. ඒ වෙඩින් එකේ කාටවත් විනාඩියක්වත් නිකම් ඉන්න නම් තිබුණේ නෑ. විනාඩියෙන් විනාඩියට කෑම අරන් එනවා වේටර්ස්ලා. ලෝකයේ තියෙන හොඳම බීම ජාති බොන්න තිබුණා. ඒ හැමදේම අතරේ අල - පරිප්පුත් තිබුණා.

කෝලිටයි අනුෂ්කටයි තෑග්ගක් එහෙමත් දුන්නද?

නැහැ... ඒත් කෝලි ලංකාවට ආවම මම එයාට මතක හිටින විදිහෙ තෑග්ගක් දෙනවා. මේ පාර ඉන්දියාවට එද්දි කෝලි මම කිව්වා ලංකාවේ තේවලට ආසයි. ඒ නිසා මට ලංකාවේ තේ ටිකක් ගෙනත් දෙන්න කියලා. මම ගිහින් දුන්නා. ඒ වගේම මීට පෙර මම එයාට එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණය ගැන තියෙන සීඩී එකක් තෑගි කළා. ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව මේ හැම රටකම ක්‍රීඩකයන් මාව අඳුනනවා. ඒත් කෝලි මට විශේෂයි. මොකද කවදාවත් ලංකාවේ ක්‍රීඩකයෙක් මට එයාලගේ මංගල උත්සවයකට ආරාධනා කරලා නෑ. ඒත් කෝලි මට ආරාධනා කළා. විවාහ මංගල උත්සවය ඉවර වුණාම අජින්කෙයා රහනේ මාව එයාගේ කාර් එකෙන් මම ඉන්න හෝටලයටත් ගෙනත් ඇරලුවා... එයාලා වෙලාවකට මගෙන් අහනවා ඔයාට හින්දි පුළුවන්ද කියලා. මට හින්දි බෑ. ඒත් එයාලා කියන සමහර දේවල් යන්තම් යන්තම් තේරෙනවා.

ආප් සේ මිල්කර් අච්චා ලගා... විරාත් කෝලි එසේ කියද්දී ඔබ හමුවීම සතුටක් බව ගයාන් සේනානායකද සිතනු ඇත. භාෂාව, සංස්කෘතිය, රට, ජාතිය, ආගම කුමකින් කුමක් වෙනස් වුවද මිනිසුන්ගේ ෙපාදු සිතුවිලි එක සමානය. ඉල්ලීම් බලාපොරොත්තු පරමාර්ථ සටකපටකම් මෙන්ම සොඳුරුතාද එක හා සමානය. වෙනස අඩු වැඩිකම් පමණි. ඔබට මට මෙන්ම කෝලිට අනුෂ්කාට මෙන්ම ගයාන්ටද එය පොදු සාධකයකි. ඒ සියල්ල මැද කෝලිටත් - අනුෂ්කාටත් අපිත් සුබ මංගලම් කියමු.

සංජීවිකා සමරතුංග


Gossip Lanka Hot News Previous News Archive